ආදාහනය සම්බන්ධයෙන් “සංඝ සමාජය” මත දෙකක!

කොවිඩ් 19 ය වෛරසය ආසාදිත සිරුරු ආදාහනය කිරීම විද්‍යාත්මක  පදනමකින් තොර බැවින් එම සිරුරු භුමදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නාහිමිවරුන් ප්‍රමුඛ සර්ව ආගමික කමිටුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර දෙදිනක් ගතවද්දී, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් දියත් කරමින් ජාතිකවාදී බෞද්ධ සංවිධාන කිහිපයක්ම ඉල්ලා ඇත්තේ වෛරස් ආසාදිත සියලු මළ සිරුරු පුළුස්සා දමන ලෙසයි.

ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි සංඝ සභාවේ අන්තර ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දෙසැම්බර් 26 දා  ලිපියක් යොමු කරමින් නිර්දේශ කර තිබුනේ වෛරසය ආසාදිත මළ සිරුරු, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්‍යානුකුල ක්‍රමවේද යොදාගනිමින් භූමදානයට අවසර දෙන ලෙසයි.

කොවිඩ් ආසාදිත මෘත ශරීර භුමදානය කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට  භූවිද්‍යා වසංගත රෝග පිළිබද විශේෂඥවරුන්ගෙන් හා ඒ හා අනුමැති වෛද්‍යවරුන්ද, ආගමික නායකයන් ද ඇතුළුව කමිටුවක් පත් කොට නොපමාව තීරණයක් ගන්නා ලෙසත් එමගින් ඉල්ලා තිබේ.

“කෝවිඩ් 19 මෘත ශරීර ආදාහනය කිරීමේ අවශ්‍යතාවය සමාලෝචනය කිරීමට අභියාචනය ” මැයෙන් දෙසැම්බර් 26 දින ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් සර්ව ආගමික කමිටුව පෙන්වා දී ඇත්තේ මළ සිරුරක් භුමදානය කිරීම ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් ඇතුළු ඇතැම් ආගම් වල අනුගාමිකයන් විසින් අනුගමනය කරනු ලබන ගෞරවනීය  ආගමික පිලිවෙතක් වන අතර, ආගමික පිළිවෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මුලික අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කර ඇති බවයි.

“කෙසේ නමුත් මෙම මුලික අයිතිවාසිකම් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණු සදහා දමා ඇති සීමා කිරීම්වලට යටත් විය හැකි බවද අපි දනිමු,” යි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පල්ලෙකන්දේ රතනසාර අනුනායක ස්ථවිරයන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන මහා ස්ථවිරයන්ගේ අත්සනින්  නිකුත් කළ අභියාචනයේ තව දුරටත් සදහන්ය.

ගාලු මෝදර පිටිය ආසන්නයේ  සිට  ජනාධිපති ලේකම්  කාර්යාලයේ  ඉදිරිපිට දක්වා පා ගමනින් පැමිණි ජාතික සංවිධාන එකමුතුව, නව සිංහල රාවය ඇතුලු භික්ෂු සංවිධාන කිහිපයක් දෙසැම්බර් 28 සඳුදා විරෝධතාවයක් දියත් කරමින් රජයට බල කර තිබුනේ සියලු කොරෝනා මරණ ආදාහනය කරන ලෙසයි.

විරෝධතාවය අතරතුරදී සිය ඉල්ලිම් ඇතුලත් සන්දේශයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත බාර දීමටත් ඔවුන් කටයුතු කර තිබුනි.

මාධ්‍යවේදීන් අමතමින් සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් එහිදී පවසා තිබුනේ දේශීය සෞඛ්‍ය නිර්දේශ අනුව කොරෝනා මළ සිරුරු පුළුස්සා දැමිය යුතු බවයි.

දෙරණ නාලිකාව වාර්තා කර තිබු අයුරු…

” මේ ආණ්ඩුව බලයට පත් කළේ එක රටක් එක නීතියක් කියන තේමාව යටතේ. මේ රටේ මුස්ලිම් වීම නිසා නීති හැදෙන්නේ නෑ. රටේ සෞඛ්‍ය අංශ නිර්දේශ කරලා තියනවා කොවිඩ් හැදිච්ච මරණ ආදාහන කටයුතු කරන්න ඔන කියලා. ඒ නීතිය තමයි ගැසට් කරලා තියෙන්නේ. ඒ ගැසට් එක අනුව නීතිය ක්‍රියාත්මක කරන් නැතුව අද මුස්ලිම් අයට ඔන විදිහට භුමදානය කිරීමටත්, ඩීප් ෆ්රීසර් කිරීමටත්  කටයුතු කරලා තියනවා. ”

කොරෝනා මළ සිරුරු භුමදානය වෙනුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර  වශයෙන් සිදු කෙරෙන ඉල්ලීම්  බෙංගමුවේ නාලක හිමියන් බැහැර කළේ ඒය නීති විරෝධි බව පවසමිනි.

” වල දාන්න ඉඩ දෙන්න කියන එකම වැරදි. ඒක නීති විරෝධි වැඩක්. මොකද මෙහේ නීතියක් සම්මත කරලා තියනවනේ. අපි මේ ආවේ ඒ නීතිය ක්‍රියාත්මක කරන්නෙයි කියලා කියන්න මිසක්වා නීති විරෝධි වැඩකට නෙමෙයි.” ඒ හිමියන් වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා පවසා තිබුනි.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම අත්‍යවශ්‍ය කරමින් 2020 අප්‍රේල් 11 වන දින නිකුත් කළ  අති විශේෂ ගැසට් පත්‍රය පිළිබදව  ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි සංඝ සභාවේ අන්තර ආගමික සබදතා අනුකමිටුවේ අදහස   වී ඇත්තේ වසංගතය ආරම්භ වී ටික කලකින් එය  නිකුත් කර ඇති නිසා වසංගතයේ ස්වභාවය පිළිබදව එකල වෛරස් විද්‍යාත්මක දැනුමක් නොමැති කම මත  අවශ්‍ය වු පුර්ව ආරක්ෂිත පියවරක් ලෙසිනි.

