පනතට 30යි ලංකාව තවමත් එතනමයි!

මෙම මස 26 දිනට යෙදී තිබෙන වදහිංසාවට පාත්‍ර වූවාන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අද දින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සහ වදහිංසනයට එරෙහිව ශ්‍රි ලංකා එකමුතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේ පැවැත් වීය. එහිදි දීර්ඝ කාලයක් පවතින වදහිංසාව තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන මෙන්ම පනතේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ සිදු විය යුතු ප්‍රතිසංස්කරණය පිළිබද මෙහිදී සාකච්ඡා විය.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක 

එහිදී අදහස් පළකළ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසා සිටියේ 1994 අංක 22 දරණ වදහිංසාවට එරෙහිව කෲර අමානුෂික, අවමන් සහගත සැළකිල්ලට සහ දඬුවම් වලට එරෙහිව ජාත්‍යන්තර සම්මුති පනත සම්මත වී වසර 30ක් ගත වී ඇති බවයි.
මෙම පනත සම්බන්ධව අදහස් දැක්වූ ඔහු මෙම පනතේ වත්මන් තත්ත්වය සම්බන්ධව අදහස් පළ කළේය. එහිදී ඔහු පවසා සිටියේ එක්සත් ජාතීන් විසින් සම්මත කරන ලද මෙම පනතට ශ්‍රී ලංකාව 1994 ජනවාරි මාසයේ අත්සන් තැබු බවත් එම වසරේම ජුනි මස පාර්ලිමේන්තුවේන් මෙම පනත සම්මත කරගත් අතර දෙසැම්බර් මස සිට මෙරට එම පනත ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බවයි.

එහෙත් මානව හිමිකම් කොමිෂන් සභාවට වාර්තා වී ඇති පැමිණිළි පිලිබඳ කරුණු අනාවරණය කළ ඔහු පවසා සිටියේ 2021 වසරේ පැමිණිළි 302ක් 2022 වසරේ 560ක් 2023 වසරේ 546ක් සහ 2024 වසරේ 747ක් ලෙස වාර්තා වී ඇත. එමෙන්ම ඔහු පවසා සිටියේ ඔහුගේ මතයට අනුව මෙරට සිදුවන සියලුම වදහිංසනයන් මෙහිදී වාර්තා නොවී ඇති බවයි. මෙයින් පෙනෙන්නේ නිතීය ක්‍රියාත්මක වූවද වදහිංසන නොකඩවා සිදුවන බව එහිදී ඉස්මතු කළේය.

එමෙන්ම ඔහු පවසා සිටියේ “අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමසීමක දී දැනගැනීමට හැකි වූයේ 2000 වසරේ සිට 2016 තුළ නඩු 115ක් ගොනු කර ඇති බවයි. එහිදී නඩු 20ක් පිළිබද අපි වෙනම විමර්ශනයක් සිදුකළා. එමෙන්ම අප නැවත ගිය වසරේ විමසීමක් සිදුකළ අතර එහිදී ඔවුන් පවසා සිටියේ නඩු 107ක් බවයි. ඒ අනුව ඔවුන් දුන් තොරතුරුවල පරස්පර විරෝධීභාවයක් පවතිනවා.” යනුවෙනි

තවද ඔහු පවසා සිටියේ සාපේක්ෂව ගත් කළ 2003 හා 2004 වසරවල වැඩි වශයෙන් නඩු පැවරී තිබෙන බවත් ඒ අනුව 2003 වසරේ නඩු 19කුත් 2004 වසරේ නඩු 14ක් වාර්තා වී තිබෙන බවයි. එයට හේතුව ස්වාධීන කොමිෂන් සභාව 2002 වසරේ පත් කිරීම බව ඔහු මෙහිදී පෙන්වා දීය.
මෙලෙස පනත් කොපමණ ප්‍රමාණයක් තිබුණත් නීතිය ක්‍රියාත්මක කරද්දී ඇල් මැරුණු ස්වභාවයක් දක්නට ලැබෙන බව පැවසු ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා රජයට සහ පසුගිය රජයන්ට වදහිංසාව අවසන් කිරීමට හා වදහිංසාවට එරෙහි නිති යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට කිසිදු උවමනාවක් නොපවතින බවත්ය.

