ආණ්ඩුවට එරෙහි වන වරාය වෘත්තිය සමිති නායකයින්ට ස්ථාන මාරු?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී සිටියි. ඔවුන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය අරගලය අඛණ්ඩව කරගෙන යනු ලබයි.

ජැටිය විදේශයට විකිණීමේ කුමන්ත්‍රණයට විරුද්ධව කටයුතු කරන වරායේ පුමුඛ පෙළේ වෘත්තීය සමිතියක් වන්නේ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියයි. නමුත් මේ වන විට ආණ්ඩුව සිය බලය යොදා ගනිමින් එහි සාමාජිකයෙකු  එම වෘත්තිය සමිති කටයුතු වලින් ඉවත් කරවීමට ඔහුට ස්ථාන මාරුවක් ලබා දීමට ක්‍රියා කර ඇත.

මෙසේ ස්ථාන මාරුවට ලක්ව ඇත්තේ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ නායකයෙකු වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් පී. නිරෝෂන් ගොරකානගේ මහතාටය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු බණ්ඩාරනායක තටාක අංශයේ සිට නියමු පාලන අංශයට ස්ථාන මාරු කර ඇත.

වෘත්තීය සමිති නායක නිරෝෂන් ගොරකානගේ සිය වෘත්තීය සමිතියේ කටයුතු සඳහා නිදහස් වූ අයෙකි. එලෙස වෘත්තීය සමිති කටයුතු සඳහා නිදහස් කරන ලද සේවකයින් සිය වෘත්තීය සමිති කටයුතුවලට බාධා වන අයුරින් මාරු කිරීමට කිසිම නීති ප්‍රතිපාදනයක් නොමැති අතර සාමාන්‍ය සේවකයෙකු මාරු කරන ආකාරයට ඔවුන්ව මාරු කිරීමටද කිසිම හැකියාවක් නැත. එවැනි සේවකයින්ට ස්ථානමාරු ලබා දෙන්නේ නම් එය සිදු කළ හැක්කේ සිය වෘත්තීය සමිති කටයුතුවලට පහසුවන ස්ථානයකටය.

නිරෝෂන් මහතාව ඔහුට වෘත්තිය සමිති කටයුතු වල යෙදීමට බාධා වන අයුරින් ස්ථාන මාරු කිරිම පිලිබඳ වරාය සේවකයන් පවසන්නේ ආණ්ඩුව මෙලෙස කටයුතු කරන්නේ වරාය විකිණීමට එරෙහි සටන කඩාකප්පල් කිරීමට බවත් තමන් ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත්ය.

Social Sharing
නවතම