කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අත්සන් කළ ත්‍රෛයිපාර්ශවීය ගිවිසුම කුමක්ද?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ තිබු ගැටළුව සමතයකට පත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ 100% ක්ම වරාය නැගෙනහිර කොටස සංවර්ධනය කෙරෙන්නේ වරාය අධිකාරිය විසින් බවය. කැබිනට් මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබුණු අතර ඔවුන් කියා සිටියේ නැගෙනහිර කොටස මෙරටට තබා ගනිමින් බටහිර කොටස ඉන්දියාවේ ආයෝජකයින් වෙත පැවරීම පිලිබඳ සොයා බැලීමට අනු කමිටුවක් පත් කළ බවය.

නමුත් මේ පිලිබඳ මාධ්‍ය වාර්තා කර සිටිමත් සමඟ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කියා තිබුණේ  2019 මැයි 28 වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග කොළඹදී ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තැබූ එකඟතා ගිවිසුම වහා ක්‍රියාවට නැංවිය යුතු බවය.

මේ සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසන්නේ කැබිනට් මණ්ඩලය නැගෙනහිර පර්යන්තය 100% ක් වරාය අධිකාරියට අයත් බව කීවද අත්සන් තබා ඇති ගිවිසුම මෙතෙක් අක්‍රීය නොකර තිබිම සැකයට කරුණක් බවය.

ඒ නිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ත්‍රෛපාර්ශවීය එකඟතා ගිවිසුම ආණ්ඩුව වහා ප්‍රකාශයට පත් කළ යුතු බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මාස කිහිපයක් පුරා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ගැටුම වරාය වෘත්තීය සමිති හවුල විසින් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් ලෙස දියත් කරනු අපි ඉතා ඕනෑකමින් බලා සිටියෙමු.

ඒ සම්බන්ධයෙන් නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් වෙත පවරා ඇතැයි වරාය වෘත්තීය සමිති හවුල විසින් ඉදිරිපත් කළ චෝදනාවට ආණ්ඩුවේ පිළිතුර වූයේ එහි කිසිඳු පංගුවක් කිසිවකුට අලෙවිකර නැති බවත් එහි බහුතර අයිතිය වරාය සතුව තබා ගනිමින් ඉතිරිය ඉන්දියාවට හා කැමැත්තක් දක්වන වෙනත් පාර්ශව සඳහා ආයෝජනයට ඉඩ තබා ඇති බවත් ය.

ඒ සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති හවුලේ නායකයින් ජනාධිපති සමගත් පසුව අගමැති සමගත් සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡා මගින් ඔවුන් අතර පැහැදිලි එකඟතාවක් ඇති නොවූ බැව් නැවත ප්‍රකාශ කෙරුණු විරෝධතා මගින් පෙන්නුවකි.

ආණ්ඩුවද ඒ සම්බන්ධව සිය ස්ථාවරය කෙමෙන් වෙනස් කළ අතර නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ආයෝජන සඳහා ඉදිරිපත් කිරීමේ වෙනත් යෝජනා ප්‍රසිද්ධ කෙරිණ. ඒ සමග ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තතයේ හිමිකාරිත්වය වෙනත් පාර්ශවයකට ලබා දෙනවාට විරුද්ධ බැව් පසුගිය ජනවාරි 31 වන දින මාධ්‍යයට ප්‍රකාශකර තිබිණ. නැගෙනහිර පර්යන්තයේ අයිතිය සියයට සියයක්ම වරාය සතුව තබා ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ පසු දින මාධ්‍යයට කියා තිබිණ. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද අගමැති මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති සමග පැවසූ බව සඳහන් විය.

ආණ්ඩුවේ මේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් පෙබරවාරි 01 වන දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට පවසා තිබූයේ ඔවුන් ශ්‍රී ලංකා ආණ්ඩුවට දන්වා සිටින්නේ 2019 මැයි 28 වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග කොළඹදී ශ්‍රී ලංකාණ්ඩුව අත්සන් තැබූ එකඟතා ගිවිසුම වහා ක්‍රියාවට දැමිය යුතු යැයි කියා ය.

එසේ තිබියදීත් පෙබරවාරි 01 වන දින ආණ්ඩුව නැගෙනහිර පර්යන්තයේ පූර්ණ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මෙය අවසන් විසඳුම නොවන බව අපගේ විශ්වාසය වන්නේය. ඉන්දියාව හා ජපානය සමග ඇති ත්‍රෛපාර්ශවීය ගිවිසුම එමගින් අහෝසි නොවන බැව් අපි දනිමු.

එබැවින් ඒ ත්‍රෛපාර්ශවීය එකඟතා ගිවිසුමෙහි අඩංගුව කුමක්දැයි දැන ගැනීමේ අයිතිය මේ රටේ වෘත්තීය සමිති වලට පමණක් නොවල සියලු ජනතාවටම ඇත. එවැන්නක් විශේෂයෙන්ම වරාය පර්යන්තයක් වැනි ආර්ථික වශයෙන් මෙන්ම ආරක්ෂක සාධකයක් ලෙසින්ද ඉතා සංවේදී ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් ආණ්ඩුවක් වෙනත් රටවල් සමග ඇති කරගන්නා එකඟතා කවරේදැයි කල් තබා දැන ගැනීමේත් ඒ සම්බන්ධ සමාජ කතිකාවක් පැවැත්වීමේත් අයිතිය ජනතාව සතු අයිතියකි.

එබැවින් අප ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින්නේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු දින සහිතව ප්‍රකාශ කළ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග අත්සන්කර ඇති එම ත්‍රෛපාර්ශවීය එකඟතා ගිවිසුම වහා ප්‍රකාශයට පත් කරන මෙන්ය.

Social Sharing
නවතම