ආණ්ඩුව සරසවි සිසු ජීවිත සමඟ සෙල්ලමක  

වසරක් ගත වී ඇතත් විශ්ව විද්‍යාල විවෘත කිරීම සඳහා වැඩ පිලිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කර සිටියි.

මේ වන විට විශ්ව විද්‍යාල වසා දමා වසරකටත් වැඩිය. කොරෝනා වසංගතය හේතුවෙන් පහුගිය වසරේ මාර්තු මාසයේදී සියලු විශ්ව විද්‍යාල වසා දැමුණි. ඒ අවස්ථාවේ අධ්‍යයන කටයුතු මාර්ගත ක්‍රමයට සිදු කළහ. නමුත් මේ වන විට නිසි ක්‍රමවේදයකින් තොරව මාර්ගගත ක්‍රමයෙන් පමණක් අධ්‍යයන කටයුතු සිදු කිරීම නිසා සිසුන්ට හිමි විය යුතු ප්‍රායෝගික පරීක්ෂණ, සායනික පුහුණුව පවා ඇණ හිට ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

විශ්ව විද්‍යාල සඳහා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබා දීමට අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීම වෙනුවට ආණ්ඩුව සිදු කළේ වෙන් කර තිබු ප්‍රතිපාදන ප්‍රමාණයත් 40% කින් කප්පාදු කිරීම බවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සකසා විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු නැවත ආරම්භ කිරීමටත්, ශිෂ්‍යන්ගේ මෙන්ම අනධ්‍යයන සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් කළ බලපෑම මධ්‍යයේ විශ්ව විද්‍යාල ආරම්භ කළද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි සැකසීම පරිපාලනමය මට්ටමෙන් සිදු නොවීම කණගාටුවට කරුණක් බවද වෛද්‍ය පීඨ කමිටුව කියා සිටියි.

එසේම මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් 13 කු කොවිඩ් ආසාදිත බව PCR පරීක්ෂ වලින් අනාවරණය වු පසු විශ්ව විද්‍යාලය වසා දමමින් සියලු සිසුන් නිවෙස් වලට යවා ඇත්තේ නිවැසියන්ද අවධාමට ලක් කරමින් බව පෙන්වා දෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසන්නේ මොරටුව තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් කිහිප දෙනෙකු පුද්ගලිකව කර ගත් PCR පරීක්ෂණ නිසා ඔවුන් කොවිඩ් ආසාදිත බව දැනගෙන ඇති බවය.

මේ වන විට රුහුණු සරසවියද සීඝයෙන් මේ වසංගතයට ගොදුරු වෙමින් පවතින බවත් ඊට උප කුලපතිවරයා ඇතුලු පරිපාලනයේ දුර්වලතා හේතු වී ඇතැයිද කියා සිටියි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද මෙයට නිහඬ පිලිවෙතක් අනුගමනය කරන බවත් පරිපාලනය සහ ආණ්ඩුව සිසු ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටින බවද අවධාරණය කර සිටියි.

එබැවින් මෙම තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුවට සහ විශ්ව විද්‍යාල පරිපාලනයට වගකීම් සහිතව  මැදිහත් වන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉල්ලා සිටියි.

-ශානි-

Social Sharing
නවතම