මිලිටරිකරණය හමුවේ වත්මන් සමාජය කොයිබටද?

දෙසැම්බර් 31 වැනි දා, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තරුපහේ ජෙනරාල් ධූරයන්ට උසස් කෙරුනි. ඉන් අනතුරු ව හමුදාපති සිල්වා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මුලින් කී පත් වීම් නිවේදනය කල බව හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

හමුදා නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට මෙම පත් කිරීම්වල අරමුණ “සම්බන්ධීකරන හමුදා නිලධාරීන්, අවශ්‍ය වෙතොත්, දිස්ත්‍රික් මට්ටමේ නිරෝධායන මධ්‍යස්ථාන, නිරෝධායනය සහ ප්‍රතිකාර සඳහා පුද්ගලයන් ප්‍රවාහනය, බේත්, උපකරණ, වියලි ආහාර සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සියලු තාක්ෂනික අවශ්‍යතාවන් සඳහා පහසුකම් සම්පාදනය කරනු ඇත,” යයි දක්වා ඇත.

නව වසරේ දී, බ්‍රිගේඩියර්ලා පස් දෙනෙකු මේජර් ජෙනරාල් ධූරයට උසස් කෙරුනු අතර, තවත් 560ක නිලධාරියෝ ඊලඟ ශ්‍රේණියට උසස් කරනු ලැබූහ. ඩේලිමිරර් සඳහන් කරන ආකාරයට මෙ වැන්නක් ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ පෙර නූවූ විරූවකි. මෙයට සමගාමී ව සිවිල් ජන ජීවිතය තව තවත් මිලිටරීකරණය කෙරෙන පියවර කීපයක් ඉකුත් සතියේ ක්‍රියාවට දැමුනි. ඒ අනුව, ජනවාරි 2 වැනි දා සිට රියදුරු බලපත් නිකුත් කිරීම මිලිටරිය යටතට ගෙන ඇත. තව ද, ලංකා සතොස නව සභාපති ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් පත් කරනු ලැබ ඇත.

ආණ්ඩුව “වසංගතය සමග ජීවත් වීමේ” තම “නව සාමාන්‍ය” ප්‍රතිපත්තිය අනුව වසංගතය පාලනය කිරීමේ සියලු ම උත්සහයන් අත් හැර දමා ඇත යන්න පසුගිය උත්සව සමයේ සංචරන සීමා පැනවීම ප්‍රතික්ෂේප කිරීමෙන් තවත් පැහැදිලි වූවකි. ලෝකයේ සෙසු රටවල ද මෙම ප්‍රතිපත්ති විසින් නිර්මාණය කර ඇත්තේ සමාජ ඛේදවාචකයකි. ලංකාවේ මරණ සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇති අතර වාර්තාගත සමස්ත ආසාදිතයන් ගනන 45,000ට කිට්ටු කරමින් පවතින්නේ 10 000කට ආසන්න සීමිත පරීක්ෂණ යටතේ පවා දෛනික ව 500ක් පමන නව ආසාදිතයන් වාර්තා වෙමිනි.

වසංගතය සම්බන්ධයෙන් තීරන ගත හැකි මට්ටමේ සංඛ්‍යානමය තොරතුරු ප්‍රසිද්ධ නොකරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා චෝදනා එල්ල කරයි. මෙම තොරතුරු එළිදරව් නොකිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ ගැටලුවක් නොව වසංගතය සම්බන්ධයෙන් යථා තත්ත්වය වසන් කිරීමට ආන්ඩුව ගෙන යන දැනුවත් ප්‍රතිපත්තියේ එක් අංගයකි.

වසංගතය පැතිරෙමින් පැවතිය දී තම සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් වී සේවයට වාර්තා නොකර සිටි වරාය කම්කරුවන් බලාත්කාරයෙන් වැඩට ගෙන්වා ගැනීමට අවශ්‍ය වන නිතීමය පසුබිම් සකසා ගනිමින්, ආන්ඩුව නොවැම්බර් 27 වැනි දා හදිසි සේවා නියෝගයක් නිකුත් කලේ ය. එය මාස්පතා දීර්ඝ කිරීම අරඹා ඇත. වෘත්තීය සමිතිවල සහයෝගයෙන් මෙම මර්දන නීති පැනවීම ආණ්ඩුව කම්කරුවන් මතට කඩා පැනීමේ රුදුරු සුදානම කල්තියා ප්‍රදර්ශනය කර ඇත.

මේ වසරේ මිලිටරි වියදම් රුපියල් බිලියන 47කින් රුපියල් බිලියන 440ක් දක්වා ඉහල නංවා ගෙන ඇති අතර, හමුදාවට නව බඳවා ගැනීම් නිවේදනය කර ඇත. ආණ්ඩුව මෙම වැඩපිලිවෙලට වහන්තරාවක් සපයා ගැනීමට උත්සහ දරන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬීමත් ජාතික ආරක්ෂාවත් පෙරමුණට දමමිනි. ධනපති ජනමාධ්‍ය මේවා වාර්තා කරන්නේ සාමාන්‍ය සිදුවීම් ලෙසය.

Social Sharing
නවතම විශේෂාංග