නිල්වලා නිම්නයට ගංවතුර අළුත් අත්දැකීමක් නොවේ. නිල්වලා ගං පතුළ අකුරැස්සෙන් පහළ ප්‍රදේශයේදී පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමට පහළින්ය. එහි ප්‍රතිපලයක් ලෙස නියං කාලයේදී මුහුදේ සිට පැමිණෙන ලුණු මිශ්‍ර ජලය ගඟ ඉහළට ගළා යාම සිදුවේ. පානීය ජල සැපයුමට මෙන්ම ගොවි බිම්වලටද මෙය ඉතා අසුබදායි තත්වයකි.
නිල්වලා ගඟේ ජලය මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතා සැපිරීමට භාවිතා කරන්නට පටන් ගත්තේ මීට දශක කිහිපයකට ඉහත දීය. එහෙත් පසුගිය කාලයේ එම තත්වයට බාධා එල්ල විය. ඒ අනුව මෙම තත්වයවළක්වා ගැනීම සඳහා ලවණ බාධකයක් නිර්මාණය කිරීමේ යෝජනාවක් පිළිබඳ. 2003 වර්ෂයේදී පවා සාකච්ඡා සිදුවී ඇත. ගොවිබිම් පිළිබඳව ඇති වූ ප්‍රශ්න හේතුවෙන් ලවණ බාධකය නිර්මාණය කිරීම සඳහා විවිධ කාල වකවානුවල එකිනෙකට වෙනස් වූ ස්ථාන කිහිපයක්ම යෝජනා වී තිබේ. කෙසේ වෙතත් අවසානයේ නිල්වලා ගඟ හරහා මෙම ලවණ බාධකය ඉදිවූයේ වේරගම්පිට හා පුංගංගොඩ යාකරමිනි. එයට රු.මිලියන තුන්දහසක් වැයවී ඇතැයි සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය සිදුකර ඇත්තේ ජලසම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍යංශයයි. මේ වන විට නිල්වලා ලවණ බාධකය ගංවතුර බැස යාමට බාධාවක් වී ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක්ම පිළිගෙන ඇත.
2018 න් පසුව ලවණ බාධකය නිසා ජන ජිවිතය විනාශ වී ඇත. පැරණි වාරි ව්‍යාපෘතිවල ප්‍රධාන අංගයක් වූයේ ගොවියාත්,පරිසරයත්, අනෙකුත් අරමුණුත් පැවතිය හැකි ලෙස නිර්මාණශිලීව ඉදිකිරීමයි. මාතර ලවණ ජල ප්‍රශ්නයටත් එවැනි නිර්මාණ ශීලී විසඳුම රාශියක් තිබුණි. ගඟේ බාධා ඉවත් කර අතුරු ඇල පුළුල් කිරීමෙන් ලොකු වර්ෂාවකදී වතුර වේගවත්ව බැස යැවිය හැකිය. දීර්ඝකාලීන විසඳුමක් ලෙස ලවණ බාධක ආකෘතිය ගැන අධ්‍යයනය කර ගේට්ටු සකසා පියවර ගත යුතු බව ද සඳහන් වේ.
