වරාය සටනට මොනවා වෙයිද?

කොළඹ වරාය පිලිබඳ ගැටලුව මේ වන විට  දසත ඔඩු දුවමින් ඇත. ඇතමුන් විකණීමට කථා කරන වරාය තවකෙක් කියන්නේ විකුණන්නේ නැති බවය. කථා දෙකක් කිව්වත් ඔවුන් එකම පිලේය. දේශපාලන වාසි තකා ඔවුන් දෙපැත්තටම කථා කරති. මෙයින් තැලෙන්නේ වරාය සේවකයාය.

මේ වන විට වරායේ  නැගෙනහිර පර්යන්තය පවතින්නේ ඉහළම ලංසුවකය. එහි ප්‍රධාන ගැණුම්කරු ඉන්දියාවේ ආදානි සමාගමය.

මේ අතර ද ලීඩර් පුවත්පත මේ සම්බන්ධව වාර්තා කර තිබුණේ අපූරු පුවතකි. ඒ  ඉන්දියාවේ අදානි සමාගමෙන් වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින්නේදැයි සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසන බවය.

වරාය නැගෙනහිර ජැටිය සුරැකීම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් (30) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්, වරාය ජාතික නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.කේ ජයසේකර, නිවාස අධිකාරි ජාතික නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් තුෂාර මෙන්ඩිස් , ඉංජිනේරු සංස්ථා ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති සමීර සුදර්ශන, එහි ප්‍රධාන ලේකම් නාලක ද සිල්වා සහභාගි වි තිබුණි.

එම පුවතට අනුව ඉන්දියාවේ අදානි සමාගමෙන් මාසිකව වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින බවට ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් සැක මතුකර ඇත්තේ, ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇතැමුන් ද ඉන්දීය සමාගමේ මුදලට නැටවෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පලවෙමින් තිබෙන පසුබිමකය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට කොටස් විකිනීමට එරෙහිව වරාය වෘත්තීය සමිති ආරම්භ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්  (29)  දා සිට ආරම්භ කළේය. ඒ දහවල් පැවැති උද්ඝෝෂණයකින් පසුවය.

එහිදී වෘත්තීය සමිති නායකයින් පවසුවේ අකුරට වැඩකිරීම දිගින් දිගටම පවත්වා ගෙන නොයන බවත්, එය ඉදිරියේදී වෙනත් සටන් ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවත්ය.

මෙයින් කලබලයට පත් වු ජනාධිපතිවරයා වහාම අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ආඥාවක් නිකුත් කළේය. ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නියම කරමිනි.

මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය 2021. 01. 30 දින ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කෙරුණි.

නමුත් වරාය සේවකයින්ගේ සටන මේ ගැසට්ටුවට නැවැත්වීමට නොහැකි විය. ඔවුන් කොළඹ වරාය විකිණීමට එරෙහිව ඊයේ  (31) දින “වැඩකරන ජන බලය“ වෘත්තීය සමිති සන්ධානය විසින් විරෝධතා පොස්ටර් ඇලවීමේ ක්‍රියාමාර්ගය අද කොළඹ කොටුවෙන් ආරම්භ කරන ලදී. මේ අතර කොළඹ දිස්ත‍්‍රික් උද්ඝෝෂණ මාලාවක්ද අද ( 01)  දින දහවල් 12.00ට ස්ථාන රැසක පැවැත්වීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

කොළඹ වරායේ කොටස් ඉන්දියාවට හෝ වෙනත් රටකට හෝ සමාගමකට හෝ ආයෝජනය සඳහා යැයි පවසමින් පැවරීමට එරෙහිව මේ වන විට වරායේ සේවකයින් ප්‍රමුඛව වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්‍ෂවලද දැවැන්ත විරෝධයක් එල්ලවෙමින් පවතින නිසා  අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ දින ඔහුගේ මතය ප්‍රකාශ කර තිබුණේය.

ඒ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ජැටිය) මෙහෙයුම් කටයුතු වලට ඉන්දියාවට හෝ ජපානයට විකිණීම හෝ බදු දීම කිසිවිටෙකත් සිදුනොකරන බවය.

කෙසේ නමුදු කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී අද (01)  දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පැවසුවේ ගැටලුව පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ද කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරණු ඇති බවය.

Social Sharing
නවතම