ඇඟලුම් සමඟ ලිහී යන මානව අයිතිවාසිකම් නූල්

 

මෙරට ඇඟලුම් කර්මාන්තය දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික කුලුනක් ලෙස ක්‍රියාත්මක වන අතර එම කර්මාන්ත හරහා මෙරටට උපයා දෙන විදේශ විනිමය අති විශාල වේ. තුන් ලක්ෂ පනස් දහසක් ජනතාව මෙම ඇඟලුම් ක්ෂේස්ත්‍රයේ රැකියාවල නියැලෙන අතර 2024 වසරේ ඔවුන් විසින් මෙරට සමස්ත අපනයන ආදායම වූ ඩොලර් බිලියන 12න් ඩොලර් බිලියන 5ක් ම එනම් 40%ක ප්‍රමාණයක් උපයා දී ඇත.

මේ අයුරින් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන ඇඟලුම් ක්ෂේස්ත්‍රය මෑතක සිට විවිධ අර්බුද රැසකට මුහුණ පායි. ඒ අනුව රටෙහි පවතින ආර්ථික අස්ථාවරවීම්, විදේශ ප්‍රතිපත්ති හමුවේ මෙම ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ පාන අතර එමඟින් මෙම ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නියැළෙන බොහෝමයක් සේවකයන්ගේ රැකියා ද අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇත.

එවැනි සිදුවීමක් පසුගිය මැයි මස 19 වන දින වාර්තා වූ අතර එදින උදෑසන සුපුරුදු පරිදි දහසක් බලාපොරොත්තු ඇතුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නෙක්ස්ට් ඇඟලුම් කම්හලේ සේවකයන් වැඩට ගියහ. එහෙත්, ඔවුන් දුටුවේ තම සේවා ස්ථානය වසා දමා ඇති ආකාරයයි. ඒ අනුව සේවකයින් 1,400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වූ අතර, කම්කරු ප්‍රජාව අතර කැළඹීමක් ඇති විය. වාර්තා වූ අන්දමට මෙම කම්හල වසා දැමීම පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවත් අවම වශයෙන් දැනුවත් කර නොතිබුණි.

ඒ අනුව කිසිදු පෙර දැනුම් දීමකින් තොරව මේ අයුරින් එකී කම්හල වසා දැමීමක් සිදු කර ඇති අතර කළමනාකරණය පවසන අන්දමට කම්හල දිගින් දිගටම පාඩු ලබා තිබේ.

මෙම කම්හල 1979 සිට පැවති ඇඟලුම් කම්හලක් වන අතර එහි මව් සන්නාමය බ්‍රිතාන්‍ය‍යෙන් පැවත එන්නකී. ඔවුන්ගේ තවත් එවැනි කර්මාන්ත ශාලා තුනක් මෙරට පවතින අතර 2,800ක් පමණ කම්කරුවන් ඒවායෙහි සේවය කරති. ඉන් අඩකටම දැන් රැකියා අහිමි වී ගොස් ඇත.

නිදහස් වෙළඳ කලාප සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් පවසන ආකාරයට මෙම වසාදැමීම හදිසියේ කර තිබෙන්නේ ඔවුන්ගේ වෘත්තීය සමිතිය සමග පවතින සාමූහික ගිවිසුම උල්ලංඝනය කරමිනි. එමෙන්ම සේවය අවසන් කිරීමේ පනත යටතේ ඔවුන්ට ලබාදිය යුතු වන්දි වෙනුවෙන් පවා ඔවුන් කොන්දේසි පනවා තිබේ. තවද කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නැයි තර්ජනය කර ඇති බව ද වාර්තා වේ.

පසුගිය මාස කීපය තුළ ඇඟලුම් කර්මාන්තශාලා 10ක් පමණ වැසීගොස් ඇති අතර ඉන් සේවකයන් 5,000කට පමණ රැකියා අහිමි වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අයුරින් දිගටම ඇදී ගියහොත් ඇඟලුම් කර්මාන්තයෙන් ඍජුව ජීවනෝපාය සලස්වා ගන්නා 350,000කට මෙන්ම සේවා සැපයීමෙන් ජීවනෝපාය සලස්වා ගන්නා තවත් ලක්ෂ 10කට ආසන්න පිරිසකට ද දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වේ.

2025 අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 44%ක තීරු බද්දක් පැනවීය. මෙම බද්ද, බංග්ලාදේශය (37%) සහ ඉන්දියාව (27%) වැනි තරගකාරී රටවල්වලට පැනවූ බදුවලට වඩා ඉහළය. මෙම තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයනවලට දැඩි බලපෑමක් ඇතිවී ඇති අතර, ඇඟලුම් කර්මාන්තයට විශේෂයෙන් බලපෑමක් සිදුවී ඇත.

මෙම අභියෝගයන්ට මුහුණ දීමට රජය, සේවායෝජකයන්ගේ සංගම්, වෘත්තීය සමිති, මාධ්‍ය සහ සිවිල් සමාජ සංවිධාන එකමුතුවෙන් ක්‍රියාත්මක විය යුතුය. ඒ අනුව මෙම තත්වය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදු කර, විසඳුම් පිළිබඳ පුළුල් සංවාදයක් ආරම්භ කළ යුතුය. දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මෙම සංවාදය ඉදිරියට ගෙන යා යුතුය. රජය, කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා වහා ක්‍රියාමාර්ග ගත යුතුය.

 

 

Social Sharing
අවකාශය නවතම