පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්…

2020 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේ 19 වෙනි දින අපට අසන්නට ලැබුණේ පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ  ගිනි අවියකින් තැබූ වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින් සිටි හිමි නමකට වැදී උන් වහන්සේ අපවත් වීමේ කණගාටුදායක පුවතය.

හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අණ නොතකා ධාවනය කරමින් සිටි යතුරු පැදිකරුවෙකු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු සහ පොලිස් නිලධාරීන් අතර පොරබැදීමක් සිදුව තිබෙන අතර එම අවස්ථාවේ එක් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති අතර ඒ අසළින් ගමන් ගත් වෑන් රථයක සිටි හිමි නමකට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හිමිනම අඟුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත් වී තිබුණි.

මෙලෙස අපවත් වූයේ හාතාගල රජමහා විහාරස්ථානයේ වැඩවිසූ පූජ්‍ය උණාටුවැවේ සීලරතන නම් 21 හැවිරිදි හිමිනමකි.

එදා සැකකරුවෙකුට තැබු වෙඩිල්ල අහඹු ලෙස උන්වහන්සේ වෙත වැදී තිබුණි. මෙහිදී ඉහළ නිලධාරීන් කිසිවෙකුත් පොලිසියේ මේ වෙඩි තැබීමේ ක්‍රියාවලියට දොසක් පැවරුවේ නැත. නමුත් කිසිවිටෙකත් පොලිස් නිලධාරීන්ට කිසිවෙකුගේ ජිවිතය වෙඩිල්ලකින් අවසන් කිරීමට  නීතියෙන් ඉඩ ලබා දී නොමැත.

කෙසේ නමුදු මෙම තත්ත්වය මේ වන විට ඉතා දරුණු මට්ටමකට පැමිණ ඇත. ඒ පොලිස් අත්අඩංගුවට පත් වන සැකකරුවන් පොලිස් මෙහෙුයම් වලදී වෙඩි වැදී මිය යාම් ඉහළ යාමය.

මේ වසරේ ජුනී මාසයේ සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 කු මිය ගොස් ඇත. මෙහි ආසන්නතම සිදු වීම සිදු වුයේ අද (28) උදෑසන වේයන්ගොඩ-හල්ගම්පිටියේදීය.

වේයන්ගොඩ- බාඳුරාගොඩ පදිංචිව සිටි නිශාන්ත කුමාරසිරි (37) නැමැති සැකකරු මෙසේ මිය ගොස් ඇත. මොහු ජීව අත් බෝම්බයක් ළඟ තබා ගැනීම හා කොල්ලකෑම් සම්බන්ධයෙන් මහධිකරණයේ විභාග වන නඩු තුනක විත්තිකරුවෙකි.

ඉකුත් දෙසැම්බර් 19 දා වේයන්ගොඩ, මාලිගාතැන්නේදී ගංජා ආරවුලක් සම්බන්ධයෙන් ගංජා පානය කරන පුද්ගලයෙකු වු සුනන්ද නැමැත්තෙකු පොලිසියට ඔත්තුවක් ලබා දුන්නා යැයි පවසමින්  ඔහුගේ පාදයක් වෙන් වීමට කොටා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු චෝදනා ලැබ තිබුණි. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 23 දා කුරුවිට පොලිස් බල ප්‍රදේශයේදීය. ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව භාර කෙරුණේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන බස්නාහිර පළාත් උතුර පෑලියගොඩ අපරාධ විමර්ශණ කොට්ඨාශයටය.

එසේ රැගෙන ආ ඔහු අද උදෑසන මෙහෙයුමක් සඳහා හල්ගම්පිටියට රැගෙන ගිය අවස්ථාවේ යම් සිද්ධියක් සිදුව ඇති බවත් එහිදි පොලිස් කොස්තාපල් රියදුරුට තුවාල වී ඇති අතර එහිදී පොලිසිය බලය පාවිච්චි කිරීමේදී මෙම සැකකරු තුවාල ලබා මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ වන විට පොලිසියේ වෙඩි තැබිම් වලින් සැකකරුවන් 09 කු මිය ගොස් ඇත.

ඒ ජුනි 08 දා සිටය. පතිරණගේ රාජා විමලධර්ම නොහොත් ගොනාකෝවිලේ රාජා මිනුවන්ගොඩදි ඝාතනය වුයේ ජුනි 8 දාය. සංජීව සම්පත් නොහොත් කැටවල සම්පත් පොලිසියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියේ ජුනි 26 දාය. මොරටුවේ, අඟුලාන පදිංචි අමිත් කරුණාරත්න නම් ධීවරයා පොලිසියේ වෙඩි වැදීමට ලක්ව මිය ගියේ ජුලි 09 දාය. අසිත ප්‍රේමතිලක නොහොත් සොල්ටා  අංගොඩදී ඝාතනය කෙරුණේ අගොස්තු 11 දිනය. චමින්ද එදිරිසුරිය නොහොත් චමීයා ඝාතනය කෙරුණේ අගොස්තු 23 දා ගම්පහදීය. ඉඳුනිල් වජිරකුමාර නොහොත් ඉන්ද්‍රා මිය ගියේ අගොස්තු 29 දාය. ඒ හංවැල්ලේදීය.

රත්මලානේ රොහා  ඝාතනය වුයේ සැප්තැම්බර් 23 දාය. පාතාලයේ ගොඩ් ෆාදර් ලෙස සැලකු සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් දෙමටගොටදී වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔක්තෝම්බර් 20 දාය. එම ඝාතනය සමාජයේ දැඩි කතාබහක් ඇති කළ හෙයින් ඉන් පසුව පොලිසිය පසු වුයේ නිහඬවය. ඉන් පසු සිදු කෙරුණු වෙඩි තැබීම සිදුවුයේ අදය.

මේ සියලු වෙඩි තැබීම් සිදුව ඇත්තේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ වීම සුවිශේෂිය.

Social Sharing
නවතම