ජිනීවා තත්ත්වය බැරෑරුම් – රමණි මුත්තෙට්ටුවේගම

මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියකු වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය සමග පැවැත් වූ කතා බහක් ඇසුරිනි.

අපේ රටේ මේ සිදුවන අතුරුදහන් කිරීම්, ඝාතන අපිට එදිනෙදා හොඳින් හුරු – පුරුදු සාමාන්‍ය තත්වයක් වෙලා. දැන් අලුතින් ඒ පිළිබඳ සොයා බැලීම් කරන්න නැවත වතාවක් රජය විසින් කොමිසමක් පත් කරලා තියෙනවා. මෙතෙක් කලක් ඇති වූ සිදුවීම් සහ ඒ පිළිබඳව පරීක්ෂණ කරපු ආකාරය බලනකොට මොනවද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ?

මුලින්ම කියන්න ඕනේ අවුරුදු ගණනාවක් අපි කතා කරමින් හිටියේ දණ්ඩ මුක්තිය (impunity) ගැනයි. අපි කිව්වේ අතුරුදහන්වීම පිළිබඳ තියන දණ්ඩ මුක්තිය නිසා මේක තවදුරටත් කරගෙන යනවා කියලා. ඒ වගේම අපි කිව්වා මේ අතුරුදහන් වීම් නිකම් ම සිදු වෙන දෙයක් නෙමෙයි. විශාල යාන්ත්‍රණයක් අවශ්‍යයි යම් පුද්ගලයෙක් පැහැරගෙන ගිහින් එයාව අතුරුදහන් කරවන්න. එම යාන්ත්‍රණය කවදාවත් වෙනස් වුණේ නැහැ. ඒක තමයි ප්‍රශ්නය.

මම හිතන්නේ වසර 50 ක් විතර දැන් අපි මේ සිදුවීම් දැකලා තියෙන නිසා අපිට කියන්න පුළුවන් මේක මේ පවතින යාන්ත්‍රණයවත්, දණ්ඩ මුක්තියවත් පමණක් නොවෙයි. මම හිතන්නේ මේක අපේ සංස්කෘතියෙම කොටසක්. ඇත්තටම ලැජ්ජා විය යුතුයි මේක කියන්න, ලංකාව කියන්නේ අතුරුදහන්වීමේ දිවයිනක් (Island of Disappears). ලංකාවේ එක ජන කණ්ඩායමක්වත් නැහැ අතුරුදහන් වීමට ලක් නොවුණු. එක යුද්ධයක්වත් තිබුණේ නැහැ අතුරුදහන්වීම් සිදු නොවුණු. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. අපි බැලුවොත් 2019 බෝම්බ පිපිරීම. කොයිතරම් අයව අත්අඩංගුවට ගත්ත ද?

මම ඒ කාලෙදි හිටියේ මානව හිමිකම් කොමිෂන් සභාවේ. එතනටයි බොහෝ අය පැමිණිලි කළේ. ඒ සිදුවීමට පස්සේ දිගටම සිදු වන අතුරුදහන්වීම් දැනට නැහැ. ඒක ඉතාමත් ලොකු සිදුවීමක්නේ අපේ රටේ. ඉතින් මම හිතන්නේ සමහරවිට සංඥාවක් තියනවනම් රජයකින් මේක ඇති කියලා, පළමුවෙන්ම අපි පටන් ගන්න ඕනෑ එතැනින්. දැනට සිදුවෙන දෙයයි අපි නවත්තන්න ඕනෑ. ඒක නවත්තන්න පුළුවන්. අපි උසාවියේ දී කියන්නේ තහනම් නියෝගයක් (enjoining order) හෝ ගත යුතුයි පළමුවෙන්ම.

දැන් මේ කොමිෂන් සභාව බැලුවොත් එක අතකින් මේක විහිලුවක්. අද ජනාධිපති තමයි ඒ කාලයේදී ආරක්ෂක ලේකම්. වර්තමාන ජනාධිපතිගේ සොහොයුරා තමයි ඒ කාලේ හිටපු ජනාධිපති. ඒ කාලෙ හිටපු ජනාධිපති, ආරක්ෂක ඇමැති සහ ආරක්ෂක ලේකම් (අද දින ජනාධිපති) මේ අය එකතුවෙලා තමයි එල්.එල්. ආර්. සී සහ දෙවෙනි කොමිෂන් සභාව පත් කළේ. ඒ පත් කිරීමෙන් පසු එහි තිබුණු නිගමන සහ නිර්දේශයන් හොයන්න අවුරුදු දහයක් ඉන්න අවශ්‍ය නැහැ නේ? මොනවට හිටියද කියන එක මට පැහැදිලි නැහැ.

