ආණ්ඩුව යුද අධිකරණයට ගෙනයන ලෙස ඉල්ලා උතුරේ උපවාස

ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණය හමුවට ශ්‍රී ලංකාවේ රජය ගෙනයන ලෙස ජගත් ප්‍රජාවට බලපෑම් කරමින් උතුරේ දීර්ඝ කාලීන උපවාසයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ සියලු දෙනා ජාත්‍යන්තර යුද  අපරාධ අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනයාට  යුක්තිය ඉටු කර දෙන ලෙස  ඉල්ලමින්  ආගමික නායකයන්, විශ්වවිද්‍යාල සිසුන් හා සිවිල් ක්‍රියාධරයන්  යාපනයේ  ආරම්භ කළ උපවාසයට ප්‍රදේශයේ දෙමළ ජනතා නියෝජිතයන්ගේද සහයෝගය ලැබී තිබේ.

යාපනය  නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට පෙබරවාරි 28 ඉරිදා  ආරම්භ කළ උපවාසය මාර්තු 23 වනදා තෙක්  අඛණ්ඩව පැවත්වීමට නියමිත බව සංවිධායකයෝ පළාත් බද මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබේ.

උපවාසය තුන්වැනි දිනයටත්  මාර්තු 2 අඟහරුවාදා පැවැත්වෙද්දී එයට සහාය දැක්වීම සදහා සිය ගණනින් පිරිස් එක්ව තිබේ.

උපවාසය ආරම්භ කළ අවස්ථාවට එක්වෙමින් යාපනය නල්ලුර් ශිවගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමිවරයා  අවධාරණය කර ඇත්තේ ජීනීවා නුවර  මානව හිමිකම් කවුන්සලයේ  සැසිවාරය ආරම්භ වී ඇති මේ මොහොතේ  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කර ඇති බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද්ධාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වන චිලී රටේ හිටපු ජනාධිපති මිෂෙල් බැෂලේ පසුගියදා  ඇයගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාව ‘බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්’ සිදු කර ඇති බවට පුළුල් ලෙස චෝදනා කර ඇති අතර යුද්ධය අතරතුර සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීමක් ඉල්ලා තිබුනි.

“ජාත්‍යන්තර පරිමානයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සලසා ලීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය එළැඹ තිබේ,” යි කොමසාරිස්වරිය ඇගේ පිටු 17 ක වාර්තාවේ සඳහන් කර ඇත.

මහා පරිමාන මානව හිමිකම් උල්ලංඝන චෝදනා ලබන ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව විදේශ වලදී දේපල සහ සංචාර තහනම් කිරීම ඇතුළු පියවර ගන්නා ලෙසද මානව හිමිකම් කොමසාරිස්වරිය සාමාජික රටවලින් ඉල්ලා තිබුනි.

වැරදි ලෙස ගොඩනංවන ලද චෝදනා මත පදනම් වූ නිර්දේශ රැගත් එකක් ලෙස හඳුන්වමින් ආණ්ඩුව විසින් මහකොමසාරිස් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.

Social Sharing
නවතම