සතුරකු සෙවීමේ සමාජ මනෝභාවය, කොවිඩ් වසංගතය හා මුස්ලිම් ජනයා

ලංකාවේ පැවති සිවිල් යුධ සමයේදී සිංහල බෞද්ධ සාමූහික විඥානය විසින් සිංහල සමාජයේ අනෙකා වශයෙන් හදුනා ගැනුණේ දෙමළ ජනයාය, එය යුද්ධය අවසන්වීමත් සමග ක්‍රමානුකූලව  මුස්ලිම් ජනයා වෙතට විතැන් වූ අයුරු අපට නිරීක්ෂනය කල හැකිය.  මෙම ලිපිය හරහා උත්සහ කරන්නේ ලංකාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය තුළද සමාජය විසින් විවිධ ස්වරූපයන්ගෙන් අනෙකෙකු නැතිනම් සතුරෙකු නිර්මාණය කරගන්නා ආකාරයයි. ලාංකීය සමාජය විසින් විවිධාකාරයෙන් නිර්මාණය කරගැනෙන ‘අනෙකා’ පිළිබඳ මනෝභාවය තේරුම්ගැනීමට ප්‍රවේශයක් වශයෙන්  ආචාර්්‍ය ප්‍රභා මනුරත්නගේ මතු දැක්වෙන පැහැදිලි කිරීම වැදගත්වනු ඇත.

“එළියෙ ලෝකය නැත්නම් තමන් නොවන ලෝකය සමග සම්බන්ධ වීමේදී  නැත්නම් ගැටීමේදී තමයි ‘මම’ කියල කෙනෙක් ඉන්නව කියන එක නිර්මාණය වෙන්නෙ. මේක කිසියම් ව්‍යුහාත්මක ආරයකට තමයි නිර්මාණය වෙන්නෙ. මම කියල පූර්ණ වූ සාරයක් නැහැ. මම කියල භාෂාව හරහා පුද්ගලත්වය හරහා නිරූපණය වෙන කොට තමන්ව පරිපූර්ණ වශයෙන් නිරූපණය වෙන්නෙ නැහැ කියන අඩුවක් හැම තිස්සෙම තමන් තුළ පවතිනවා. අනේකත්වයේ(otherness) එක ස්වරූපයක් ඒක. එනම්  තමන්ට පරිපූර්න ලෙස තමන්වෙන්න බැරිකම. එතකොට තමන් තුළම තමයි ඒ අනේකත්වය නිර්මාණය වෙන්නෙ. කෙනෙක් තමන් තුළම පවතින අඩුවට සෘජුවම විවෘත වුණොත් එය ලොකු ශතියක් වෙනවා. මෙන්න මේ මුණගැසීමේ අතරමැද්දට අපි ෆැන්ටසි එකක් වගේ වෙන මොකක් හරි දෙයක් දාගන්නවා. මේ කියන අතර මැදි මන:සෘෂ්ඨිමය ක්‍රියාකාරීත්වය (Fantasmatic)  තමයි සමාජීය වශයෙන් මෙම අනෙකා කියන ක්‍රියාවලියෙදි වැඩ කරන්නෙ.

අපි හිතුවොත් මම සිංහල ජාතිකයෙක් කියල, එතකොට මට සිංහල ජාතියටම සුවිශේෂ වූ සාරයක් කියල දෙයක් නැහැනෙ. ප්‍රශ්නෙ එන්නෙම ව්‍යුහාත්මකවම එහෙම පුද්ගලයෙකුට හෝ ජන කණ්ඩායමකට පරිපූර්ණවම තමන් බවට පත්වෙනව කියල දෙයක් නැහැ. ඒක ව්‍යුහාත්මක දෙයක්. මේ සියල්ල භාෂාවෙන් නිර්මාණයවෙලා තියෙන්නෙ. භාෂාවයි යථාවයි අතර යම්කිසි දුරක් තියෙනව. භාෂා ලෝකයක් ඇතුලෙ කිසිම කෙනෙක් සම්පූර්ණයෙන්ම නියෝජනය වෙන්නෙ නැහැ. හැමවෙලේම පරතරයක් තියෙනව. මෙම පරතරය තුළ තියෙන අඩුව මට අඩුවක් විදියට බාරගන්න බැහැ. කණ්ඩායමක් ගත්තත් එහෙමයි. තමන් සංගත පරිපූර්ණ කොටසක් කියල හදුනා ගැනීම සදහා යම්කිසි අනෙකෙක්ව පරිකල්පනය කරන්න වෙනව. මම නොවන කෙනා… මගේ අනෙකා විදියට ඒක හදාගන්න වෙනව. මෙය ක්‍රියාකරන ආකාරය තමයි ජාතිකත්වයේ අනෙකා වශයෙන් අපි හදුනාගන්නෙ. මේක හරිම සම්බන්දයි මිනිසාගේ ප්‍රමෝදය කියන කාරනයට.  කණ්ඩායමක් අනෙකෙක් හරහා තමයි තමන්ගේ ස්වීයත්වය (Self) නිර්මාණය කරගැනීමට හැකිවෙන්නෙ. අනෙකා හදාගැනීමට යෑමේදී හදාගන්න පරිකල්පනය (Fantasy) නිර්මාණය වෙන්නෙ අනෙකාගේ ප්‍රමෝදය කැරෙකෙනවායැයි මම පරිකල්පනය කරන කලාපයේ සිට”