අනෙක් අතට බැලුවොත් ඒ කොමිෂන් සභා සියල්ල පත් කරත් දිගටම මේ තැනැත්තන් දේශපාලනික වශයෙන් ප්‍රකාශ කළේ මානව හිමිකම් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු වුණෙත් නැහැ යුද්ධයේ එම කාලය තුළ කියලා. සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදු වුණෙත් නැහැ, යුද අපරාධ සිදු වුණෙත් නැහැ කියලා තමයි දිගටම කිව්වේ. දැන් නැවත මේ අයම කියනවා, අලුත් කණ්ඩායමකට අර පැරණි කොමිෂන් සභා කියපු දේවල් හොයා බලන්නලු එවැනි දේවල් සිදු වුණාද කියලා. දැන් මේක එක අතකින් විහිලුවට කාරණයක්. ඒක බලන්න පුළුවන්නේ. කොමිෂන් සභාවක් අවශ්‍ය නැහැනේ. මේ වාර්තාව කියෙව්වාම ඇතිනේ. මොකද නැවත සාක්ෂි කැඳවන්න ඕනෑද? මේකට, නැහැනෙ. නමුත් එක අතකින් බලනකොට මට පේන්නෙ ඉතාම පොඩි වෙනසක් ඇතිවෙලා. මොනවත් සිදුවුණේ නැහැ කියන තැනින් මොනවා හෝ සිදුවෙලා ඇති කියන තැනට ඇවිත් තියනවා. ඒක ලොකු දෙයක්. වෙච්ච සිදුවීම් එක්ක සංසන්දනය කරනකොට එක පොඩි දෙයක්. නමුත් මේකත් ලොකු පියවරක්. ඒ කියන්නේ දැන් කියනවා අපි අවුරුදු දහයකට කලින් කිව්ව දේ වැරදියි ඒක සත්‍යම නෙවෙයි. ඒක දැන් නැවත අපි බලන්න යනවා කියලා. ඒ අතින් හොඳයි.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයට අදාළව මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක රජයට ඉදිරිපත් කරලා තියෙනවා. රජය තවමත් ප්‍රතිචාර දක්වලා නැහැ. ඒ වාර්තාව තුළ අන්තර්ගත යෝජනා ගැන මොකක්ද අදහස?

දැනට ඒක තියෙන්නේ කෙටුම්පත් තත්ත්වයේ. ඒ සඳහා රජයේ ප්‍රතිචාර ඉල්ලලා තියෙනවා. රජය ප්‍රකාශ කර තිබුනා මම දැක්කා පහුගිය දවස් වල ළඟදි තමන්ගෙ ප්‍රතිචාරය ලබා දෙනවා කියලා. ඒ අතරතුර මාධ්‍ය මාර්ගයෙන් අපිට දැනගන්න ලැබුන දේවල් වලින් මට පේන හැටියට, දැන් හැම කවුන්සිල් සැසිවාරයකටම පෙර මානව හිමිකම් කොමසාරිස් වාර්තාවක් සැපයිය යුතුයි මානව හිමිකම් කවුන්සිලයට. ලංකාවට දැනට යෝජනා සම්මතයක් (resolution) තියෙන නිසා එයින් පසුව ගත්ත පියවර මොනවාද මේ දේවල් වෙනස් කරන්න කියන කාරණය පිළිබඳව. මට පේන විදිහට, සියල්ලම කියන්න බැහැනේ, තාම මේක ප්‍රකාශයට පත්වෙලා නැති නිසා. මට දැකගන්න ලැබුනෙ නිර්දේශ දෙක තුනක් විතරයි, දැනට මාධ්‍ය මගින් ඉදිරිපත් කරපු. ඒ නිර්දේශ මානව හිමිකම් මහකොමසාරිස් නිර්දේශ කළා නම් මීට පෙර තියෙන නිගමනයන් ගැන නීතිමය වශයෙන් බැලුවොත් තියෙන්නේ ඉතාමත් බැරෑරුම් නිගමන කිහිපයක්. ඒ කියන්නේ රටේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සංචාරක තහනමක් ඉල්ලලා තියෙනවා.

රටෙන් පිට සාමාජික රටවල් වලින් වත්කම් ඇවිරීම (asset freeze) වැනි දේවල්. මීට පෙර පිලිපීනයේ හිටපු ජනාධිපති මාර්කෝස් ට එරෙහිව එවැනි වත්කම් ඇවිරීමක් තිබුනා. ලෝකයේ පිළිගැනීම අනුව ඉතාමත් දරුණු අපරාධකරුවන්ට පමණයි මේ වගේ ජාත්‍යන්තර අවහිරතා, සීමා කිරීම් කරලා තියෙන්නේ. ඒ අනුව මම හිතන්නේ මේ නිගමනයන් අනුව පේන්නෙ මේ සම්බන්ධයෙන් ගත් පියවරවල් බොහොම සීමිතයි. ඒ විතරක් නෙමේ මේ ඇතැම් පියවරවල් තිබුණු තත්ත්වය තවත් පසුපසට යාමක් වගේ. මේ ගැන නිවැරදි නිගමනයකට එන්න නම් එම නිර්දේශයන් සම්පූර්ණයෙන්ම කියවා බලන්න අවශ්‍යයි.