එමෙන්ම ඔහු වැඩි දුරටත් පවසා සිටියේ “ජාත්‍යන්තර ප්‍රජාවට එක් මුහුණතක් හා රජය ඇතුළේ තව මුහුණතක් තමයි මේ වද හිංසා පනත සම්බන්ධව පවතින්නේ සහ ක්‍රියාත්මක වෙන්නේ. එය දෙබිඩි පිළිවෙතක්.”  යනුවෙනි. තවද ඔහු පැවසුවේ විශ්‍රාමික පොලිස් නිලධාරීන් පවා වදහිංසාව වරදක් ලෙස පිළිගන්නා බවත්  එහෙත් පරීක්ෂණ කිරීමට වදහිංසාව සිදුකිරීමට සිදුවන බවයි. නව නිතී සක්‍රීය කිරීමට නවීන තාක්ෂණය අවශ්‍යතාවය, අරමුදලුත් මෙන්ම රාජ්‍ය මැදිහත් වීමේ  අවශ්‍ය පිළිබඳ ඔහු මෙහිදී පෙන්වා දීය. තවද වදහිංසාව සම්බන්ධයෙන් සමාජය ඇතුළෙතෙන් වෙනස්කමක් සිදු විය යුතු බව සඳහන් කළ ඔහු කියා සිටියේ සමාජයේ පවතින මතයක් වන “දෙකක් තුනක් අනින්නේ නැතුව ඇත්ත හොයන්න බෑ කියන මතය” වෙනස් කළ යුතු බවයි.

ඒ අනුව වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව ජුනි 25 වෙනිදාට SLCAT එකමුතුව මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකීරිමට බලාපොරොත්තු වන බවත් ඒ තුළින් වදහිංසාව අවසන් කිරීමට රජයට බලපෑමක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

          නීතිඥ දනුෂ්ක සිල්වා 

වර්තමානයේ ආයතනික වදහිංසාව වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පොලිසීය, බන්ධනාගාරය හා උසස් අධ්‍යාපන ආයතන තුළ බව නීතිඥ දනුෂ්ක සිල්වා මහතා මධ්‍ය සාකච්ජාව එක්වෙමින් ප්‍රකාශ කර සිටියා . ඒ සම්බන්ධව මා ශ්‍රී ලංකා පොලිසියෙන් තොරතුරු විමසීමක් සිදුකළා වදහිංසාව සම්බන්ධව නිලධාරින් කොපමණ ප්‍රමාණයකට නඩු පැවරී ඇත්දැයි කියා එවිට දැනගන්නට ලැබුනේ මූලික අයිතිවාසිකම් නඩු 72ක් පවතින බවයි.

