මුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව තවමත් …

කොවිඩ් වසංගතය පැමිණිමත් සමග මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් විය. ඒ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසාය. . ඔවුන්ගේ ආගමට අනුව මෘතදේහ භූමදානය කළ යුතුව ඇත.

කොවිඩ් සම්බන්ධව ක්‍රියා කළ යුතු උපදෙස්, නිර්දේශ ඇතුලත් ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබීම නිසා ඔවුන්ට සැමවිටම සිදුවුයේ අකමැත්තෙන් වුවද මෘතදේහ ආදාහනය කිරීමටය. මේ නිසා ඇතැම් ප්‍රදේශ වල මිය ගිය මුස්ලිම් පුද්ගලයින්ගේ මෘතදේහ ඥාතීන් විසින් භාර නොගන්නා තත්ත්වයකට පත් විය. මෘතශරීරාගාර වල මුස්ලිම් පුද්ගලයින්ග් මෘතදේහ ගොඩගැසෙන්නට විය.

ඒ නිසා මුස්ලිම් ජනතාව වරින් වර රජයෙන් ඉල්ලා සිටියේ කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරිමට අවසර දෙන ලෙසටය. නමුත් වසරක් පුරා මේ ගැටලුව පැටළුනු නූල් බෝලයක් මෙන් දිගින් දිගටම දේශපාලන වේදිකාවල  දිග හැරුනා මිස ප්‍රශ්නය විසඳුනේ නැත.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද පෙන්වා දුන්නේ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමිදානය කළ හැකි බවය. ඒ අනුව මේ සම්බන්ධව සොයා බැලීමට මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්ෂණ කමිටුවක් ද පත් කෙරුණි. ඊට විශේෂඥ වෛද්‍යවරුන් 09 කු ඇතුලත් විය.

කරුණු මෙසේ තිබියදී කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහුගියදා  (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. එය රටේ සියලුම මුස්ලිම් ජනතාවට සුභාරංචියක් විය.

ජලයෙන් කොවිඩ් රෝගය බෝ නොවන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය පහුගිය දා (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබු අතර, ඒ හේතුවෙන් මෘතදේහ භූමිදනයට අවසර ලබා දෙන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අගමැති මහින්ද රාජපක්ෂ ගෙන් විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ මෘතදේහ භූමිදානයට අවසර ලබාදෙන බවය.

මේ අතර මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්ෂණ කමිටුවේ වාර්තාව ද පහුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට බාර දී තිබුණි. ඒ භූමිදානයට අවසර ලබා දෙමිනි. එයට දැඩි කොන්දේසි 07 ක් පනවා තිබුණි.

නමුත් අද වෙනතුරු ඒ තාක්ෂනික කමිටුව ලබා දුන් නිර්දේශ ඇතුලත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇත.

භූමදානයට අවසර දෙන බවට අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලි ප්‍රකාශයක් ලබාදී තිබියදී නැවතත් තාක්ෂණික කමිටුවට මෙම කාරණය ගෙන යන්නේ මන්දැයි රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේදී විමසා සිටියේද එවන් පසුබිමකය.

අගමැතිවරයාට ඉහළින් තීරණ ගනිමින් මෙයට බාධා කරන්නේ කවුදැයි ප්‍රශ්න කළ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මෙම කරුණ ජිනීවා වෙතද ගොස් ඇතැයිද එය නොවිය යුත්තක් බවද පාර්ලිමේන්තුවේදි පවසා සිටියේය. ඔහු එසේ කීමට හේතු වුයේ මෘතදේහ භූමදානය කිරීමට ඉඩ දීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ තාක්ෂණ කමිටුවේ එකඟත්වය මත බව රාජ්‍ය ඇ මැති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුවය.

මේ අතර සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘදේශ භූමදානය කිරීම ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී කථා කලේය. ඔහු පවසන්නේ කොව්ඩ් 19 වෛරසය ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පමණක් බවත්ය.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහ භූමදානය සම්බන්ධව තාක්ෂණ කමිටුවේ නිර්දේශ ඇතුලත් ගැසට් පත්‍රය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනතුරු ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි අනුගමනය කළ ආදාහන ක්‍රියාවලිය පමණක්ය.

ඔහු තවම මෙය ගැසට් කිරීමට ප්‍රමාද වන්නේ මන්ද යන ගැටලුව මේ වන විට පැන නැඟී ඇති අතර එයට රජයෙන් කිසිඳු නිල නිවේදනයක්ද මේ වනතුරු ප්‍රකාශයට පත් නොකිරීම මත පෙනී යන්නේ මෙය තවත් දේශපාලන කථාවක් පමණක් දෝ යන සැකය වේ.

-ශානි-

ඡායාරූපය අන්තර්ජාලයෙනි….

Social Sharing
නවතම