ජඩ මාධ්‍යකරණයට එරෙහිව නැඟී සිටින්න!

රත්නපුර, කුරුවිට පදිංචි දිලිනි යශෝධා ජයසුරිය (30) ගැන මේ රටේ නොදන්නා කෙනෙක් නැත. බුත්තල පදිංචිව සිටි උප පොලිස් පරික්ෂක ප්‍රේමසිරි (52) ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ තරමට මෙරට ජනමාධ්‍ය ඔවුන් දෙදෙනාව රටේ ජනතාවගේ හිත් තුලට ගෙන ගොස් ඇත.

කොරෝනා නිසා ඒ්කාකාරී පුවත් වලින් හෙම්බත් වී සිටි ජනමාධ්‍යට දිලිනිගෙත් ප්‍රේමසිරිගේත් කථාව උත්තේජනයක් වුවේය. ඔවුන්ට එය මාස ගණනක් පුරා හප හප රස කරන්නට පුලුවන් මාතෘකාවක් විය. මෙම දෙදෙනාම දැන් මිය ගොස් අවසන් වුවත් ජනමාධ්‍ය දැන් කරන්නේ ඔවුන්ගේ මරණ යළි යළි ඝාතනය කිරීමය.

ඇතැම් මුද්‍රිත මාධ්‍ය වල පල වන පුවත්, ඒවායේ සිරස්තල , ඡායාරූප දකින විට ඒ පුවත්පත ගැන අප්‍රසාදයක් මතු වීම වැලැක්විය නොහැක. ඔවුන් එම සිද්ධියේ කුණු රසය සොයනවා මිස මින් ඉදිරියට මෙවන් සිදුවීමක් වළකාගන්නා ආකාරය ගැන කථා කරන්නේ නැත.

අද ශ්‍රී ලංකාව මහත් අභිමානයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේය.  නමුත් මේ මාර්තු 08 දිනය පෙනි පෙනි දිලිනි යශෝධා කෲර ලෙස ඝාතනය විය. ඇයගේ ඝාතනයත් සමඟ බොහෝ මාධ්‍ය සිහිපත් කර තිබුණේ ඇඩ්ලින් විතාරණ හා ජයලාල් ආනන්දගොඩගේ සිද්ධියය. විල්පත්තු ඝාතනය නමින් එදා ප්‍රසිද්ධියට පත් වූ එකී සිද්ධිය ඇසුරෙන් පසුව දඩයම සිනමාපටයද නිර්මාණය වුවේය. එදා ආදරය සොයා ගොස් ඇඩ්ලින් ඝාතනය වූ සේම මෙදා දිලිනි ආදාරය සොයා ගොස් ඝාතනය වීම තුල අපට සිතන්නට බොහෝ දේවල් ඇත.

දිලිනිගේ හා ප්‍රේමසිරිගේ කථාව ඈඳා ගනිමින් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය සොයන ඕපාදූප නිසා මේ පුද්ගලයින්ගේ පවුල් වල පුද්ගලයින් මොනතරම් පීඩාවකට පත්ව ඇතිදැයි කවුරුත් සිතන්නේ නැත. ප්‍රේමසිරිට බිරිඳක් හා දරුවන් තිදෙනෙක් ඇත. දිලිනිට ඇගේ මව හා සහෝදරයා ඇත. ඔවුන් සියලු දෙනා දැන් ජීවත් වන්නේ බාගේට මැරී මැරී යැයි කිවහොත් වරදක් නැත. ඔවුන්ට සිය නැඟණිය, දියණිය, ස්වාමි පුරුෂයා, පියා අහිමිව ගොස් ඇත. නමුත් ජනමාධ්‍ය මඟින් දැන් ඔවුන්ට යළි සමාජයට මුහුණ දිය නොහැකි අයුරින් පීඩාවට පත් කරමින් සිටිති.

වැරැද්ද කළේ ඔවුන් නොවුනත් දැන් සිදුව ඇත්තේ ඔවුන්ට නොකළ වරදකට දඩුවම් විඳිමටය. කාන්තා අයිතිවාසිකම් ගැන කථා කරන කිසිඳු පුද්ගලයෙක්, කිසිදු සංවිධානයක් මේ අසරණ වී සිටින බිරිඳ, දියණිය, මව ගැන කථා කිරීමට ඉදිරියට පැමිණියේ නැත. ඔවුන්ට රැකවරණයක්, ආරක්ෂාවක් ලබා දීමට කාන්තා අයිතිවාසිකම් කථා කරන කිසිවෙකුත් නැත.

ළමා හිංසන ගැන, ළමා අපයෝජන ගැන කථා කරන කිසිවෙක් මේ පීඩාවට පත්ව සිටින දරුවන් ගැන සොයා බැලුවේ නැත. අද ඔවුන්ට නිවෙස තුලටම වී සිටින්නට සිදුව ඇත්තේ මේ රටේ ඇති ජඩ මාධ්‍යකරණය නිසාය.

රටේ දිලිනිගේ ප්‍රේමසිරිගේ සිද්ධියට වඩා අවධානය යොමු කළ යුතු මහා පරිමාණ මංකොල්ල, දුෂණ වංචා, හිංසනයන් තිබියදී ඇතැම් ජනමාධ්‍ය මේ සිද්ධියට පමණක් මූලිකත්වය දී කටයුතු කිරීම කණගාටුදායකය.

-ශානි-

Social Sharing
නවතම