ආණ්ඩුව එ.ජා සංවිධානයට ලිඛිතව දුන් පිළිතුරු “දැන්ම ප්‍රසිද්ධ කරන්නේ නෑ”

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා ඉදිරිපත් කර තිබෙන වාර්තාව වර්තමාන ආණ්ඩුව පිළිබඳව “ද්වේශකාරී ලෙස සකස් කළ” වාර්තාවක් ලෙස හෙලා දකින ආණ්ඩුව  එය  ප්‍රතික්ෂේප කිරීමට  තීරණය කර තිබේ.

එසේ වුවද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාව සම්බන්ධයෙන් රජයේ  ප්‍රතිචාරය මේ වන විටත් ලිඛිතව දන්වා යවා ඇතත් එය ප්‍රසිද්ධ නොකරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකුද වන අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ.

“මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත්කර ඇති වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එහි අන්තර්ගතය ප්‍රසිද්ධ නොකරන්න. එය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීමට තමයි ආණ්ඩුවේ තීන්දුව.”

හැත්තෑ තුන්වැනි  නිදහස් දිනයට පෙර දිනයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා තිබුනේ සංකල්පීය වශයෙන්  මුලික කාරනා දෙකක් පදනම් කර ගනිමින් එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කරමින් අමාත්‍යවරයා තව දුරටත් චෝදනා කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව විෂය පථයට පටහැනිව සකසා ඇති බවයි.

“මහ කොමසාරිස්වරියට 30/1 සහ 40/1 යන යෝජනාවලින් ලබාදුන්න විෂය පථයට පටහැනිවයි මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ. පිටු දාහතහමාරක් වන වාර්තාවෙන් පිටු දෙකහාමාරක් විතරයි තමන්ගේ විෂය පථයට අදාළව ලියලා තියෙන්නේ. අනිත් ඒවා තමන්ගේ විෂය පථයට පටහැනිව වර්තමාන ආණ්ඩුව පිළිබඳ ද්වේෂකාරි ලෙස වාර්තාවක් තමයි සකස්කරලා තියෙන්නේ”.

දෙවෙනි කරුණ ලෙස නීතිඥ ගම්මන්පිල අමාත්‍යවරයා පවසන්නේ  වාර්තාව මගින් එල්ල කර තිබෙන චෝදනා  පිළිබඳ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කිරීමට කොමසාරිස් අසමත් වී ඇති බවයි.

“සාක්ෂි ගැන තමන්ගේ මුලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත්වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙකම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා,” උදය ගම්මන්පිල අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබුනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වන චිලී රටේ හිටපු ජනාධිපති මිෂෙල් බැෂලේ ඇයගේ වාර්තාවෙන් ශ්‍රී ලංකාව ‘බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්’ සිදු කර ඇති බවට පුළුල් ලෙස චෝදනා කර ඇති අතර යුද්ධය අතරතුර සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගවීමක් ඉල්ලා සිටින්නී ය.

යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ විශ්වසනීය චෝදනා නැගී ඇති ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන්ට විදේශ රටවලදී නඩු පැවරීම, වත්කම් අත්හිටුවීම සහ සංචාර තහංචි පැනවීම  සඳහා පියවර ගන්නා ලෙස ඇය මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව පෙබරවාරි 22 දා සිට මාර්තු 23 දා ජිනීවා හිදී මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසි වාරයේදී විවාදයට ගැනීමට නියමිතය.

Social Sharing
නවතම