2009 වර්ෂයේ සිට හම්බන්තොට ආරම්භ කෙරුණු දැවැන්ත සංවර්ධනයන් හේතුවෙන් වන අලි මෙන්ම වන සතුන් බෙහෙවින් වාසය කළ රක්ෂිත ඇතුළු වනගත ප්‍රදේශ හෙළි කිරීම නිසා අවතැන් වන වන සතුන් හට වාසභූමියක් තැනීමේ අරමුණින් හෙක්ටයාර 30,000කට අධික භුමි ප්‍රදේශයක් වෙන්කරන ලදි.
අලි කළමනාකරණ රක්ෂිත සිතියම
යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට මහවැලි රක්ෂිත ප්‍රදේශ මෙන්ම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශ ද අයත් විය. 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 2වන වගන්තියට අනුව මෙම වන අලි කළමනාකරණ රක්ෂිත භූමි ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමට තිබුණත්, වසර ගණනාවක් තිස්සේ එම කටයුත්ත ද සිදු නොකිරීම නිසා, හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ගැසට් කරන්නැයි ඉල්ලා හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ දී 2021 ජනවාරි 18 වන දින සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස, 2021 අප්‍රේල් 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර 23,746කින් යුත් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලදි.
කෙසේ නමුත්, 2014දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමත් සමඟ වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත්ව තිබු තවත් විශාල භුමි ප්‍රමාණයක් ද අහිමි විය. මත්තල ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා වනාන්තර පද්ධතියේ හෙක්ටයාර 2000ක් ද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහා හෙක්ටයාර 1,115ක් ද පවරාගෙන ඇත.
ඉන්පසුව, ඒ ආශ්රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට ද, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව අනාවරණ විය. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජඳුර, බඳගිරිය සහ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට මෙන්ම මදුනාගල, මිරිජ්ජවිල, සූරියවැව යන ප්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි මිනිස් ගැටුමක් අලුතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම්වලට හා දේපොළ සඳහා සිදු වී ඇති හානිය සුළුපටු නොවන අතර ඇතැම් ගොවි ජනයා වගා කටයුතුවලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.
විවිධ ඉඩම් ජාවාරම්කරුවන්ගේ මෙන්ම දේශපාලන හිතවතුන්ගේ ඉඩම් අල්ලාගැනීම හේතුවෙන් ද හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත සඳහා මහවැලි අධිකාරිය යටතේ තිබු විශාල භූමි ප්‍රමාණයක් අහිමි වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවස්ථා කීපයකදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය.
වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2017 දෙසැම්බර් 19 දින WL /16/RTI යන ලිපි අංකය මගින් ලබාගත් තොරතුරුවලට අනුව, හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත සදහා හෙක්ටයාර 25,997ක් වෙන්කර තිබු අතර ඒ සඳහා සිතියම් ද සකස් කර තිබුණි. එමෙන්ම 2019 නොවැම්බර් 20 දින වජි /06/01/02//769 යන ලිපි අංකය යටතේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වූයේ එම බිම් ප්‍රමාණය හෙක්ටයාර 25,726 දක්වා අඩුවී ඇති බවයි. ඒ අනුව වසර දෙකක් තුළදී වන අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් වෙන්කර තිබු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 270ක් අඩුවී තිබේ.
මෙවන් පසුබිමක දී හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය වෙනුවෙන් 2021 අප්‍රේල් 09 දින අංක 2222/62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ හෙක්ටයාර 23,746කින් යුත් භුමි ප්‍රමාණයක් පමණය. ඒ අනුව තවත් හෙක්ටයාර 1384ක් අහිමි වී තිබේ. ඒ අනුව වසර තුනකදී හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් අහිමිකර ඇති භුමි ප්‍රමාණය හෙක්ටයාර 1654කි. එසේ අහිමිකර ඇත්තේ මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම් වේ.
ගැසට් කළ සිතියම
මේ අතර ඉදි වූ දකුණු අධිවේගී මාර්ගයේ මත්තල හා හම්බන්තොට දක්වා කොටස වශයෙන් තෝරාගනු ලබන්නේ වන අලින් බොහෝ සෙයින් ජීවත් වූ ප්‍රදේශයක් වන අතර දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමේදී මෙම ප්‍රදේශවල ජිවත්වන වන අලින් හට අධිවේගී මාර්ගයට පැමිණීමට නොහැකි ලෙස කිලෝමීටර් 35ක පමණ දිගින් යුත් දැඩි ආරක්ෂාකාරී අලි වැටක් ඉදිකර තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 215ක මුදලක් යොදවා ඇත.
මේ ආකාරයනේ විශාල මහජන මුදල් ප්‍රමාණයක් යොදවා අලි වැටක් ඉදිකරනු ලබන්නේ අධිවේගී මාර්ගයෙන් එපිට කොටස අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන්කර ඇති පසුබිමකය. මෙම ගැසට් පත්‍රයට අනුව අධිවේගී මාර්ගයේ සිට මිටර් 500කට පමණ දුරක් කිලෝ මිටර් 30ක් පමණ යනතුරු අඩු වැඩි වශයෙන් අලි කළමනකරණ රක්ෂිතයට අහිමි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී රුපියල් මිලියන ගණනක් වැයකර තවත් අලි වැටක් ඉදි කිරීමට සිදු වේ. මේ ආකාරයෙන් රුපියල් මිලියන 350කට අධික ප්‍රමාණයක් මහජන මුදල් නාස්තියක් සිදුවන අතර හුදෙක් එය සිදුකරනු ලබන්නේ තම දේශපාලන හිතවතුන්ගේ හා ඉඩම් ජාවාරම්කරුවන්ගේ මනදොල පිරවීමට අලින්ට වෙන්කර තිබූ රක්ෂිත කොටස් ලබාදීම තුලින් වීම කණගාටුවට කරුණකි.