ධුරකාලය අවසන්වීමට ප්‍රථම දොට්ට වැටෙන ලකුණු!

ලබන ජනවාරි 20 වන දින විශ්‍රාම යාමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ඩිමොක්‍රටික් පක්ෂය සූදානම් වේ. ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය යටතේ ජනාධිපති ට්‍රම්ප් එම ධුරය තව දුරටත් දැරීමට නුසුදුස්සකු ලෙස නම් කරන්නැයි ඩිමොක්‍රටික් පක්ෂය උප ජනාධිපති මයික් පෙන්ස් ට බල සිටී.

වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට ආසන්වම හේතුව වී තිබෙන්නේ ඩොලඩ් ට්‍රම්ප්ගේ ආධාරකරැවන් පිරිසක් විසින් පසුගියදා කොංග්‍රස් මණ්ඩල සැසියට බාධා කිරීම සදහා ඔවුන් උසි ගැන්වුයේ යැයි චෝදානව මතය.

පසුගිය වසරේ නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොල්ඩ් ට්‍රම්ප් පරාජය පත් වූ අතර, ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේය. ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඇමෙරිකානු කොංග්‍රසය රැස්වූයේ ඉකුත් 6 වැනිදා ය. ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී කොංග්‍රස් රැස්වීමට බාධා කළේ එම අවස්ථාවේදීය.

උප ජනාධිපති මයික් පෙන්ස් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළහොත් දෝෂාභියෝග ක්‍රියාවලිය සමඟ ඉදිරියට යන බව ද ඩිමොක්‍රටික් පක්ෂය සඳහන් කර ඇත. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නැයි උප ජනාධිපති මයික් පෙන්ස්ගෙන් ඉල්ලමින් අද (11) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත ය.

උප ජනාධිපති මයික් පෙන්ස් එය ප්‍රතික්ෂේප කළහොත් දෝෂාභියෝගයට අදාළ යෝජනාව, හෙට (12) කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැන්සි පෙලෝසි පවසා ඇත. ඒ අනුව, ට්‍රම්ප් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඡන්ද විමසුමක් පැවැත්වෙයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත.

Social Sharing
නවතම විදෙස්