“කොවිඩ්-19 තත්වය ගත්තොත් සිංහල සමාජය විතරක් නෙමෙයි සමස්ත සමාජයම විවෘත වෙනව තමන්ට සවිඥානික කරගන්න බැරි කලින් අත්දැක නැති සෘතිමය අත්දැකීමකට. මේ තත්වය තුළ ඉක්මනින්ම කවුරුහරි කාරකයෙක්ව නිර්මාණය කරගන්න සිදුවෙනව. අනෙකාව මෙතනදි නිර්මාණය කරගන්නෙ කාරකයෙක් විදියට.  මේ තත්වය ඇතුළෙ මාධ්‍ය හරහා ‘ත්‍රස්තවාදියෙක්’ විදියට හැදුවෙ රෝගියෙක්ව. කොරෝනා රෝගියෙක්ව හඳුනා ගන්ද්දි පොදුවේ භාවිතා වෙච්ච වචනක් තමයි ‘අල්ලගත්ත’ කියන වචනය. මේතුල කොවිඩ්-19 රෝගීන්ව විවිධාකාරයෙන් පරිකල්පනය කෙරෙනවා”

ආචාර්ය ප්‍රභා මනුරත්න

මාධ්‍ය ඔස්සේ ගොඩනැඟූ වෛරය

කොවිඩ් 19 පැතිරීමේ මුල් අවධියේ සිටම, ලංකාවේ සිවිල් සමාජය, මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ප්‍රකාශයන් සහ සතුරුභාවය ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යන් තුළ පුළුල් ලෙස පැතිරීයෑම සම්බන්දයෙන් සැලකිලිමත් වූයේ කොවිඩ් 19 ආසාදනය වීමෙන් හෝ වෛරසය ආසාදනය වීම නිසා මෑතදී මියගියා යැයි සැකකරනු ලබන පුද්ගලයින්ගේ ආගමික අනන්‍යතාවය පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවීම නිසා සහ කොරෝනා වෛරසය ව්‍යාප්තකරන්නන් වශයෙන් ඔවුන්ට චෝදනා එල්ලවූ නිසාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  44 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අපකීර්තියට පත්කරන වාර්තාවන් සම්බන්දයෙන් ඇය කලකිරීමට පත්ව ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ, සුළුතර මුස්ලිම්  ප්‍රජාවේ සාමාජිකයින්ව COVID-19 සම්බන්දයෙන් අපකීර්තියට පත්කිරීමෙන් හා වෛරී ප්‍රකාශයන් හරහා ඉලක්ක කෙරෙනවා” යනුවෙන් ඇය මානව හිමිකම් පිළිබඳ ගෝලීය තත්වය සහ COVID-19 වසංගතයේ බලපෑම පිළිබඳව පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් 2020 ජුනි 16 වන දින නිකුත් කරන ලද වාර්තාව මගින් කොවිඩි-19 වසංගතය තුළද මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු කෙරෙන වෙනස්කම් පිළිබඳවද සඳහන් කෙරිණි (Tamil Guardian).

දුර්මත ආයතනගත වීම

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් 2020 දී ඉදිරිපත්කෙරුනු කොවිඩ්-19 තත්වයෙන් මිදීමේ උපාය මාර්ගයන් තුළ ‘මුස්ලිම් ජනගහනය ඔවුන්ගේ ක්‍රමවේදයෙහි විචල්‍යයක් ලෙස හඳුනාගෙන තිබේ’ එමෙන්ම ‘වාර්තාව මුස්ලිම් ප්‍රජාව ඉහළ අවදානමක් සහිත ප්‍රජාවක් වශයෙන් නම් කරයි.’ වොච්ඩෝග් සංවිධානය විසින් මෙම වාර්ථාව තුළ මුස්ලිම් ජනයා සම්බන්දයෙන් වන වර්ගවාදී ප්‍රවේශය පිළිබඳව චෝදනා කෙරිණි.

