කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි

කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය දන්වයි.

මාධ්‍ය වෙතද නිකුත් කර ඇති එම ලිපියෙහි දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ කාන්තා සිසුන් 550ක පමණ ප්‍රමාණයක් මෙම මුත්තයියා නේවාසිකාගාරයේ නේවාසික පහසුකම් ලබන බවත් විශේෂයෙන් එහි වෙනස් හැකියා සහිත (differently able) සිසුවියන් ද විශාල ප්‍රමාණයක් නේවාසික පහසුතකම් ලබන බවයි.

විශේෂයෙන් බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මුත්සිතයියා නේවාසිකාගාරය සිසුවියන්ට පහසු ස්ථානයක් බවත් ආචාර්ය සංගමයසිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

විශේෂයෙන් ශාස්ත්‍ර පීඨ අචාර්ය සංගමය මෙහිදී පෙන්වා දෙන්නේ ආචාර්යවරුන් සමග කිසිදු සාකච්ඡෘවකින් තොරව මෙන්ම කිසිදු වෙනත් නේවාසිකාගාර පහසුකමක් සිසුන්ට නොසපයමින් වහාම ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳ තම සංගමය පුදුමයට පත් වන බවයි.

ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය මෙහිදී නාගරික සංවර්ධන අධීකාරියේ ඉහත නියෝගය නැවත සලකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.

ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමයේ සභෘපති ත්‍යාගරාජා වරදාස් මහතාගේ හා එහි වැඩබලන ලේකම් හංස ජයරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබේ.

Social Sharing
නවතම