මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත – යථාර්ථය සහ භායනකත්වය.

ශ්‍රි ලංකාව සයිබර් අවකාශයේ නියමනය සහ ක්‍රමවත් බව පිළිබඳ ගන්නා ලද ක්‍රියා මාර්ග අතුරින් ගන්නා ලද එක් ක්‍රියා මාර්ගයක් වන්නේ මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතයි. (Online Safety Bill) 2023 සැප්තැම්බර් 15 දින දරන ගැසට් පත්‍රයේ මෙය ප්‍රකාශයට පත් කළ අතර මෙම පනත 2024 ජනවාරි මාසයේදී සම්මත විය.

2024 අංක 24 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මෙම පනත දේශපාලන පක්ෂ, මාධ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සමස්ත සිවිල් සමාජයේම විරෝධයට තුඩු දුන් නීතියකි.

මෙම පනත් කෙටුම්පත යටතේ මූලිකවම අරමුණ කරගන්නා ලද්දේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීමට විධිවිධාන සැලසීම, තහනම් කාර්ය සඳහා පුද්ගලයන්ගේ මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතය වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්යයන් සඳහා භාවිත කරනු ලබන මාර්ගත ස්ථාන හඳුනා ගැනීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම හා සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීමට මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩපැවැත්වීම යන කරුණුය.

කෙසේ වෙතත්, සිවිල් සමාජය මෙම පනතට එරෙහිව දැඩි විරෝධයක් පළ කරන ලදි. 2024 ජනවාරි මාසයේදී මෙම පනත සම්බන්ධයෙන් පැවති විවාදයේදී එවකට ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය විසින් ඒ පිළිබඳ දැඩි විවේචනයක් කරමින් විරෝධය පළ කළ අතර පනත සංශෝධනය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ස්ථාවරය විය.

මෙම පනත ගෙන ඒමට මුල් වූ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින්ම මෙම පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදි. එහෙත්, එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එම පනත් කෙටුම්පත අහෝසි විය.

වර්තමාන  පාර්ලිමේන්තුවේ මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ද මෙම පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදි. එසේ නමුදු මේ වනතුරු මෙම පනත අහෝසි කිරීමට මේ වනතුරු පියවර ගෙන නොමැත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතෙහි ප්‍රධාන ලක්ෂණ කීපයක් පහත දැක්වේ:

  1. 1.අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් ඇති කරවන හෝ විවිධ පන්තිවලට අයත් තැනැත්තන් අතර එදිරිවාදී සහ වෛරී හැඟීම් ප්‍රවර්ධනය කරන ප්‍රකාශ තහනම් කිරීම.
  2. 2.කැරලි ගැසීමේ වරද සිදුවිය හැකි බවට වූ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම හා අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම තහනම් කිරීම.
  3. 3.ආගමික හැඟීම්වලට රිදවීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම අපරාධමය වරදක් බවට පත් කිරීම.
  4. 4.සන්නද්ධ හමුදාවල හෝ හමුදාවේ යම් නිලධරයකු කැරලි ගැස්වීමේ චේතනාවෙන් හෝ මහජනයා අතර බියක් හෝ තැති ගැන්මක් ඇති කරවීමේ චේතනාවෙන් යම් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම තහනම් කිරීම.
  5. ළමා අපචාරය හා හිරිහැර කිරීම්වලට අදාළ වගන්ති අපහැදිළි වන අතර ප්‍රායෝගික තලයේදී අත්තනෝමතික ලෙස එම වගන්ති යොදා ගැනීමට හැකි ය. මේ තත්වය අපයෝජන ස්වභාවයෙන් යුතු, පළිගැනීමේ කාමුක දර්ශන හා ළමා අපචාර සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පනත් කෙටුම්පතේ සාර්ථකත්වයට සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇත

ඒ අනුව මේ නීතියේ තීව්‍රතම වගන්තියක් වන්නේ ‘අසත්‍ය ප්‍රකාශයක්’ යන්නයි. පනත අනුව එහි අරුත අතිශය පුළුල් වන අතර එසේම යම් ප්‍රකාශයක් අසත්‍ය ප්‍රකාශයක්ද නැද්ද තීරණය කරන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන කොමිෂන් සභාවක් විසිනි. ඒ අනුව අසත්‍ය ප්‍රකාශයක් ලෙස යම් ප්‍රකාශයක් වර්ගීකරණය කරමින් එය මකා දැමිය හැකි අතර මෙය මාධ්‍ය නිදහස සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කරයි.