එම අති විශේෂ ගැසට් නිවේදනය වර්තමානයට නොගැලපෙන බව සර්ව ආගමික කමිටුවේ විශ්වාසය  වී තිබේ.

“කෙසේ නමුත් දැන් මාස 8කට වඩා වැඩි කාලයකින් පසුව සහ කොවිඩ් 19 වෛරසයේ ස්වභාවය පිළිබදව සැලකිය යුතු පර්යේෂණ සමුහයක් තිබීමත් සහ කොවිඩ් 19 මළ සිරුරු භුමදානය කිරීම හේතුවෙන් මෙම වෛරසය පැතිරීමේ අවදානමක් නොමැති බව පෙන්නුම් කිරීමත් සමග කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයන් අනිවාර්යෙන් ආදාහනය කිරීම සදහා තවදුරටත් සාධාරණීකරණයක් නොමැති බව අපගේ මතයයි”

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් භුමදානය කිරීමට යම් කොන්දේසි වලට යටත්ව ඉඩ දිය යුතු බව  ජනාධිපතිවරයාට දන්වන සර්ව ආගමික කමිටුව තව දුරටත් අවධාරණය කරන්නේ එම කොන්දේසි එක් අතකින් ජනතාවගේ සෞඛ්‍ය සහ අනෙක් ආගමික ප්‍රජාවන්ගේ ආගමික වත් පිළිවෙත් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා වන ලෙස සකස් කළ යුතු බවයි.

එයට අදාල කොන්දේසි කිහිපයක්ද ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි සංඝ සභාවේ අන්තර ආගමික සබදතා අනුකමිටුව දෙසැම්බර් 26 දිනැති ලිපියෙන්  ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

“කොවිඩ් 19 මළ සිරුරු  භූමදානය සදහා ඇතුළත් කළ හැකි කොන්දේසි වනුයේ, කල් පවත්නා සහ අපාරගම්‍ය ද්‍රව්‍ය වලින් සාදන ලද මුද්‍රා තැබු මිනී පෙට්ටි, නිශ්චිත මුස්ලිම් සුසාන භුමි තුළ ජල මුද්‍රා තැබු කොන්ක්‍රීට් සෙහොන් හෝ පෙර සැකසු ජල මුද්‍රා තැබු කොන්ක්‍රීට් සොහොන් තුළ තැන්පත් කිරීම, එවැනි මිනී පෙට්ටි සොහොන් සහ සුසාන භුමි යන සියල්ල සදහා නම් කරන ලද අධිකාරියකින් අනුමැතිය අවශ්‍ය කිරීම යන මේවාය.”

මෙවැනි භුමදානය කිරීමේ ක්‍රමයක ඵලදායිතාවය නිසැකවම දැන ගැනීම සදහා පරීක්ෂණ පදනමක් මත එවැනි භුමදාන කිරීම් ආරම්භයේදී සිදු කළ හැකි බව සර්ව ආගමික කමිටුව වැඩි දුරටත් ජනාධිපතිවරයාට දන්වා  තිබේ.

වෛරසය ආසාදිත සිරුරු භුමදානය කිරීම සදහා වෙනත් ආරක්ෂිත ක්‍රම ද තිබිය හැකි බව එමගින් තව දුරටත් සිහි ගන්වා තිබේ.

” මෙම තත්වයන් යටතේ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ ආදාහනය කිරීම අනිවාර්ය අවශ්‍යතාවය සමාලෝචනය කිරීම සදහා වෛද්‍ය සහ වෛරස් විද්‍යා විශේෂඥයන්, මහජන සෞඛ්‍ය නිලධාරීන් ආගමික නායකයන් සහ වෙනත් අදාල පුද්ගලයන්ගේ හදිසි රැස්වීමක් කැදවන ලෙස අපි අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටිමු. ”

ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමග්‍රි සංඝ සභාවේ අන්තර ආගමික සබදතා අනුකමිටුව ජනාධිපතිවරයා වෙත යොමු කළ අභියාචනය සදහා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය මාදම්පාගම අස්සජී අනුනායක ස්ථවීර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය වල්බොඩ ගුණසිරි නායක ස්ථවීර, ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ හිටපු රදගුරු ආසිරි පෙරේරා, අම්පිටිය දේවධර්ම විදයාලයේ ජයලත් පලගල්ල පියතුමා, සනාතන ධර්ම පර්යේෂණ ආයතනයේ මහලේකම් ස්වාමි පී සිවලෝගනාදන් කුරුක්කල් තුමා, ජමියතුල් උලමා සංගමයේ වැඩ බලන ප්‍රධාන ලේකම් අස්- ශෙයික් එම්.එස්.එම්. තාසීම්, ජමියතුල් උලමා සංගමයේ විධායක සභික මෞලවි මුසිනි යුසු‌ෆ් හනීෆා, සහ සම් සම් පදනමේ අධ්‍යක්ෂ මෞලවි අමිහර් හකම්දීන් අත්සන් තබා තිබේ.

Two views on Buddhist organizations regarding cremation

Two views on Buddhist organizations regarding cremation

Two views on Buddhist organizations regarding cremation

 

Social Sharing
නවතම