මුස්ලිම් ආධිපත්‍යය සහිත ප්‍රදේශයක් ලෙස සැලකෙන බටහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගරයේ සිදුවීම හරහා මුස්ලිම් ප්‍රජාවට කොවිඩ් 19 තත්වය තුළ වෙනස් කොට සැලකීම ඉතා පැහැදිලිව  ප්‍රකාශයට පත්විය.  “ශ්‍රී ලංකාව සිංහල අලුත් අවුරුද්ද භුක්ති විඳීම” අහිමි කළ බවට බේරුවල කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙකුට චෝදනා කළ සෞඛ්‍ය නිලධාරියෙකුගේ ප්‍රකාශයක් දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශනය කෙරිණි.  මෙහිදී “බේරුවල ජනයා” යන විශේෂණය භාවිත වන ආකාරය අපට දැකගත හැකි විය.

ආගමික කටයුතු සඳහා මුස්ලිම්වරුන් “පොලිස් ඇඳිරි නීතිය” කඩ කරන බවට වූ දුස්තොරතුරු ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල පුළුල් ලෙස පැතිර ගියේය. හොරොපාතානහි ආගමික කටයුතුවලට සහභාගි වූයේය යන චෝදනාව යටතේ මුස්ලිම්වරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු, සමහර සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව චෝදනා පතුරුවා හරින අයුරු නිරීක්ෂණය කළ හැකි විය (IMADR).

දුස්තොරතුරුවෛරයේ වාහකයක් ලෙස

2020 මාර්තු 20 වන සිකුරාදා කොළඹ ජමිඋල් අල්ෆාර් ජුම්මා මස්ජිඩ් මුස්ලිම් දේවස්ථානයේ යාඥාවක් පැවැත්වූ බවට සාවද්‍ය ප්‍රවෘත්ති වාර්තාවන් ‘අද දෙරණ’ විසින් ප්‍රකාශකිරීමට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය විසින් මාර්තු 27 වන දින ‘අද දෙරණ ප්‍රවෘත්ති’ වෙත ලිපියක් යවන ලදි.  2019 දී මුස්ලිම් පල්ලියක පැවති ආගමික මෙහෙයක වීඩියෝවක් භාවිතා කරමින්, ඇඳිරි නීතිය අතරතුර මුස්ලිම්වරුන් විශාල ආගමික මෙහෙයක් සිදු කළ බවට චෝදනා කරමින්  2020 මාර්තු මාසයේදී හිරු රූපවාහිනිය විසින් සාවද්‍ය ප්‍රවෘත්තිවක් ප්‍රචාරය කරනු ලැබිණි (FACT Crescendo, 2020 March). වීඩියෝ පටය සමාජ මාධ්‍ය තුළ බෙදා හරිනු ලැබූ  පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර, මෙම සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද යන්න තවමත් පැහැදිලි නැත. මේ අතර, කිසිදු විරෝධයකට  මුහුණ නොදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සාමූහිකව පිරිත් සච්ජායනාවන් පැවැත්වීමට බෞද්ධ කණ්ඩායම්වලට හැකි විය (Ground views 03, 2020).

සමාජ මාධ්‍ය තුළ මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශයන් සහිත අන්තර්ගතයන් සහ හඩපට  වේගයෙන් සංසරණය වීම සම්බන්දයෙන් 2020 අප්‍රේල්  12 වන දින ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලය සහ කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි සම්මේලනය ඇතුළු සංවිධාන සමූහයක් පොලිස්පතිවරයාට පැමිණිලි කෙරිණි. එම එක් ශ්‍රව්‍ය පටයක ශ්‍රී ලංකා සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාවද පටිගත කෙරී ඇති බව පැමිණිලිකරුවන් විසින් සදහන් කර තිබිණි.

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහ ආදාහනය අනිවාර්ය කිරීම සම්බන්දයෙන් 2020 මාර්තු 31 වන දින රජය ගනු ලැබූ තීරණය බොහෝ දෙනා සලකනු ලබන්නේ මහජන සෞඛ්‍ය පියවරක් ලෙස නොව සුළුතර මුස්ලිම්වරුන්ට එරෙහි  වෙනස්කොට සැලකීම ආයතනගත වීමේ  ප්‍රකාශනයක් ලෙසයි.