එමෙන්ම මෙම නීතියේ 14 වගන්තියට අනුව, විවිධ ආකාරයෙන් කැරලි ගැසීමට පෙළඹවන්නා වූ ප්‍රකාශ සිදු කිරීම ද වරදක් (තහනම් ප්‍රකාශ) ලෙස පෙන්වා දී ඇත. මෙය ද පුළුල් අර්ථකතනයකි. ඒ අනුව එය ඕනෑම අයකුට විවිධ ආකාරයෙන් අර්ථ නිරූපණය කළ හැක. ඒ අනුව ඔවුන් විසින් අර්ථකථනය කරගන්නා මෙම ප්‍රකාශවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව කොමිෂන් සභාව සතුව පවති.

මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් පස්දෙනෙකුගෙන් යුත් සභාවකි. පනත ප්‍රකාරව, කොමිෂන් සභාව විසින් තහනම් කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස වූ ක්‍රියාමාර්ග රාශියක් ව්‍යවහාරයේ යෙදීමට කොමිෂන් සභාවට බලය ලබා දී ඇත. එවැනි ප්‍රකාශ සන්නිවේදනය කිරීම නතර කරන ලෙස නියෝග කිරීමටත්, එවැනි මාර්ගගත ස්ථානයකට ප්‍රවේශ වීම අක්‍රිය කරන ලෙස නියෝග කිරීමටත් බලතල ලබා දී ඇත.

යම් මාර්ගගත ස්ථානයකින් තහනම් ප්‍රකාශ තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ අවසාන පරිශීලකයන් වෙත සන්නිවේදනය කර තිබේ නම්, එම ස්ථානය ‘ප්‍රකාශයට පත් කරන ලද ස්ථානයක්’ ලෙස නම් කිරීමේ බලය කොමිෂන් සභාවට තිබේ. එසේ ප්‍රකාශයට පත් කළ විට අන්තර්ජාල සේවා සපයන්නා හෝ අන්තර්ජාල අතරමැදියා ක්ෂණිකව සන්නිවේදනය නැවැත්විය යුතුය. එසේ නොකළහොත්, වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට හෝ රු. මිලියන 10ක දඩයකට යටත් වන අතර දෙවන වර එම වරදම කළහොත් දඩය දෙගුණ වේ.

එහෙත්, සියලු අන්තර්ජාල සේවා සපයන්නන් වෙනුවෙන් මෙම නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු තිබේ. එසේම, ඇතැම් අන්තර්ජාල සේවා සපයන්නන් මෙම නීතිවලට අවනත නොවීම හේතුවෙන් ඔවුන් රට තුළ තහනම් කිරීමට සිදු වුවහොත්, එමගින් ද ජනතාව අපහසුතාවට පත් විය හැකිය.

මෙම පනත නිසා ඕනෑම පුරවැසියෙකුට පවා අන්තර්ජාලයේ අදහස් පළ කිරීමේදී බියෙන් කටයුතු කළ යුතු තත්ත්වයක් ඇතිවිය හැක. මෙය ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස් සමාජයකට නොගැළපෙන අයුරින් ද බලපායි. අන්තර්ජාලය තුළ නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම වැදගත් වුවද, එය ජනතා නිදහස් අහිමි කිරීමේ භීෂණයක් නොවිය යුතුය.

 

ඔන්ලයින් පනතේ පළමු නඩු තීන්දුව.

Social Sharing
අවකාශය නවතම