අපි දුටුවා පහුගිය දිනවල මානව හිමිකම් කොමිසම විසින් ප්‍රබල මාධ්‍ය ප්‍රකාශයන් සහ නිර්දේශ ඉදිරිපත් කරනවා. විශේෂයෙන් මහර සිරකරුවන්ගේ ප්‍රශ්නය සහ මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අයගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන්. මෙහි වර්තමාන ප්‍රගතිය කොහොමද?

දැන් බන්ධනාගාර ප්‍රශ්නය කියන්නේ එක ප්‍රශ්නයක් නෙමෙයි. විශාල ප්‍රශ්නයක් එය. ලොකුම ප්‍රශ්නය ජනගහනය වැඩිවීම. අපේ රටේ මහේස්ත්‍රාත්වරුන් වර්තමානයේ හිතන්නේ මේ ඇප ලබා දීම වැරදියි කියලා. ඉස්සර ඇප නොලැබී යාම බොහොම දුර්ලභ අවස්ථාවක්. දැන් හැමෝම හිතන්නේ මේ ඇප ලැඛන්නේ බොහොම දුර්ලභ අවස්ථාවකදි කියලා. එතනින් පටන් ගත්ත ප්‍රශ්නයක් අපේ බන්ධනාගාර තුළ තියෙන්නේ. ඊට අමතරව දැන් අපි අත්දකින දෙයක් තමයි ඕනෑම කෙනෙක් සති දෙකකට බන්ධනාගාර ගත කලාට පස්සේ අපිට දැන් මුදා ගන්න බැහැ. මොකද කොවිඩ් නිසා සති දෙකක් ඒ අය නිරෝධායනයට යවනවා. එතනට ගියාට පස්සේ අපි ඇප ගත්තත් එයාට එලියට එන්න බැහැ ඒ දවස් 14 තුළ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.

අපි මහර සිදුවීම ගත්තොත් මට පේන හොඳම දේ තමයි මේ කොරෝනා පාවිච්චි කරලා අපේ රටම පාලනය කරන්න පුළුවන් කියලා කෙනෙක් හිතුවා. නිරෝධායන නීති කියලා අලුත් රෙගුලාසි ගෙනාවා. ඒ රෙගුලාසි හරිද වැරදිද කියලා නිශ්චය කරන්නවත් කවුරුත් නැහැ. ඇඳිරි නීතිය පැනෙව්වේ ඇඳිරි නීතිය දාන්න අයිතියක් නැති අය. මොකද පාර්ලිමේන්තුව තිබුණු නැති කාලෙදී ඇඳිරි නීතිය පැනෙව්වේ. ඒකත් වැරදියි. ඒ වගේ නොයෙක් නොයෙක් දේවල් මට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පසුගිය අප්‍රේල් මාසයේ අග වෙනකොට අපේ රටේ හිටපු බන්ධනාගාර ගත කණ්ඩායම විසි එක් (21,000) දහසෙන් දාහතර දහස ට (14,000) අඩු කළා. මොකද මේ කොරෝනා තත්ත්වය මත තදබදය වැඩි වන නිසා. නමුත් මැයි මාසයේ මේ රටේ ඇඳිරිනීතිය ඉවත් කරලා ඊට පස්සේ අපේ රටේ ආරම්භ වුණා war on drugs. හැබැයි ඒක ඇත්තටම ක්‍රියාත්මක වුණේ War on drug addicts and War on drug users විදියට. ඒක නිසා අර පාරේ තැනින් තැන ඉන්න තරුණයෝ ටික එකතු කරලා, ඒ අයව අරන් ඇවිල්ලා අපි රිමාන්ඩ් කළා. මේ අය ගංජා භාවිතා කරන, හෙරොයින් භාවිතා කරන ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච අය වෙන්න පුළුවන්. ඉතින් මොකද උනේ සැප්තැම්බර් මාසය වෙනකොට දාහතර දහසකට අඩු වෙච්ච අර සිර කණ්ඩායම තිස් හතර දහසකට ( 34,000) වැඩි වුණා. ඒක හිතන්න බැහැ ඒ තරම් අමානුෂික වැඩපිළිවෙළක්. බන්ධනාගාරය තුළ මෙතරම් පිරිසක් වැඩි කරන තරමට.