 අනෙකාගේ භූමිකාව මාරු වීම

කොවිඩ් 19 දෙවන රැල්ල ලංකාව තුළ මතුවීමත් සමග ඒ හා බැඳුණු අනෙකා පිළිබද මානසිකත්වය විවිධ ස්වරූපයන්ගෙන් ප්‍රකාශයට පත් වන අයුරු අපට නිරීක්ෂණය කළ හැකිය.  මෙම සන්දර්භය තුළ විටෙක විදේශ සංචාරකයින්ද, විටෙක  හමුදා භටයින්ද විටෙක මැදපෙරදිග සේවයට ගිය ශ්‍රමිකයින්ද ලංකාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය සදහා චූදිතයින් වන අයුරු අපට නිරීක්ෂණය කළ හැකිය. ලංකාවේ පැනනැගුණු කොවිඩ්- 19 දෙවන රැල්ල මතුවීම සම්බන්දයෙන් සමාජ මාධ්‍යන් තුළ ප්‍රධාන “චූදිතයා” බවට පත්වූයේ  මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් නිෂ්දන සමාගමේ සේවිකාවකි. ඇයට සමාජ මාධ්‍යවල දරුණු මඩ ව්‍යාපාරයකට මුහුණදීමට සිදුවිය. ඇගේ ස්වාමිපුරුෂයා ඇය වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය මගින් ඔවුන්ට සිදු වූ හානිය මෙසේ  විස්තර කෙරිනි.

“අපි විවාහ වෙලා අවුරුදු 21 ක් වෙනවා.. මගේ බිරිද ඇගේ වැඩක් බලාගෙන ළමයින් සමග ගෙදරට වෙලා ඉන්න තමයි වැඩි කැමැත්තක් දක්වන්නෙ. සමාගමේ සමහර සේවකයින් කම්හලේ නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවා හැර ඇති බව අපට දැනගන්නට ලැබුණා. කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගත් පළමු පුද්ගලයා මගේ බිරිඳ වීම නිසා මෙම තත්වය ඇති වුණා. සමාජ මාධ්‍ය අපේ ජීවිත විනාශ කර දලා තියෙන්නෙ. අනාගතයේදී එවැනි සිදුවීම්  සිදු නොවීමට වග බලා ගන්නැයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට දැන් සමාජයට මුහුණ දෙන්න බැහැ. අපි අසරණවෙලා ඉන්නෙ. සමාජය අපිට  සලකන්නේ අපි රෝගය ඇති කළා වගේ”( Daily Mirror).

නිර්දේශ නොතකන වාර්තාකරණය

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ කොවිඩ් 19 ආසාදිතයින් සම්බන්දයෙන් වාර්ථා කිරීමේදී සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ප්‍රධාන නිර්දේශයක්වන “ වෛරසය ආසාදිත පුද්ගලයින් රෝගීන් මිස අන්අයට රෝගය පතුරුවන පුද්ගලයින් ලෙස හැදින්වීමෙන් වළකින්න” යන්න බහුල වශයෙන් උල්ලංඝනය කෙරෙන බව නිරීක්ෂණය කළ හැක. වෛරසය ආසාදිත පුද්ගලයින් සම්බන්දයෙන් මාධ්‍ය විසින් වාර්ථා කෙරෙන ස්වරූපයන් මගින් ඔවුන් වෛරසය බෝකරන පුද්ගලයින් වශයෙන් “සුවිශේෂීකරණය” කිරීමෙන් සමාජය තුළ වෛරසය ආසාදිතයින් සම්බන්දයෙන් බැහැරකිරීම් වාදී ආකල්පයක් නිර්මානය කෙරෙන අයුරු අපට නිරීක්ෂණය කළ හැක.

කොරෝනා කතගේ දුවගේ පාසල් දරුවෝ 1500 ක් ස්වයං නිරෝධානයට” (2020/10/ 06 ලංකාදීප)

“කොරෝනා ඉදිරියටම, කටුනායක සේවකයා ගම්පොල වනසයි” “එක කතක් නිසා බෝගස්වැව 100ක් නිරෝධානයට” (2020/10/19 අරුණ)

“යාපනයේ කොරෝනා කත ගිය බස්රථයේ රියැදුරුට සහායකට කොරෝනා” (2020/10/20 මවුබිම)

මල්වාන ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් සේවිකාවක් නිසා 59 දෙනෙක් නිරෝධානය වී අවසන්” (2020/10/23 මවුබිම)

ආසාදිතයෙක් නිසා මගුල් ගෙදර ආ සියලුදෙනා ස්වයං නිරෝධානයට” (2020/11/02 අරුණ)

කොරෝනා රෝගීන් 9ක් නිසා රද්දොලුගම නිවාස 14ක පුද්ගලයින් නිරෝධානයට” (2020/11/05 මවුබිම)