මේ වන විට ශ්‍රී ලංකා ජන සමාජය තුළ වදහිංසාවට විරුද්ධව නඩු ගොනු කිරීමක් සිදුවෙනවා ඒක අපි දකින්නේ හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම මෙරට පවතින ඇතැම් පනත් සංශෝධන විය යුතුයි. උදාහරණයක් ලෙස නවක වදය විරෝධි පනත. ඒ පිළිබඳව කතා කළහොත් නවක විරෝධි පනත යටතේ නඩු පවරන්නේ නවක වදය සිදුකළ ශිෂ්‍ය‍යා හෝ එම කණ්ඩායමට පමණි. එහෙත් මෙවැනි සිදුවීමක දී එම ආයතනයේ ඉහළ පරිපාලක නිලධාරීන්ටත් නඩු පැවරීම සිදුකළ යුතුයි. එහිදී නීතිඥවරයා තවදුරටත් සඳහන් කළේ ආචාර්වරුන්ගේ නොසැළකිළිමත්භාවය මත මෙවැනි සිදුවීම් සිදුවන බැවින් මෙම පනත් බලාත්මක වීමේ දී ඔවුන්ටත් නඩු පැවරිය යුතු බවයි.
එසේම දනුෂ්ක මහතා ඉස්මතු කරමින් පවසා සිටියේ අනෙක් කාරය වූයේ පොදු අධිකාරිය යටතේ දේශපාලන පක්ෂ ඇතුළත් නොවන බවත් එලෙස ඇතුළත් වීමේ අවශ්‍යතාවයක් පවතින බවයි. එවිට පක්ෂයන් පිළිබඳ ජනතාවට අවශ්‍ය කරුණු අනාවරණය කරගත හැකි බවයි.
එමෙන්ම ඔහු තවදුරත් පවසා සිටියේ පොලිස් නිලධාරින්ට සැකකරුවන් සම්බන්ධව විමර්ශන කටයුතු කිරීමට තාක්ෂණික දැනුම නොමැති බවත් ඒ නිසාවෙන් වදහිංසාවන් වැඩිවන බවත්ය. ඒ නිසාවෙන් ඔවුන්ගේ තාක්ෂණික දැනුම හා නිපුණතාවයන් වැඩි කළ යුතු බව මෙහිදී අවධාරණය කළේය.

සමාජ ක්‍රියාකාරිනි අමිතා ප්‍රියන්ති

සමාජ ක්‍රියාකාරිනි අමිතා ප්‍රියන්ති මහත්මිය අදහස් පළකළ අතර ඇය පවසා සිටියේ වින්දිතයන් සම්බන්ධ සාකච්ඡා කළ යුතු බවයි. ඔවුන් බලය හා මුදල් අතින් ඉතා දුර්වල මට්ටමක සිටින බවත් දේශපාලන බලය නොමැති පුද්ගලයන් බවයි. ඇය පවසා සිටියේ පොලීසිය හා බන්ධනාගාර තුළ ඔවුන්ගේ බලය ආරක්ෂා කරන්න ඔවුන් අනීතිකව පුරවැසියන්ට වදහිංසා කරන බවයි. ඒ නිසාවෙන්ම පුරවැසියෙක් අත්අඩංගුවට ගත් දින සිට ඔවුන්ට වද හිංසාවන් සිදුකරන බවයි. ඒ වගේම වින්දිතයාගේ කාන්තා පාර්ශවයටත් විවිධ වධ හිංසාවන් වලට මුහුණ දීමට සිදුවන බව එහිදී ඇය අවධාරණය කළා.
මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර නඩුවක් කරගෙන යාමට විශාල මුදලක් වැයවන බවත් බොහෝ වින්දිතයන්ට ඒ සම්බන්ධව දැනුම හා මුදල් නොමැති බව ඇය එහිදී අවධාරණය කළා.

එමෙන්ම ඇය මෙහිදී ගුරුවරුන් විසින් සිසු සිසුවියන් වදහිංසනයන්ට හා අපයෝජනයන්ට ලක් වීමේ ගැටළුව ඉස්මතු කළාය. තවදුරටත් නඩු ප්‍රමාදය හේතුවෙන් යුක්තිය ප්‍රතික්ෂේප කිරීමක් සිදුවන බව පැවසු ඇය සඳහන් කළේ යුක්තිය ඉටු කිරීම කාර්යක්ෂම විය යුතු බවයි.

වින්දිත රුවන් චාමර

ඉන් අනතුරුව වින්දිතයන් කිහිපදෙනෙක් ඔවුන්ට මුහුණ දීමට සිදු වූ වදහිංසාවන් පිළිබඳ අදහස් පළ කළේය. එහිදී පොලිස් වදහිංසාවන්ට මෙන්ම පිරිවෙනක් තුළ අමානුෂික පහර දීම් වලට ලක් වූ කුඩා හිමියන් පස් දෙනෙකු පිළිබඳ කරුණු අනාවරණය විය.

