අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ

එදා මාධ්‍ය මර්දනයේදී මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ ආකාරයේ තර්ජන, ගර්ජන, පහරකෑම්, ඝාතනය වීම් වැනි දේ වර්තමානයේදී දක්නට නොලැබුණද අත්අඩංගුවට ගැනීම්, මාධ්‍යවේදීන් භාවිතා කරන පරිඝනක, ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරී ලෙස අසත්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම් වැනි මර්දනකාරී උත්සාහයන් අද පවතින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

ලැබී ඇති වාර්තා අනුව 1981 සිට මාධ්‍යවේදීන් 117 ඝාතනය කර හෝ අතුරුදහන් වී ඇති බවත්  ඒ වාගේම අසීමිත සංඛාවක් විශාල පීඩනවලට ලක්ව තිබෙන බවද ඔහු කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් (26) පැවති මාධ්‍ය නිදහස වෙනුවෙන් දිවි පිදූ මාධ්‍යවේදීන්ට උපහාර දැක්වීමේ උළෙල අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා,

“මෙවැනි උපහාර උත්සවයක් අන්තිමට පැවැත් වූයේ 2015 වර්ෂයේ දී අවුරුදු 5 කට පෙර, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින්.

අපගේ මාධ්‍යවේදීන් විඳි දුක් ගැහැට අපි හොඳට දන්නවා, එදා මාධ්‍යවේදීන්ට වෙඩි තැබූ විට නිවාස, කාර්යාල වෙඩි තබා, බෝම්බ ගැසූ විට, පහර දුන් විට අපි ක්‍රියාත්මක වූ ආකාරය සිහිවනවා.

මෑත යුගයේ අපි දකින්නේ වෙනත් මාධ්‍ය සංස්කෘතියක්. අද පහර දෙනවා වෙනුවට නිවාසවලට පැන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඒ අයගේ පරිගණක රැගෙන ගොස් හිරිහැර කරනවා. බොරු ප්‍රකාශ ගන්න බල කරනවා. තමන් කැමති දේශපාලකයින් ජයග්‍රහණය කිරීම සඳහා අමූලික බොරු ගොතනවා. චරිත ඝාතනය කරනවා. ජාති, ආගම් බේද ඇති කරනවා. ආගම වෙළඳ භාණ්ඩයක් කරගන්නවා.

මේ නිසා අපි ඉතිහාසයේ නොවූ විරූ  භයානක අභියෝගයකට රටක් වශයෙන් මුහුණ දී සිටිනවා. මෙහි ආදීනව ගෙවන්න වන්නේ ඊළඟ පරපුරට. මධ්‍යය යනු ගෞරවනීය සේවයක්, ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීම අපක්ෂපාත මාධ්‍යයවේදියකුගේ යුතුකම.

අද මාධ්‍යවේදීන්ට සමහර පුවත්පත් ප්‍රධානීන්ගේ විධානවලටත් යටත්වෙන්න වෙනවා. බොරු මවන්න වෙනවා. ඇත්ත බොරු කරන්න වෙනවා. චරිත ඝාතන කරන්න වෙනවා. සමහර චරිත පුම්බන්න වෙනවා. මේකයි අපේ සමහර ආයතනවල මාධ්‍යය සංස්කෘතිය.

හෘදසාක්ෂියට එකඟව සිය මාධ්‍යය මෙහෙවර ඉටු කරන වැදගත් මාධ්‍යවේදීන් අප රටේ සිටීම වාසනාවක්. අපගේ අචාරය ඔවුනට පුද කරනවා. මේ අපි කතා කරන්නේ කරුණු දැනගෙන. අපි ඒ කුහක සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එයට නායකත්වය දීම මෙහි පැමිණ සිටින ඔබ අපගේ යුතුකමක්. ඇත්ත තොරතුරු දැන ගැනීම මූලික මිනිස් අයිතිවාසිකමක්. ඒවා අප ලබාගත්තේ ලෙහෙසියෙන් නොවෙයි.  20 වැනි සංශෝධනය තුල එම අයිතිය කොතෙක් දුරට රැකේදැයි අපට හිතන්න බෑ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

අපි යුක්තිය, සත්‍ය හා සාධාරණය වෙනුවෙන් ගෞරවනීය සෝභිත හිමිපාණන් නායකත්වය දුන් දර්ශනය අනුව ඉදිරියට යනවා. අපි ස්වාධීන අපක්ෂපාතී සිවිල් සංවිධානයක්. අපිට, රජුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් බිහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ රටේ ජනතාවගේ 20 වැනි සංශෝධනයෙන් විනාශ කළ මූලික අයිතිවාසිකම් රැක දීමට අපට සිදුවනවා. එය එතරම් භයානකයි.

ඒ අයිතිය ආරක්ෂා කිරීමට ඊළග පරපුරට රැක දීමට, අපි නැගී සිටිනවා. පූර්ණ වශයෙන් කැපවනවා.

Social Sharing
නවතම