අයියාට මේ රජ ගේ නංගි හදාලා – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණ වේ. එය ලෝකයේ පමණක් නොව දකුණු ආසියාවේ පවා අඩු අගයකි. මන්ත්‍රීනියන් සංඛ්‍යාව 12කි.
වර්තමානයේදී කාන්තා කටයුතු අමාත්‍යාංශය පවා පවතින්නේ පිරිමියකු යටතේය. කාන්තා කටයුතු ඇමතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන අතර, කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනිය ගීතා කුමාරසිංහයි.
2018 වසරේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයෙන් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභාවලට තේරී පත් වූ මන්ත්‍රීන් 8,721ක් අතරින් 2,526ක් හෙවත් 29%ක් ම කාන්තාවෝ වූහ. එහෙත්, දැන් ක්‍රියාත්මක වන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි. පළාත් සභා දිගු කලක සිට අකර්මන්‍යය.

මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකත්ව මණ්ඩලවල සිටින කාන්තාවන් සංඛ්‍යාව අවමය.
ලංකාවේ ධනේශ්වර දේශපාලන පක්ෂවල තරමින් හෝ විප්ලවවාදී දේශපාලන පක්ෂවල කාන්තා නියෝජනයක් නැත. ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පවා දේශපාලන මණ්ඩලවල කිසිදු දිනෙක කාන්තාවක සිට නැත. එහෙත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ දේශපාලනයේ ඉදිරි ම පෙළේ කාන්තා නායිකාවන් සිටිය හ.

මේ වන විට කාන්තාවන් සංවිධානය කිරීමේ දැඩි උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂය වන්නේ ජාතික ජන බලවේගයයි. එහි නායක මණ්ඩලයේ ඉදිරි පෙළෙහි හරිනි අමරසූරිය සිටින බව පෙනේ. එහෙත්, ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ විසින් සම්පූර්ණයෙන්ම හසුරුවනු ලබන රූකඩ සන්ධානයකි. අප දන්නා තරමින් ජවිපෙ දේශපාලන මණ්ඩලයේ කාන්තාවන් නැත. මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 30ක් පමණ අතර කාන්තාවකට සිටින්නේ සමන්මලී ගුණසිංහ පමණි. (මෙම කරුණු වැරදි නම් නිවැරදි කළ හැකිය.)

2019දී පැවැත්වුණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සම්මේලනයේදී එහි මධ්‍යම කාරක සභිකයන් 17දෙනා අතරට කාන්තාවක් තෝරා පත් කරගෙන තිබිණි. ඇය නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය නම් සංවිධානයේ ජාතික සංවිධායිකාව ද වන හේමමාලි අබේරත්නයි.
අපේ රටේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වන්නේ 35%ක් පමණ ප්‍රතිශතයකි. ඉතිරි 65% වැඩ නොකරන බවක් එයින් අදහස් වන්නේ නැත. කාන්තාවෝ විශාල වශයෙන් වැටුප් නොලබා සත්කාර කටයුතු, ඉවුම් පිහුම්, ගෙදරදොර කටයුතු, අත් උදව් ආදී වැඩවල යෙදී සිටිති.

ලංකාවේ සැබෑ විප්ලවයක් ආරම්භ කළ හැකි එක් සන්ධිස්ථානයක් වන්නේ ශ්‍රම බලකායේ කාන්තා ප්‍රතිශතය වැඩි කිරීම හා කාන්තා ව්‍යසායකත්වය වර්ධනය කිරීමයි. ඒ සඳහා දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීම ද වැදගත් වේ. එවිට ප්‍රතිපත්ති සම්පාදනයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පහසුවෙන් අදාළ කරගත හැකිය.
එක මිටට පැමිණි කාන්තාවන් දැන් පක්ෂ තුළ තම ස්ථානය ඉල්ලා සිටිය යුතුය. එසේ නොමැති නම්, කාන්තාවන් අයියලාගේ කතා අසන නංගිලා පමණක් වනු ඇත.

Praja.lk

Social Sharing
නවතම පුවත් විශේෂාංග