කොරෝනා කතුන් දෙදෙනෙකු මියයති” (2020/11/04 ලංකාදීප)

“බුලත්කොහු පිටියේ කොරෝනා මාලු වෙළෙන්දන්ගේ වර්ධනයක්”  (2020/11/02 අරුණ)

කොරෝනා රාලහාමි නිකවැරටියේ උපන්දින පාටියකට ගිහින්” (2020/11/02 ලංකාදීප)

“නාවලපිටිය රෝහලේ ඕ.පී.ඩී – සායනය වසයි… දොස්තර පුතා කොරෝනා පියා බලන්න ගිහින්” (2020/10/28 ලංකාදීප)

කොරෝනා ආසාදිත වූ කඩුවෙල අවන්හල් සේවකයා හතරවටේ ගිහින්” (2020/ 10/21 මවුබිම)

සමාජ මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් සම්බන්දයෙන් සමාජය තුළ ඇති කෙරුණු බැහැරකිරීම්වාදී සහ ‘භයානක’ චිත්‍රය තුළ ගොදුරු බවට පත්වූවන් ලෙස 2020 නොවැම්බර් 07 දා සිය පවුලේ අනෙකුත් සාමාජිකයන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී නිරෝධායනයට රැගෙන ගිය පසු නිවසේ හුදෙකලා වූ 72 හැවිදිරි මවක් සියදිවි නසාගැනීමේ සිදුවීමත්, කොරෝනා ආසාදිතව මරණයට පත්වේ යැයි පැවති බිය හේතුවෙන් නාගොඩ රෝහල් කාර්ය මණ්ඩලය ප‍්‍රවාහනය සිදුකළ ලංගම බස් රථයේ රියැදුරු  2020 නොවැම්බර් 08 දින අළුයම ගෙල වැළලාගෙන මියයාමේ සිදුවීමත් (Lanka Views) සදහන්කළ හැකිය.

අධිකරණ අමාත්‍ය අලි සබ්රීඅනෙකාබවට පත්වීම

පසුගිය මාස කීපය තුලදී ලංකාවේ සමාජ මාධ්‍ය හා සමහරක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලද කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය  මුස්ලිම් ජනයාගේ දේහයන් භූමදානය කිරීම සම්බන්දයෙන් සමාජය තුළ ඇති වූ කතාබහ සමග බැඳුණු වෛරී ප්‍රකාශනයන් සුලබව දැකගත හැකි විය. පසුගිය මාස කිහිපය තුළ මෙම වෛරී ප්‍රකාශයන් ගේ ප්‍රහාරයට ලක්වූ  කේන්ද්‍රීය පුද්ගලයා වශයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රී හඳුනාගත හැකිය.

2020 නොවැම්බර් 13 මුස්ලිම් ජනයාගේ කොවිඩ් ආසාදිත දේහ භූමදානයට විරුද්ධව දිවයින පුවත්පතේ පළ වූ බෙන්ගමුවේ නාලක හිමියන්ගේ ලිපියක ඒ හිමියන් ප්‍රකාශ කරන්නේ  “අලි සබ්රි අධිකරණ ඇමැති වූ පළියට රටේ නීති වෙනස් කරන්න දෙන්න බැහැ” කියාය.

“ඉස්ලාම් භීතිකාව මුස්ලිම් ප්‍රජාව වෙත වඩාත් පොදුවේ යොමු කර ඇති අතර, ෆේස්බුක් සහ යූටියුබ් යන සමාජ මාධ්‍යන් දෙක තුමළ මුස්ලිම් විරෝධී වෛරී කථනයේ ප්‍රධාන තනි ඉලක්කය ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි තෝරා ගෙන ඇත. විශේෂයෙන්ම භූමදානය පිළිබඳ ඔහුගේ ස්ථාවරය හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට  2020 නොවැම්බර් මාසයේ සිට මුස්ලිම් විරෝධී වෛරී ප්‍රකාශයන් එල්ල වෙමින් පවතී”(#පරපුර).

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා විවිධ සංධර්භයන් යටතේ කොවිඩ් 19 තත්වය තුළ අනෙකෙකු නිර්මාණය කෙරෙන ආකාරය ඉහත සාකජ්චා කිරීමට උත්සහකෙරිනි. මෙම අනෙකා නිර්මාණය කිරීමේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය භයානක වන්නේ සිංහල සමාජය තුළ දේශපාලනිකව බලමුලු ගන්වන වෛරී කථිකාවක් ඒ හරහා නිර්මාණය කෙරෙන බැවිනි.

උදිත නෙවිල් වීරසිංහ

Social Sharing
නවතම විශේෂාංග