වින්දිත සාමනේර හිමියන්ගේ සහෝදරිය

 

නිතිඥ දුලාන් දසනායක

මෙම මාධ්‍ය හමුවට අදහස් පළ කිරීමට වදහිංසාවට එරෙහි එකමුතු සංවිධානයේ සමාජික නිතිඥ දුලාන් දසනායක මහතා අදහස් පළකර අතර එහිදී ඔහු පවසා සිටියේ වදහිංසාවන් සම්බන්ධව නීති ගණනාවක් පැවතුණත් තවමත් වදහිංසාවන් දිගින් දිගටම සිදුවන බවයි. මෙම නීති ජාත්‍යන්තරයේ ඉල්ලීම මත සිවිල් සංවිධානවල ඉල්ලීම මත ක්‍රියාත්මක වන නීතින් බව එහිදී ඔහු පවසා සිටියා. 1994 බලයට පැමිණි ආණ්ඩුව තරුණයින්ගේ නැගිසීටිම සමඟ ඒක මතිකව මෙම පනත 1994 දී සම්මත කළ බවත් වර්තමාන රජයේ සිටින්නේ ඒ අයුරින් අතීතයේ විවිධ වදහිංසාවන්ට ලක් වූවන් බැවින් මෙම නීති පනත් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ සහය මීට වඩා බලාපොරොත්තු වන බවයි.

නව රජය අල්ලස් හා දූෂණයන්ට විරුද්ධවනවා සේම වදහිංසාවට එරෙහි විය යුතු බවත් ඒ තුළින් පාසල්, බන්ධනාගාර, පන්සල් හා විශ්ව විද්‍යාල තුළ පවතින මෙම වදහිංසනය අවසන් කළ යුතු බවත් අවධාරණය කළේය. එමෙන්ම පොලිසියට කොපමණ මාර්ගෝපදේශ තිබුණත් ඒවා ක්‍රියාත්මක නොවීම හා ආරක්ෂක කැමරාවලට හසු නොවීන ලෙස පොලීසි තුළ වදහිංසනයන් සිදුවන බව ඔහු මෙහිදී පවසා සිටියා.
එමෙන්ම ඔහුද නඩු ප්‍රමාදය සම්බන්ධව සිය අදහස් පළකළ අතර ඔහු පවසා සිටියේ නඩු ප්‍රමාදය සමඟ පොලිස් නිලධාරීන්ට අනීතික හිමිවන බලය තුළින් ඔවුන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් වදහිංසාවට ලක් කරන බවයි. බොහෝවිට වත්මන් පොලිස් නිලධාරින් රාජකාරියෙන් ඔබ්බර ගොස් කොන්ත්‍රාත් පදනම යටතේ කටයතු කරන ආකාරය බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

තවද ඔහු ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධව සාකච්ඡාවට බඳුන් කළ අතර ඔහු පවසා සිටියේ යුද්ධය අවසන් වී කොපමණ කාලයක් ගත වූවත් තවමත් මෙම පනත ක්‍රියාත්මක වන බවයි. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මෙම පනත අහෝසි කරනවා යැයි සඳහන් වූවද නව රජය යටතේම ඊශ්‍රායලයට විරුද්ධව ඇලවූ ස්ටිකරයක් නිසාවෙන් තරුණයෙකු මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පනත තවමත් බලාත්මක බව පෙනී යන බව ඔහු ඉස්මතු කළේය.
ඒ අනුව ඔහු ඉල්ලා සිටියේ වදහිංසාවට එරෙහි මර්ධනකාරි පනත් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවත් වදහිංසනයෙන් තොර සමාජයක් සැකසීම රජයේ වගකීමක් බවත් ය.

Social Sharing

අවකාශය නවතම