සහරාන් බිරිඳගේ ජීවිතාරක්ෂාව ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

කොරෝනා ආසාදනය වූ බව පවසා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මාරුකර යවා ඇති පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකකරුවකුගේ බිරිඳගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාට නිර්දේශ කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයවමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා ලබන මොහොමඩ් සහරාන් ගේ බිරිඳ වන ෆාතිමා කාදර් සාදියා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව වැලිකඩ රිමාන්ඩ් සිරගෙදරින් වැලිකන්දට මාරුකර  ඇති බව කෝවිඩ්  පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබුණි.

මෙම මාරුව සිදු කර තිබුනේ පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳව විභාග කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමත් සමගමය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුවී ඇත්තේ ඇගේ ජීවිතය අනතුරට ලක්වී ඇති බවට පැමිණිලි ගණනාවක් ලැබීමෙන් අනතුරුවය.

“පාස්කු බෝම්බ ප්‍රහාරය පිලිබඳ විභාග කරන ජනාධිපති කොමිසම හමුවේ සාදියා මහත්මිය සාක්ෂි දීමෙන් අනතුරුව ඇගේ ජීවිතය අවදානමේ පවතින බවට පැමිණිලි ගණනාවක් පසුගිය පැය 48 තුල කොමිසමට ලැබී ඇත,” යි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනියට  නොවැම්බර් 10 දා යවා ඇති ලිපියක සඳහන් වේ.

සහරාන්ගේ නායකත්වයෙන් යුත් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධ මෙතෙක් හෙළි නොවූ තොරතුරු සාදියා ෆාතිමා පාස්කු බෝම්බ කොමිසම හමුවේ අනාවරණය කළ බව ජනමාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කර තිබුණි.

සහරාන් බිරිඳ ඉන්නා තැනක් පිලිබඳ තොරතුරු නැතිවීම කෙරෙහිද මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුවී තිබේ.

“සියලු රිමාන්ඩ් රැඳවියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට නීතිය ප්‍රකාර පැවරී ඇති වගකීම සුරැකීමට ඔබේ කාර්යාලය උපරිම උත්සාහය දරනු ඇති බවට අපට විශ්වාසයක් ඇති අතර, මෙම පැමිණිල්ල වහාම ඔබේ අවධානයට යොමුකරන කොමිසම ඔබේ අත්අඩංගුවේ පසුවන ඇයගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි ආරක්ෂක පියවර ගන්නා මෙන් උදක්ම ඉල්ලා සිටී. එමෙන්ම, සාදියා මහත්මිය ඉන්නා තැනක් සහ තාවකාලිකව ඇගේ සෞඛ්‍ය කටයුතු භාරව ඉන්නා බලධාරියාගේ විස්තර හැරෙන තැපෑලෙන් කොමිසමට දන්වන්න.”

සිරගත කොට සිටින්නන්ගේ අයිතිවාසිකම් පිලිබඳ සොයා බැලීමටත්, ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිලිබඳ පැමිණිලි විභාග කිරීමට හා රඳවා ඇති තැන් වලට ගොස් ඔවුන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීමටත් මානව හිමිකම් කොමිසමට නීත්‍යානුකුල බලයක් ඇති බවද තමාරා විමලසුරිය ලේකම්වරියගේ අත්සනින් බන්ධනාගාර කොමසාරිස්ට ලියා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතීක ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර අසේල ගුණවර්ධනට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ලිපියේ පිටපත් යවා තිබේ.

human rights organization of sri lanka

human rights organization of sri lanka

 

Social Sharing
නවතම