දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැමිණි ලොකුම අභියෝගය කොවිඩ් – WHO

දිනපතා වාර්තාවෙන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බැවින් කොවිඩ් ව්‍යාප්තිය බැරෑරුම් ලෙස සලකන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ ලෝක  සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් BBC සේවයට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය තවම පැමිණ නොමැති බවකි. එසේම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැමිණි ලොකුම අභියෝගය මෙය බවත් ශ්‍රී ලංකාවටද මෙයින් ගැලවී යා නොහැකි බව ඇය පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවකයන්ට, ආරක්ෂක හමුදාවන්ට සහ අනෙකුත් පළාත් පාලන ආයතනවලට මෙය තනිවම පාලනය කළ නොහැකි බව පෙන්වා දෙන ඇය පවසන්නේ තමන් තමන්ගේ කොටස ඉටු කළ විට මෙය පාලනය කළ හැකි බවය.

ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථාන, අධික තදබදයක් සහිත තැන්, එකිනෙකා සමීපව ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින ලෙස දන්වා සිටින ඇය පවසන්නේ සමාජ දුරස්ථභාවය තබා ගැනීම, කහින විට අනුගමනය කරන සෞඛ්‍ය පුරුදු, නිතරම දෑත් සබන් යොදා සේදීම , මතුපිට පෘෂ්ඨ විෂබීජහරණය කිරීම, නිවැරදිව මුඛ ආවරණ පැළඳිම අත්‍යවශ්‍ය බවත් අසනීපගතියක් දැනේ නම් රැකියාවට නොයන ලෙසය.

එන්නත් ප්‍රබල ආධාරකයක් වූවද ඉන් පමණක් පිලියම් නොලැබෙන බවත් සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කිරිම වැදගත් බවද ඇය මෙහිදි පෙන්වා දී සිටියි.

වසරකට වඩා වැඩි කාලයක් කොවිඩ් වෛරසයෙන් වෙහෙස වී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වයිරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවද ඔලිවියා නිවේරාස් මෙහිදී වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම