ට්‍රැවල් බබල් ගැන උදයංගගේ පුරාජේරුව

කොවිඩ් 19 පළමු රැල්ලේදී මීට මාස නවයකට ප්‍රථම විදෙස් සංචාරකයින්ට වසා දැමුණු ගුවන්තොටුපල යළි විවෘත කෙරුණේ පහුගිය 28 දාය. ඒ SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු මෙරට මත්තල ගුවන්තොටුපලට පැමිණීමත් සමඟිනි. මෙහි දෙවන කණ්ඩායම 29 දින Ukraine Airlines ගුවන් යානාවෙන් 213 රැගෙන මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට ළඟා විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත් වීම මත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීමට සැලසුම් කෙරිණ. සංචාරකයින් මෙරට ගෙන්වීම සඳහා සංචාරක සංවිධාන ආයතන 03ක් ඉදිරිපත්ව තිබුණි.

ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ හා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල සංචාංරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කලහ. ඒ සඳහා අනුමැතිය ලබාදෙමින් කැබිනට් මණ්ඩලය තීරණය කලේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය සිදු කිරීමටයි. එහෙත් කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් එය තරමක් ප්‍රමාද වුවද සංචාරක ඇමතිවරයා දිගින් දිගටම රජයට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නියමු ව්‍යාපෘතියක් ලෙස ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමට තීරණය කෙරිණ.

සැබවින්ම මේ ක්‍රියාදාමය පිටුපස සිටියේ රැසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගය. ඔහු විසින් ඉදිරිපත් කරන ලද ට්‍රැවල් බබල්  ව්‍යාපෘතිය මෙලෙස ක්‍රියාත්මක විය.

මෙම යුක්රේන සංචාරක කණ්ඩායම පැය 72කට පෙර පරීක්ෂාවට ලක් කෙරුනු අතර ඔවුන්ට අඳාල හෝටල් වල ලැඟුම් ගැනීමට පෙර තවත් PCR පරීක්ෂාවකට ලක් කෙරිණ. ඉදිරි දින 07 තුල ඔවුන්ට යළි PCR පරීක්ෂාවක් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඔවුන් දින 10ක් මෙරට තුල රැඳී සිටීමට නියමිතය. කොග්ගල ප්‍රදේශයේ වෙරලාශ්‍රිත ප්‍රදේශවල ඔවුන් ලැඟුම්ගන්නා අතර එම ප්‍රදේශවාසීන්ට සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ වලට යාමට ඉඩනොලැබෙන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි.

නමුත් මේ වන විට අනාවරණය වී ඇත්තේ මේ පැමිණි සංචාරකයින් අතරින් 05 කු කොවිඩ් අසාදිතයින් බවය. මේ සංචාරක බුබුල නියමු ව්‍යාපෘතිය පටන් ගන්නා අවස්ථාවේදිම මෙරට බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් අනතුරු හඟවමින් කියා තිබුණේ මේ තුලින් කිසි විටෙකත් කොරෝනා ට්‍රැවල් බබල්  පොකුරක් මෙරට බිහි නොකිරීමට වගබලා ගන්නා ලෙසය.

නමුත් දැනටමත් 05 කු පොසිටිව් වී ඇත. මේ පිලිබඳ වැරදි පෙන්වා දෙන පුද්ගලයින් උපහාසයට ලක් කරමින් මෙම ට්‍රැවල් බබල් ව්‍යාපතීය සම්බන්ධව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සිය මුහුණු පොතේ අපූරු සටහනක් තබා ඇත. එය මෙසේය.

මාස 9 ක් සංචාරකයන්ට ගුවන් තොටුපොල වැසීමට සිදුවීමෙන් ඇති වූ භීතිකාව බිද දමමින්, පළමු සංචාරක කණ්ඩායම 28 දින SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු සහ දෙවන කණ්ඩායම 29 දින Ukraine Airlines ගුවන් යානාවෙන් 213 රැගෙන මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට ළගා විය. එම මගීන් 394 අතරින් කොරෝනා වයිරසය ආසාදිතව 5 දෙනෙක් සිටින බව PCR පරීක්ෂණ පෙන්නුම් කර ඇත.

