වරදක් කළත් සිතකින් නොවේ කියලා මේ බදු වංචාවෙන් පැනලා යන්න හදන්න එපා!

පුබුදු ජයගොඩ පෙරටුගාමි සමාජවාදී පක්ෂය

ලංකාවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් බදුවල ක්‍රම 2ක් තියෙනවනේ ඍජු සහ වක්‍ර බදු කියල.  දැන් ලෝකේ ගොඩක් රටවල ඍජු බද්ද තමයි ලොකු බද්ද, ඒ කියන්නේ ඉහළ ආදායම් ලාභින්ගෙන් ආදායම් මත අයකරන බද්ද එහෙම නැත්නම් ප්‍රාග්ධනය මත  අය කරන බද්ද. අනිත් එක වක්‍ර බද්ද. වක්‍ර බද්ද කියනනේ භාණ්ඩ හා සේවා මත අයකරන බද්ද. ඒක හුගක් විට වැටුප මත බද්දක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ලංකාවේ මේකේ ප්‍රතිශත තියෙන්නේ, ලංකාවේ බදු ආදායමෙන් 85%ක් භාන්ඩ හා සේවා බද්ද, 15%ක් තියෙන්නේ ඍජු බද්ද එහෙම නැත්නම් ආදායම මත අයකරන බද්ද. එතකොට මේක අර දේශපාලන විද්‍යාවේ නිර්වචනත් අවුල් කරලා තියෙන්නේ. රාජ්‍ය ගැන නිර්වචන හැදෙද්දී තියෙන්නේ වැඩවසම් රාජ්‍ය කියන්නේ මොකද්ද අහුවම කියන්නේ රදලයන්ගේ බදු මගින් නඩත්තු වන රාජ්‍යයක්. ඊට පස්සේ ආසියාතික රාජ්‍ය යනු කුමක්ද කියලා ඇහුවම කියන්නේ යටත්වැසියාගේ බදු මගින් නඩත්තු වන රාජ්‍යය, ධනේශ්වර රාජ්‍ය කිව්වම සාමාන්‍යයෙන් පොත්වල ලියලා තියෙන්නේ ධනපතියන්ගේ බදු මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය කියලා. ඉතින් ලංකාව තාම දුවන්නේ යටත්වැසියාගේ බදුවලින්. 85%ක් වක්‍ර බද්ද.

පසුගිය කොවිඩ් වසංගත කාලෙදි බරපතල ප්‍රශ්නයක් ආවා බදු අය කිරීම සම්බන්ධයෙන්. ඒ ප්‍රශ්නෙදි ආන්ඩුව කලේ ලොකු සමාගම්, ධන කුවේරයෝ ඒ අයගේ බදු අඩුකලා. විශේෂයෙන් බැලුවොත් අයවැය මගින් 50%කින් කපා හැරියා කොටස් වෙළදපොළ ලියාපදිංචි සමාගම්වල බද්ද. නමුත් ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවන් මත බද්ද, ඒවා දශමයක්වත් අඩුකරේ නෑ. ඇත්තටම ඒවා වැඩිකරා. 2021 ගත්තොත් 2020ටත් වඩා වැඩි භාන්ඩ හා සේවා හරහා අය කරන්න යන බද්ද .  පොදුවේ භාන්ඩ හා සේවා මත අයකරන බද්ද ලංකාවේ පවුල් සංඛාවෙන් බෙදුවම සමාන්‍යයෙන් එක පවුලක් මාසෙකට රුපියල් 20000ක් වගේ ගෙවනවා වෙළදපොළට ගිහිල්ලා ආණ්ඩුවට බදු විදිහට. ඇයි අපි ආන්ඩුවට විසිදාහක් වගේ බදු ගෙවන්නේ කියන ප්‍රශ්නය එනවා.

සීනී බදුවලින් ගැහුවේ කොහොමද?

ජනතාවට සහන දෙන්න කරන බදු සංශෝධනයන් වලිනුත් අවශානෙදි වෙලා තියෙන්නේ කවුරුහරි ධන කුවේරයෙක්, ලොකු පවුලක කෙනෙක් පෝසත්වෙලා ජනතාවට ආපහු සැරයක් පීඩාවම උරුම වෙන තත්වයක්. ඒකට හොදම උදාහරණයක් තමයි සීනි ප්‍රශ්නය. සිනීවල  වුනේ 2020 ඔක්තොබර් 13 වැනිදා ගැසට් එකක් ගැහුවා සීනි කිලෝවක් සඳහා තිබුනු රුපියල් 50ක බද්ද සත 25ට අඩු කරා. එතකොට ඒ වෙනකොට ලංකාවේ 2020 ජනවාරි පලවැනිදා ඉදලා ඔක්තොබර් 13 වැනිදා  වෙනකම් කාලය අතුලේ ලංකාවට ගෙන්නපු සමස්ථ සීනිවලින් 96.75%ක් ගෙන්නලා තිබුනේ පිටකොටුවේ ඉන්න තොග වෙ⁣ළෙන්දෝ 14 දෙනෙක්. ඒ අය දේශීය වෙළෙන්දෝ. එතකොට පිරිමිඩ් විල්මා කියන බහුජාතික සමාගමක් තිබුනා සිංගප්පූරු සම්භවයක් සහිත ඒ සමාගම ලංකාවේ සමස්ථ සීනි වලින් 3.25%ක් ගෙන්නලා තිබුනා.  ඔහොම තමයි පොදු චිත්‍රය තිබුනේ. එතකොට අපි කාටත් තේරෙනවා පිටකොටුවේ තොග වෙලෙන්දෝ 14ක් තමයි ලංකාවේ සිනී ආනයනය සම්බන්ධයෙන් ඒකාධිකාරය හිමිකරගෙන තිබුනේ.

