අරලගංවිල පොලීසිය මහපාරේදී ව්‍යාපාරිකයෙකුට පොලු වලින් පහර දෙයි.

සිය ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට සිටියදී පොලිස් කැබ් රියකින් පැමිණි අරලගංවිල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් එහි ව්‍යාපාරිකයාට පොලු වලින් පහර දීමක්  සම්බන්ධව අයිතිය වෙත වාර්තා විය.

අරංගලවිල ප්‍රසිද්ධ වාහන අලෙවි නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන ඉන්ද්‍රජිත් සඳරුවන් රාජපක්ෂ(32) නමැති ව්‍යාපාරිකයෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇත.

මොහු ඉකුත් දෙසැම්බර් 08 දා රාත්‍රි 9.30 ට පමණ සිය වෙලඳසැල වසා යාමට සුදානම් වන අවස්ථාවේ ඔහුගේ මිතුරන් දෙදෙනකු වන ඉසුරු හා පැතුම් යන අය පැමිණ ඇත. ඒ් ඔවුන් දෙදෙනා වෙත් ගමනක් ගොස් පයින් පැමිණෙන අතරය. එහිදී ඔවුන්ගේ ඉල්ලීම මත සඳරුවන්ගේ මොටර් රථයෙන් අරලගංවිල නගරයේ ඇති රන්තරු ‌රෙස්ටුරන්ට් එකට ගොස් ඇත. ඒ ඔවුන්ට බියර් එකක් මිලදී ගැනීමටය.

මෙම රෙස්ටුරන්ට් එක ප්‍රධාන මාර්ගයෙන් ඇතුලට පිහිටා ඇති අතර ඊට මාර්ග දෙකකින් ගමන් කිරීමේ හැකියාව ඇත. සඳරුවන් මොවුන් දෙදෙනාව රෙස්ටුරන්ට් එක පිටුපස දොර ළඟින් බස්සවා සඳරුවන් ප්‍රධාන මාර්ගයට මෝටර් රථය ගෙන ගොස් නවත්වාගෙන සිට ඇත්තේ ඔවුන් බියර් එකක් රැගෙන ආපසු එනතුරුය.

මඳ වේලාවකින් පැතුම් දුරකථනයෙන් අමතා කියා ඇත්තේ අයියේ මගේ පපුවට ඇන්නා, ඉක්මනට එන්නකෝ යන්නය. වහාම සඳරුවන් නැවත මොටර් රථය හරවාගෙන රෙස්ටුරන්ට් එක දෙසට යද්දී පැතුම් ලේ පෙරාගෙන දුවගෙන ඉදිරියට පැමිණ ඇත. ඒ අවස්ථාවේ ඉසුරු පෙනෙන්නට සිට නොමැති අතර සඳරුවන් වහාම පැතුම්ව මොටර් රථයෙන් ගෙන ගොස් අරලගංවිල රෝහලට ඇතුලත් කර ඇත.

පසුව ඔහු අරලගංවිල පොලිසියට ගොස් මේ සම්බන්ධව පොලිස් නිලධාරින්ව දැනුවත් කර නැවත රෙස්ටුරන්ට් එක අසලට පැමිණ ඇත්තේ ඉසුරුව සෙවීමටය. ඒ වනවිට එහි ඉදිරිපිට පුද්ගලයෙකු සිට ඇති අතර ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකුය. ඒමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ප්‍රබල ආධාරකරුවෙක්ය.

සඳරුවන් ඔහුගෙන් විමසා ඇත්තේ අයියේ, දැන් ටිකකට කලින් මෙතැන මොකද්ද සිදු වුනේ යනුවෙනි. දැඩි ලෙස බීමතින් සිටි ඔහු එන්නකෝ මල්ලී කියා රෙස්ටුරන්ට් එක පිටුපස තිබු නිවසක් වෙත කැඳවාගෙන ගොස් එකවරම බැන වදින්නට පටන් ගෙන ඇත්තේ වෙච්ච ඒවා හොයන්න එන්නේ උඹ කවුද යකෝ යනුවෙනි. මෙහිදී ග්‍රාමාරක්ෂක භටයින් දෙදෙනෙකු හා පොලිස් නිලධාරියෙකු ද එම ස්ථානයට පැමිණ ඇත. සඳරුවන්ට ඔහුත් සමඟ ගැටුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන හෙයින් මං ආවේ ඉසුරු බලන්න, ඔයාලා ඕනි දෙයක් කරගන්න කියා ආපසු ඒමට සැරසෙන විට ඔහු දැක ඇත්තේ බයිසිකල් වලින් තරුණයින් පිරිසක් එම නිවසට ගොස් ඔහුත් සමඟ බහිනබස් වෙන ආකාරයය.

සඳරුවන් කෙලින්ම වෙළඳසැල අසලට පැමිණ ඇති අතර එහිදී පැතුම්ගේ තාත්තාද පැමිණ ඇත. ඔහුත් සමඟ මෙම විස්තරය කථා කරමින් මාර්ගය අසල සිටියදී පොලිස් කැබ් රියක් පැමිණ නිල ඇඳුමෙන් හා සිවිල් පිට සැරසුන නිලධාරීන් අට දෙනෙකු පමණ දිග පොලු රැගෙන පහර දීමට පටන් ගත් බව සඳරුවන් පවසයි. ඉතාම මිලෙච්ඡ ආකාරයට ඔහුට පහර දෙන අයුරු අසල තිබු CCTV කැමරාවකද සඳහන් වී ඇත.

පහර දී අනතුරුව බලහත්කාරයෙන් ඔහුව කැබ් රියට නංවා ගැනීමට යද්දි සඳරුවන් ඊට දැඩි ලෙස විරෝධය පළ කර ඇති අතර අවට සිටි පුද්ගලයින්ද පැමිණ ඔහුව බේරාගෙන ඇත. පසුව පොලිස් නිලධාරින් ගොස් ඇති අතර සඳරුවන්ව අරලගංවිල රෝහලට ඇතුලත් කර ඇත. පසුදින ඔහුව පොලොන්නරුව මහරෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඊයේ (10) දින රෝහලෙන් ටිකට් කපා එවා ඇත.

මේ සම්බන්ධයෙන් අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් දැන් වු විට ආ මම හිටියේ නැහැ. වුණ දෙය නම් වැරදියි කියා පමණක් පවසා නිහඬ වී ඇත. පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් ‌අරලගංවිල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී වෙත අද (11) උදෑසන පැමිණිලි කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට හානි වන අයුරින් නිල ඇඳුමෙන් සැරසි පොලු රැගෙන මහපාරේ පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධවත්, ඒ් නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිඳු පියවරක් නොගෙන තිබීම  පිලිබඳවත්  අරලගංවිල ජනතාව තුල මේ වන විට ඇත්තේ මහත් අප්‍රසාදයකි.  එමෙන්ම ඔවුන් සඳරුවන්ට යුක්තිය ඉටුවන තුරු බලා සිටිති.

Social Sharing
නවතම