නමුත්, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව සුදානම් කරන ලද හෝටල් තුලම 5% – 8% අතර ආසාදිතයන් ප්‍රමාණයක් රඳවාගෙන සිටීමට අප සුදානම් වී සිටියේ. එසේ නමුත් මෙහිදී 1% ආසාදිතයන් ලෙස පෙන්නුම් කිරීම යනු 99% සාමාන්‍ය සංචාරකයන් බව සනාථ වීමයි.

අද අප රටේ දිනකට 500 ආසාදිතයන් සොයාගන්නා කාලයක යුක්රේනියානුවන් 5 දෙනෙක් යනු ජෙප්පන් ට මෙන්ම හිටං හුටං ට කරන සරදමකි. එදා තානාපති ලෙස 2006 සිට මා කල කැපකිරීම් මත ගොඩනැඟුණු විශ්වාස මත යුක්රේනියානුවන්ගේ පැමිණීම සිදුවන බව, මාධ්‍ය ඉදිරිපිට පුරසාරම් දොඩවන අය නොදන්නවා වුවද, සංචාරක කර්මාන්තයේ නියැලුණු පුද්ගලයන්ට ඒ ගැන හොද වැටහීමක් ඇත.

අද මෙම වැඩසටහනට එළිපිට අකුල් හෙලන අයට ද යහපාලන යමපල්ලන්ට ද මා, අභියෝග කරමින් 2021 ජනවාරි 02 සිට තවත් ගුවන්යානා 10 ක් මත්තලට රැගෙන ඒමට සැළසුම් කර හමාරය. එයින් සංචාරක හෝටල්වල රැකියා කළ ලක්ෂ ගණනක් වන සේවක සේවිකාවන් පමණක් නොව සංචාරකයන්ට විවිධ දෑ අලෙවි කරන ජංගම වෙළෙන්දා දක්වා මෙම ක්‍රියාවලිය තුළ යළි ජීවය ලබයි. රටක් ලෙස යුක්‍රේනය ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි විශ්වාසෙයන් සහ සහෝදරත්වයෙන් තබන මෙම පියවර දෙරටේ අන්‍යෝන්‍ය බැඳීම තව දුරටත් ශක්තිමත් කරන්නකි.

රටම ෆේල් කියමින් අපිව ගැරහුම් කරද්දී, මගේ සංකල්පය ගැන විශ්වාසය තැබු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා බැසිල් රාජපක්ෂ මැතිතුමා මෙන්ම SkyUp, Ukraine Airlines, TPG Tours, Kompass Tour, JoinUp ආයතනය මෙන්ම අපේ රටට පැමිණි සියලු යුක්රේනියානුවන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි.. (නිමාව)

මේ සංචාරක බුබුල සම්පුර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ උදයංග යටතේ බව මෙයින් පැහැදිලිය. අදහසත් ඔහුගේය. එමෙන්ම දැනට විදේශිකයින් 05 ක් පොසිටිව් බව ඔහුද කියා ඇත. නමුත් ඔහු කිසිවිටෙක මෙහි වැරැද්දක් පෙන්වා දෙනවාට අකමැතිය.

නමුත් මේ වන විටත් එම විදේශිය සංචාරකයින් නවාතැන්ගෙන සිටින හෝටල් වල ඔවුන් හැසිරෙන්නේ සෞඛ්‍ය නීති රීති නොසලකමිනි. අවම වශයෙන් මුඛ ආවරණයක්වත් පැළඳිමකින් තොරව ඔවුන් 31 රාත්‍රිය ගත කර ඇත. මෙයින් අවධානමට වැටෙන්නේ හෝටල් කාර්ය මණ්ඩලයය.

උදයංග රුසියාවේ තානාපතිව සිටි සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේන මිග් යානා මිලදී ගැනීමට මැදිහත් වූ  ආකාරයත් අවසානයේ ඒ මිග් යානා වලට සිදු වූ දෙයත් අපට අමතක නැත.

ඔහුගේ අතීත සිද්ධීන් සිහිපත් වන විට යළිඳු වරක් ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අප රට අනතුරකට, අවධානමකට ලක් නොකරතැයි කිව හැක්කේ කෙසේද?

https://www.facebook.com/Udayanga22/videos/4199279976765458/

Social Sharing
නවතම