චෙම්මානි සමූහ මිනීවලවල් තුළින් තවත් මියගිය සිවිල් පුද්ගලයන්ගේ අස්ථි කොටස් හමුවේ.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කිරීමට පෙර හමුදා නිලධාරි සෝමරත්න රාජපක්ෂගෙන් පැවසීමට යමක් තිබේදැයි විමසූ අවස්ථාවේ ඔහු චෙම්මානි සමූලඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් කළේය.

චෙම්මනි ප්‍රදේශයේ තරුණ තරුණියන් 400ත් 600ත් අතර සංඛ්‍යාවක් මරා දමා වළ දැමූ බවට ඔහු සාක්ෂි දී තිබු අතර ඔහුගේ සාක්ෂියේදී නම් කිහිපයක් හෙළිදරව් කරමින් ඔවුන් ඇතුළු හමුදා නිලධාරීන් 20 දෙනෙකු මෙම ඝාතන පිටුපස මහ මොළකරුවන් ලෙස සිටින බව අනාවරණය කළේය.

යාපනයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ සෙල්වරත්නම් මහතා සහ අරියාලෙයිහි තරුණයින් දෙදෙනෙකු වන පාර්තිපන් සහ සුදාකරන් මෙන්ම තරුණ ‍යුවලවල් කිහිපයක් සහ තවත් පිරිසක් මෙම අපරාධයට ගොදුරු වූවන් බව එහිදී හෙළි විය. එහිදී සෝමරත්න රාජපක්ෂ කියා සිටියේ චෙම්මනි සහ ඒ අවට ප්‍රදේශවල සමූහ මිනී වළවල් 10 ක් තමාට හඳුනාගත හැකි බවයි. තවත් වරදකරුවෙකු වන ඒ.එම්. පෙරේරා මහතා තවත් ස්ථාන පහක් ඔහුට හඳුනාගත හැකි බව පවසා ඇත. එක් එක් සොහොනෙහි මළ සිරුරු 25 සිට 30 දක්වා ප්‍රමාණයක් එවකට වළලනු ලැබූ බවත් එහිදී තොරතුරු අනාවරණය වී තිබේ.

ක්‍රිෂාන්ති ඝාතන නඩුවේ වරදකරුවන් දුන් සාක්ෂිවලින් අනතුරුව චෙම්මනි සමූහ මිනී වළ කැණීමට නියෝග ලැබිනි. මේ සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විශේෂ විනිසුරුවරයා ලෙස මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා පත් කරන ලදී. 1999 අගෝස්තු 15 වන දින කැණීම් කටයතු ආරම්භ වූ අතර එය 2000 මාර්තු 27 දක්වා මාස නවයක කාලයක් පැවතුනි. එමෙන්ම ක්‍රිෂාන්ති නඩුවේ මරණ දඬුවමට නියම වූ වැරදිකරුවන් විශේෂ ගුවන් යානයකින් යාපනයට ගෙන ගොස් සොහොන් සොයා ගැනීමට ඔවුන්ගේ සහාය ගන්නා ලදී. එහිදී සමූහ මිනී වළවල් 25 ක් හාරා ඇති අතර ඉන් මිනිස් සිරුරු 16 ක් සොයා ගෙන ඇත. කෙසේ වෙතත්, වැරදිකරුවන් විසින් හඳුනාගත් ස්ථාන 10න් කිසිදු මළ සිරුරක් හමු නොවී ඇති අතර සොයා ගන්නා ලද මළ සිරුරු අතරින්, මළ සිරුරු දෙකක් 1996 දී අතුරුදහන් වූ පිරිමියන් දෙදෙනෙකුගේ ලෙස හඳුනාගෙන ඇත.

මෙයින් පසුව, හමුදා සොල්දාදුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට චෝදනා ගොනු කර ඇති අතර  ඔවුන් හෙළිකොට ඇත්තේ චෙම්මනි, අරියාලෙයි සහ කොලම්බුතුරෙයි යන හමුදා කඳවුරුවලදී මියගිය පුද්ගලයින් චෙම්මනි හි වළලනු ලැබූ බවයි. සොයාගත් මළ සිරුරු 16ම පහර දී මරා දැමීමෙන් මිය ගොස් ඇති බවට පරීක්ෂණ මගින් තහවුරු වී ඇති අතර මෙයින් පසු, විනිසුරු ඉලන්චේලියන් මෙම නඩුව යාපනය මහේස්ත්‍රාත්වරයාට භාර දී ඔහුගේ කාර්යය අවසන් කළේය.

මාස හයකට පසු, චෙම්මනි නඩුවේ විත්තිකරුවන් ඔවුන්ට නීතිමය නියෝජනයක් නොමැති බව ප්‍රකාශ කරමින් කොළඹ අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නඩුව යාපනය අධිකරණයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලදී. මාස කිහිපයක් ඇතුළත කොළඹ මහාධිකරණයේ නඩුව විභාග වෙමින් පවතින අතරතුර  විත්තිකරුවන් හත් දෙනාම කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් වීය.

පසුව, යහපාලන රජය සමයේදී, හමුදා නිලධාරීන් විසින් නාවට්කුලි හමුදා කඳවුරෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද තරුණයින් සම්බන්ධයෙන් හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කරන ලදී. මෙම නඩුවේදී, 1996 දී නාවට්කුලි හමුදා කඳවුර භාරව සිටි මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවල වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියේය. එපමණක් නොව, පෙත්සම්කරුවන්ට, නීතිඥයින්ට සහ ඔවුන්ගේ සහයකයින්ට අධිකරණය තුළම තර්ජනය කරන ලදී.

මෙම වසරේ පෙබරවාරි මස මුලදී, චෙම්මනිහි හින්දු ආදාහන භූමියේ සංවර්ධන කටයුතු අතරතුර, පස යටින් මිනිස් අස්ථි කොටස් සොයා ගෙන ඇත. ඉන් පසුව, අධිකරණ නියෝග යටතේ කැණීම් කටයතු ආරම්භ විය. මේ වන විට, අර්ධ හිස් කබල් 17 ක් සහ සම්පූර්ණ මිනිස් ඇටසැකිලි 5 ක් හඳුනාගෙන ගොඩගෙන ඇත.

මෙය චෙම්මනි හි බොහෝ රහසිගත සහ නීති විරෝධී සමූහ මිනී වළවල් වලින් එකක් විය හැකි බවට සැක කෙරේ. මේ අතර, කැණීම් සිදුකරන භූමිය වටා කිසිදු ආරක්ෂක පියවරක් ක්‍රියාත්මක නොවූ බවත්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සඳහා ප්‍රමාණවත් අරමුදල් සහ නිසි කැණීම් ක්‍රියා පටිපාටියක් නොමැති වූ බවත් වාර්තා වේ. තවද උතුරේ හා නැගෙනහිර ස්ථාන කිහිපයක සමූහ මිනී වළවල් කිහිපයක් හඳුනාගෙන ඇති අතර එම ස්ථාන ලෙස වූයේ දුරෙයිඅප්පා ක්‍රීඩාංගනය, මිරුසුවිල්, මන්නාරම, කොක්කුතොඩුවායි, කිලිනොච්චිය යන ප්‍රදේශ හඳුනාගෙන ඇත.

Social Sharing
අවකාශය නවතම