යුක්රේනුවන්ට  PCR පරීක්ෂණ අනිවාර්ය වීම නිසා උදයංග නොසතුට පළ කරයි.

යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ එම සෞඛ්‍ය වාර්තා වලට අනුව කටයුතු කරනු ලැබූ විටෙක සමාජයට මෙම වෛරසය යුක්‍රේන ජාතිකයින් මඟින් බෝවීමක් සිදු වී නොමැති වගකීමෙන් ප්‍රකාශ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කියා තිබුණි.

යුක්‍රේන ජාතිකයින්ට පමණක් නොව ඕනෑම රටකින් මෙරටට සංචාරකයින් ගෙන ඒමට අවසර දී තිබුණු බවත්, යුක්‍රේනය සම්පූර්ණයෙන්ම වසා දැමූ රටක් නොවන අතර, ප්‍රධාන රැස්වීම් සහ පාසල් වසා දමා අනිකුත් සාමාන්‍ය ආකාරයට වැඩ කටයුතු කරමින් සිටී බවත්, ඒ සියල්ල පිලිබඳ සොයා බැලීමෙන් අනතුරුව මෙරටට සංචාරකයින් ගෙන්වීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා එහිදී  ප්‍රකාශ කර සිටියේය.

මේ වන විට 1500 ක පමණ පිරිසක් යුක්‍රේනයේ සිට මෙරටට පැමිණ ඇති අතර එමඟින් COVID 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ සිව් දෙනකු පමණක් බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

එපමණක් නොව, මීට මාස 06 කට පෙර මාලදිවයින් සංචාරකයින්ට මෙරට විවෘත කිරීමේ දී මෙම කාල සීමාව තුළ 162,000ක පමණ පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එවැනි විටෙක රජය අනුමත පෞද්ගලික රෝහල් හා රසායනාගාර සමඟ මූලික සාකච්ඡාවක් සිදු කොට විදේශිකයින් ලංකාවට පැමිණීම බාධාවක් නොවන ආකාරයෙන් දැනට තිබෙන පහසුකම් සමඟ PCR පරීක්ෂණ දිනකට 2500 ක් පමණ සිදු කරමින් සිටින බවත්, ඉදිරියට එම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට එකී රෝහල් සහ රසායනාගාර මඟින් කටයුතු කරන බවත්, යම් හෙයකින් කොවිඩ් අසාදිතව සංචාරක පුද්ගලයෙකු පැමිණියහොත් එවැනි අයෙකුට අවශ්‍ය සෞඛ්‍ය සේවා ලබා ගැනීමට අවශ්‍ය රෝහල් පහසුකම් ලබා දීමට ලංකාවේ පළාත් මට්ටමෙන් හෝටල් හෝ රෝහල් මිල දී ගෙන Covid 19 රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම, සංචාරකයින්ට 21 වන දා ගුවන්තොටුපොළ විවෘත කිරීමේ දී එම පෙර අත්දැකීම් උපයෝගීකොට ගනිමින් කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එසේ පැවසුවද රුසියාවේ හිටපු තානාපති මෙන්ම මෙරටට යුක්‍රේන සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ ලංකාවේ  අදාල බලධාරීන් විසින් සංචාරක කර්මාන්තයෙන් පළි ගන්නා බවටය.

එම සටහනේ වැඩිදුරටත් මෙසේද ලියවී තිබුණි.

යුක්රේනියාවේ සිට Sky Up Airlines සමාගම මෙතෙක් සතියකට ගුවන්යානා 2 ක් පැමිණි නමුත්‍, මේ සතියේ සිට එක ගුවන්යානාවක් අවලංගු කර ඇති අතර (19) මත්තලට පැමිණි ගුවන්යානාවේ සංචාරකයන් රැගෙනවිත් නැති බව කණගාටුවෙන් දන්වා සිටිමි. ඊට ප්‍රධාන හේතුව ලංකාව තුල දින 10ක් සිටින සංචාරකයන් සදහා PCR පරීක්ෂණ 3ක් සහ තම රටේ දී 1ක PCR සිදුකිරීම අනිවාර්ය බව සංචාරක මණ්ඩලය තීරණය කිරීමයි.

2020 ජනවාරි මස 19 දින Sky Up Airlines ගුවන් සමාගම විසින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට  සංචාරකයන් රැගෙන ඒම නතර කර ඇති අතර එදින ලංකාවේ සිටින සංචාරකයන් පිරිසක්ද රැගෙන යාමට  තීරණය කර ඇති බව කණගාටුවෙන් දන්වා සිටිමි. ඊට ප්‍රධාන හේතුව සංචාරක සංවර්ධනය අධිකාරිය විසින් ලබා දෙන මාර්ගෝපදේශට අනුව, දින 10කට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් PCR පරීක්ෂණ 4 කට ඉදිරිපත් වීමට සිදුවන බැවිනි. එසේ නමුත් පසුගිය දින18 ක් ඇතුලත යුක්රේනියාවේ සිට පැමිණි සංචාරකයන් විසින් රුපියල් කෝටි 42 ක පමණ ආදායමක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති නමුත්, අදාල බලධාරීන් විසින් සංචාරක කර්මාන්තයෙන් තවදුරටත් පළිගැනීම සාධාරණී කරනය කල යුතුය.

Social Sharing
නවතම