මට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් දැනගන්න ලැබුණා එක දවසක ජනගහනය දහසකින් වැඩි වුණා කියලා බන්ධනාගාරය තුළ. ඒ වගේම එදින එක් අයකුවත් නිදහස් උනෙත් නැහැ කියලා. මොනවද මෙතන වෙන්නේ? එවැනි දෙයක් කොහොමද වෙන්නේ? ඒක තමයි මෙතන තිබුන ප්‍රශ්නය. එතනින් පස්සේ කොවිඩ් තත්ත්වය තුළ පවුලේ අයට යන්න බැහැ. නීතිඥවරුන්ට යන්න බැහැ. අපි ඇප අයදුම්පත් ඉදිරිපත් කළත් ඒවා සලකා බැලුවේ අමුතුම ක්‍රමයකට. අපිට ඒ ගැන සාකච්ඡාවක්වත් පවත්වන්න බැහැ. ඒ සියල්ල සිදුවන අතරෙදි මහර මේ සිදුවීම ඇතිවුණේ. දැන් 100%ක් පැහැදිලියිනේ මේ තත්ත්වය. වාර්තා දෙකක් මේ පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙනවා. කුමක් හෝ උද්ඝෝෂණයක් තිබුණා. මේ උද්ඝෝෂණය කරපු අයට බන්ධනාගාර නිලධාරීන් හෝ වෙන කවුරු හරි, මොකද ඒක තාම අපැහැදිලියි, (තාම අධිකරණ වෛද්‍ය වාර්තාවේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් නැහැ) කවුරුන් හෝ මේ අයට වෙඩි තිබ්බා. පළවෙනි වතාවේ වෙඩි තිබ්බා. එතකොට මේ සිරකරුවන් පසු පසට ගියා. නැවත එළියට ආවම නැවත වෙඩි තිබ්බා. ඒ අතරතුර හැමෝම කෑ ගැහුවා. ගහගත්තා. නොයෙක් නොයෙක් දේවල් බන්ධනාගාරය තුළ සිදු වුණා. නමුත් එකොළොස් දෙනෙක් එදා මරුමුවට පත්වුණා. ඒ ඔක්කොම වෙඩි උණ්ඩ වලින් මරුමුවට පත් වුණේ. ඒ කියන්නේ අපේ නිලධාරීන් නේද ඒක කරේ එහෙනම්.

එදා මම මහරට විතරක් නෙමෙයි, රෝහලට වගේම ඉන් පසුව වැලිකඩටත් ගියා. ඔබ දුටුවානම් ඒ මිනිසුන්ගේ ඇඟේ තියන වෙඩි උණ්ඩ තුවාල ගැන, මම කතා කරන්නේ ඔලුව, බෙල්ල, උරහිස, පපුව, කොන්ද උඩු කොටස ගැන,  අවම බලය පාවිච්චි කිරීම කියන්නේ මේ වගේ වෙඩි තැබීමේ ක්‍රමයක් නම් එහෙමනම් අපි අසමත්. අපේ පුහුණුව බොහොම මදි. එහෙම නැතිනම් කවුරු හරි කෙනෙක් තරහින් වෙඩි තැබුවා. ඔබ දකින්නැති එදා නිලධාරීන් අදහස් පළ කරපු විදිහ. අපි හැමෝම සමාජ මාධ්‍ය ජාල තුළින් දුටුවා ඒ සිදුවීම. අපේ මාධ්‍යවේදීන් පවා පළ කරපු අදහස්. එහෙමද අපි කතා කළ යුත්තේ? නිලධාරීන් ඔවුන්ව හඳුන්වපු විදිහ. මාධ්‍යය කිව්වා මේ අය මත්ද්‍රව්‍ය භාවිතා කරලා හිටියා කියලා.

ඒ අතරතුර වැලිකඩත් ප්‍රශ්නයක් තිබුනා. සිරකරුවන්, රිමාන්ඩ් බන්ධනාගාර ගත වූවන් වහලයට නැග්ගා. ඒ කාලයේමයි ඒකත් සිදුවුණේ. එහෙම නම් ඇයි එතනදි මිනිස්සු මැරුණේ නැත්තේ? උද්ඝෝෂණය පාලනය කිරීම වෙනුවට මිනිස්සුන්ට වෙඩි තියලා මරලා පසුව ඒක සඟවන්න හැදුවා. කිව්වේ කිසිම කෙනෙක් වෙඩි උණ්ඩ වලින් මරණයට පත්වුණේ නැහැ කියලා. ඊට පස්සේ මේ හැමෝටම කොරෝනා තියෙනවා කියලා ආදාහනය කරන්න අවශ්‍යයි කියලා ඉල්ලීමක් කළා. ඒ තරමටම මේක වසන් කරන්නයි හැදුවේ. කෙසේ වෙතත් සතුටු වෙන්න පුළුවන්, මෙම නඩු කටයුතු දිගටම සිදු වෙන එක ගැන, ඒ මරණයට පත්වූ පුද්ගලයින් සහ තුවාලකරුවන් වෙනුවෙන්.

Social Sharing

Related posts