එහෙත්, ලවණ බාධකය ඉදිකිරීමේදී නිසි පරිදි කටයුතු කර නොමැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. ලවණ බාධකය හේතුවෙන් මාතර, තිහගොඩ, කඹුරුපිටිය හා මාලිම්බඩ යන ප්‍රාදේශීය කොට්ඨාශවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 65ක යල සහ මහ කන්න යන දෙකම සරුසාරව වී වගා කළ හැකි කුඹුරු අක්කර 12,000කට පමණ හානිවන බව ගොවි සංවිධාන කල් ඇතිවම සඳහන් කර තිබිණි. ඔවුන් පවසන පරිදි, ප්‍රශ්නය වී ඇත්තේ ගගේ පටුම තැන ලවණ බාධකය ඉදිකිරීමය. බැම්මක් බැඳ දොරවල් 05 ක් දමා ඇත. ඒ සඳහා කාණු 06ක් නිර්මාණය කර ඇත. එම කාණුවක් අඩි 06 ක් ය. ඒ අනුව ගගේ විශාල ප්‍රමාණයක් වතුර බැසීම අවහිර වී ඇත. අධික වර්ෂා කාලයේදී දොරවල් හරහා වතුර බැසීම ප්‍රමාණවත් නැත. මෙසේ වතුර බැසීම ප්‍රමාද වීම නිසා ගඟ ඉහළ ප්‍රදේශවල කාලයක් සරුවට වගා කළ කුඹුරු අක්කර 5000 ක් පමණ විනාශ වී ඇත.
1989 වර්ෂයේදී පැවති නිල්වලා නිම්නයේ ගංවතුර පාලනය කිරීම සඳහා අදියර තුනකින් යුතු සාර්ථක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.පිටාර වතුර පොම්පාගාර නිල්වලා නිම්නයේ නිර්මාණය වී ඇත්තේ ඒ අනුවය. අදියර තුනකින් යුතු මෙම සැලැස්ම පුර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් සමත් වී නැත. මෙම ව්‍යාපෘතිය යටතේ ගංවතුර යම් පාලනයකට ලක් වූ නමුත් මෑත වර්ෂවලදී ගංවතුර තත්වයට මුහුණ දුන්නේය. නමුත් එම ගංවතුර දින කිහිපයකින් බැස ගියේය. මෙම ලවණ බාධකය හේතුවෙන් මෝසන් වර්ෂාවෙන් පසු පිටාර දැමූ නිල්වලාවේ ජලය සිය ගණන් ගම්බිම්, ගොවිබිම් වනසමින් දිගු කලක් ජලය බැස නොයා රැඳී තිබිණි. කරදිය කුඹුරු කරා පැමිණීම නිසාගොවීන්ගේ වගාහානි සිදුවන බව ප්‍රදේශ වාසීන් පවසයි. අවිධිමත් ලෙස හා අසාර්ථක ලෙස ලවණ බාධකය ඉදිකිරීම නිසා විශාල ලෙස ජනජීවිත විනාශ මුඛයට පත්ව ඇත. ගංඟාව පිටාර ගැලන විට දරුවන්ට පාසල් යාමට නොහැකිය. රැකියාවට යාමට නොහැකිය. කුලී වැඩට යාමට පවා යා නොහැකිය. බෙහෙත් හේත් ගෙන ඒමට, උයා පිහා ගැනීමට, වැසිකිලි කැසිකිලි යාමට නොහැකිය. කිඹුලන්ගේ පැමිණීමද මහත් බියජනක කරදරයකි.
ලවණ බාධකය ඉදිකිරීම නිසා මේ වන විට කුඹුරු අක්කර 12000ක් විනාශවී තිබෙනවා. ගොවීන්ට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය අවශ්‍ය බව කියමින් දින නියමක් නොමැතිව කල්දමා ඇත. මේ සඳහා කෙටීකාලීන විසඳුමක් ලෙස දැනට පවතින ලවණ බාධකයේ කොටසක් සහ අතුරු ඇල මාර්ග අවහිරතා ඉවත් කිරීමට වාරිමාර්ග හා ජල සම්පාදන ඉංජිනේරුවන් ඉදිරිපත් වී ඇති අතර, 1989 ගංවතුර පාලන යෝජනා යටතේ දක්වා ඇති ජලාශ ඉදිකිරීම සහ සෙසු වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ද බලධාරීන් අප්‍රමාදීව කටයුතු කළ යුතු බව සහ නිල්වලා නිම්නයේ මිනිසුන් ගංවතුර ගැටලුවෙන් මුදවා ගොවිබිම ද සුරක්ෂිත කරන දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.