ඓතිහාසික ඌව වෙල්ලස්සේ පහළ ඌවේ ජන විවිධත්ව සංස්කෘතිය වර්ණවත් කරන සුවිශේෂී ජන කණ්ඩායමක් ලෙස රතුගල ආදිවාසි ජනතාව සැලකිය හැකියි. ඔවුහු මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් බුලුපිටිය, ගලිගමුව, නෙල්ලියද්ද වන ප්‍රදේශවලට මායිම්ව රතුගල වාසභූමි බවට පත් කරගනිමින් රතුගල ප්‍රදේශයේ ජීවත් වෙති. මේ අයුරින් සේනානායක සමුද්‍රය ඉදිකිරීමත් සමග හෙන්නානිගල සිට සංක්‍රමණ වු ආදිවාසීහු වසර සීයකට ආසන්න කාලයක් තිස්සේ රතුගල ප්‍රදේශයේ ජීවත් වෙති. මොවුන්ගේ මූලික පහසුකම් පවා සපයා ගැනීම අද වන විට අසීරු වී තිබේ.
වනාන්තරය තුළ ජීවත් වෙමින් තම ජීවන රටාවට හුරු වු ආදිවාසීන්ට අද සිය වනාන්තරය අහිමි වී ඇත. වනාන්තරය තුළ වූ සංස්කෘතිය, සමාජ, ආර්ථික හා ජීවන රටාව ක්‍රමක්‍රමයෙන් වෙනස්වීම සමඟ විනාශයට යාමක් සිදුවෙමින් තිබේ.
ආදිවාසි නිවාස
තම පාරම්පරික අනන්‍යතාවය තවමත් රැක ගැනීමට උත්සාහ දරන රතුගල ආදිවාසි නායක සුදා බණ්ඩිලා වන්නිල ඇත්තන් වැනි වැඩිහිටි පරම්පරාව තවමත් සිටීම ඔවුන්ට ආඩම්බරයක් ගෙන දේ. වනාන්තරය අහිමි වු ඔවුන්ට ජනාවාස ගත වන්නට වුවද හරිහැටි නිවාස හා එයට අවශ්‍ය සම්පත් තවමත් ලැබී නොමැත. පරම්පරාවෙන් පරම්පරාවට හේන් ගොවිතැන් මුල්කරගත් සංස්කෘතියකින් ජීවිත ගතකළ ඔවුන්ගේ හේන් කිරීමේ අවසරය ද අද අහිමි වී ඇත්තේ වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන්ගේ නීතිරීති පැමිණවීම හමුවේය.
පරිසර විනාශය තුළ සිදුව ඇති දේශගුණික විපර්යාස නිසා ආදිවාසී ජනතාවටද එයට මුහුණ දීමට සිදුව ඇත. ඔවුන්ගේ පාරම්පරික දේශීය බීජ වර්ග අද නොමැත. බීජ සහ කෘෂි යෙදවුම්වල මිල අධික නිසා නිසි ආකාරයෙන් බෝග වගාවක් සිදු කිරීමටද නොහැක. එමෙන්ම ඔවුන්ට ආවේණික ජීවන රටාවක් වු දඩයමේ යාම දැන් සිදු කිරීමට නොහැකි වී තිබේ. ඔවුන් ජීවත්වන ඉඩම් කැබැල්ලට ද කිසිදු නීත්‍යානුකූල අයිතියක් තවමත් ලැබී නොමැති බව ආදිවාසීහු පවසති. ඔවුන්ට සිය රාජකාරී කටයුත්තක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා කර ගැනීමට තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක් වන බිබිල, මැදගම, මොනරාගල පසුකර කිලෝමීටර 100ක වැඩි දුරක් ගෙවා මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යා යුතුව ඇත. ඒ වෙනුවෙන් වැඩි කාලයක් හා විශාල මුදලක් වැය කිරීමට සිදු වේ.
විවිධ ව්‍යාපාරිකයින් විසින් රතුගල ප්‍රදේශයේ ඉඩම් මිලදී ගෙන අවන්හල් ඉදිකිරීම වැනි දේවල් සිදු කරයි. එසේ නොමැතිව එම ප්‍රදේශයේ සංස්කෘතිය ද රැක ගන්නමින් ඔවුන්ට ද ආදායම් මාර්ග බිහිවන්නේ නම් රතුගල ආදීවාසී පරම්පරාව තවදුරටත් ආරක්ෂා වේ.
ආදිවාසි ජනතාවට අනන්‍ය වු බිම් ප්‍රමාණයක්/ වනාන්තරයක් වෙන් කර දෙන්නේ නම්, ඔවුන්ට පවතින ගැටලුවලට යාම් දුරකට සහනයක් හිමි වේ. එමෙන්ම ඔවුන්ට ජීවීකාව කරගෙන යාමට අවශ්‍ය වගා කටයතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය බීජ වර්ග ඇතුළු අනෙකුත් අවශ්‍ය පහසුකම් සැපයීම ඔවුන්ගේ ජීවිත වඩාත් උසස් මට්ටමකට ගෙන ඒමට උපකාරි වේ.
ආදිවාසී ජනතාව නිල්ගල ඖෂධ උයන හරහා ගොස් එකතු කරගන්නා ඖෂධ වර්ග පිටස්තර ජාවාරම්කාරයෝ අඩු මිලට තුට්ටු දෙකට මිලදී ගනිති. එසේ නොමැතිව සාධාරණ මිලකට ඖෂධ අලෙවි කිරීමට මාර්ගයක් සැලසීම වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම එම ආදිවාසී ජනතාවට ඔවුන් විසින් නිපදවන පන් ආශ්‍රිත නිෂ්පාදන, අත්කම් නිර්මාණ අලෙවියට මාර්ගයක් සකසන්නේ නම් ඔවුන්ට ආදායම් මාර්ගයක් බිහි වේ.