ආණ්ඩුව බටහිර වෙරළ විකුණන බවට චෝදනා!

වත්මන් ආණ්ඩුව විසින් බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති මුතුරාජවෙල තෙත් බිම් කලාපය ද අයත් මෙම ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම මගින් අනතුරුව විකුණා ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ [04] පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“යූ.ඩී.ඒ එකට පවරා ගෙන දැනටමත් මේක විකුනලා සල්ලිත් අරගෙන ඉවරයැ,”යි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසයි.

නිල්සිරිගම, ජනෝදය ගම, ඇතුළු ගම් රැසක් අයත්  පෑලියගොඩ සිට මිගමුව කොච්චිකඩේ දක්වා දිවෙන බටහිර වෙරළ තීරයේ ඉඩම් හා දේපල අහිමිවන ජනයා දැනටමත් මීට විරෝධය දක්වා තිබේ.

පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මේ මගින්  මුතුරාජ වෙල තෙත් බිම් රක්‍ෂිතයට හා එහි වෙසෙන ජිවින්ට දැඩි හානි පැමිණිය හැකි බවයි.

යම් ප්‍රමාණයකට හෝ ආරක්ෂා වී තිබුණු මුතුරාජවෙල වන ජීවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තු වලින් ඉවත් කර ප්‍රබල පනතකින් සමන්විත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම පරිසරවේදියෝ දැඩි ලෙස හෙලා දකිති.

“පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ යට ගසන, හැන්සාඩ් වාර්තාවන්ගේ අඩංගු කරුණු නැවත ගෙන හැර දැක්වීම නිසා සිරිල් ගාමිණී පියතුමා රහස් පොලිසි ගෙනියන්න හදන ආණ්ඩුව, දැන් කතෝලිකයන් බහුතරයක් ඉන්න බටහිර වෙරළ විකුණා දමලා,” යැයි පැවසූ හරීන් ප්‍රනාන්දු  “ජනතා දුක දැනෙන්නේ  නැති ආණ්ඩුවට ඇනෙන්න උද්ඝෝෂණ කරනවා,” යැයි ද අභියෝග කළේය.

වත්තල, ජා ඇළ, සහ මිගමුව මැතිවරණ බල ප්‍රදේශවල ආණ්ඩුවේ ව්‍යාපෘතියෙන් ඉඩම් හා දේපල අහිමි ජනයාගේ සහභාගිත්වයෙන් එළඹෙන සඳුදා උද්ඝෝෂණයක් පැවැත්වීමට ද නියමිතය.

නැගෙනහිර වෙරළ තිරයේ අක්කරෙයිපත්තු සිට පොතුවිල් දක්වා ඛනිජ කැනීම් ව්‍යාපෘතියක් සඳහා බ්‍රිතාන්‍යයේ  කැපිටල්ස් මෙටල්ස් සමාගමට 2013 වසරේදී පවරා  තිබේ.

ප්‍රදේශයේ ධිවරයන්ගේ විරෝධය නිසා හකුලා ගැනුණු මෙම ව්‍යාපෘතිය එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ අදහසක් අනුව ක්‍රියාත්මක වුවකි.

Social Sharing
නවතම