එතකොට ඔක්තොබර 13 මේ ගැසට් එක ගහනකොට මේ වෙළෙන්දෝ 14 දෙනා මෙක්ට්‍රින් ටොන් 80000ක් රුපියල් 50ක ගානේ බදු ගෙවලා ගෙනල්ලා පිටකොටුවේ ගබඩා කරලා තිබුනා.  පිරමිඩ් විල්මා සමාගම මෙක්ට්‍රින් ටොන් 7000ක් ගෙනල්ලා වරායේ නවත්තගෙන හිටියා මේ ගැසට් එක ගහනකන්.  ඒ කියන්නේ මේ ගැසට් එක ගහනවා කියලා පිරමිඩ් විල්මා සමාගම කලින් දැනගෙන හිටියා. ඒකේ දේශීය නියෝජිතයා විදියට ඉන්න සජාඩ් මවුසුන් දැනගෙන හිටියා. ඊට පස්සේ ගැසට් එක ගැහුවට පස්සේ තමයි සත 25ගානේ බද්ද ගෙවලා සීනි ටික බෑවේ. සමාන්‍යයෙන් ඔක්තොබර් මාසේ වෙද්දී සුදු සීනි කිලොවක තියෙන්නේ  සාමාන්‍ය වෙළදපොළ මිල රුපියල් 125 වගේ ගානක්. එතකොට රුපියල් 45යි ශත 75න් ම බද්ද අඩුකරාට පස්සේ රුපියල් 75ට දෙන්න පුලුවන් සීනි කිලෝවක්. නමුත් රජය නැවත ගැසට් නිවේදනයක් නිකුත් කරා සුදු සීනි කිලොවක් උපරිම සිල්ලර මිලි රුපියල් 85යි කියලා. හරි 75 පැත්තකින් තියලා 85 ගන්නකෝ. නමුත් කිසිදු තැනක 85ට සීනී තිබුනේ නෑ. සමාන්‍යයෙන් අපි ඒ දවස්වල සීනි ගත්තේ රුපියල් 105ට 107ට.  පස්සේ ඒක 112ක්  114ක් වුනා. දැන් මේ වෙද්දී සුදු සීනි රුපියල් 120කට අසන්න වෙලා තියෙනවා. සතොසේ අඩු මිලට දෙනවා කියන සීනි පවා දෙන්නේ රුපියල් 99ට. ඒ කියන්නෙ සීනිවල බද්ද අහෝසි කරපු එකෙන් ජනතාවට වාසියක් වුනේ නැ. ජනතාවට අඩු මිලට සීනි ලැබුනේ නැ.  කාටද මේකේ වාසිය ආවේ. එතනින් පස්සේ ගෙවිච්ච මාස 3 ගත්තට පස්සේ ඔක්තොබර්, ජනවාරි 13 දන්වා ගෙවිච්ච මාස තුන ඇතුලේ ලංකාවට ආනයනය කරපු සීනිවලින් 59%ක් ආනයනය කරලා තිබුනේ පිරමිඩ් විල්මා සමාගම. සියය⁣ට 41ක් පමණයි අර පිටකොටුවේ තොග වෙ⁣ලෙන්දෝ 14 දෙනා  ආනයනය කරලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් එකක් වුනා. පලවෙනි එක එතෙක් කල් දේශීය වෙළෙන්දෝ අතේ තිබුන ලංකාවේ සීනි ආනයන ඒකාධිකාරය  පිරමිඩ් විල්මා කියන බහුජාතික සමාගමක් සතුවුනා.  බද්ද අඩු කරාට අද අපි සීනි කන්නේ කලින් තිබුන ගානට වඩා රුපියල් පහක් විතර අඩුවෙන් බදු අඩු කරන්න කලින් තිබුන ගානට. ඒ නිසා සීනි බද්දේ අඩුව ජනතාවට ලැබුනේ නැ.  අනිත් එක මේ හරහා රජයට විශාල වශයෙන් බදු ආදායමක් අහිමි වුනා. අහිමි වුන බදු ආදායම රුපියල් කෝටි 1600කට ආසන්නයි කියලා විගනකාධිපති දෙපාර්තමේන්තුව මූලාශ කරගනිමින් මුදල් අමාත්‍යංශය කියලා තියෙනවා.

දැන් වෙලා තියෙන්නෙ පිරිමිඩ් විල්මා සමාගමට සජාඩ් මවුසූඩ්ලාට ලංකාවේ සීනී ආනයන ඒකාධිකාරය හිමිවන අතර මහජන  මුදලින් රුපියල් කෝට් 1600ක් රජයට හිමිව තිබූ මුදල් සමාගම විසින් අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මේක වංචාවක් හොරකමක් කියලා කියද්දී ඒක එහෙම නොවයි කියලා එක එක තර්ක ගෙන්න පුලුවන්. නමුත් සාමාන්‍ය සිහිබුද්ධිය තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා මෙතන වංචාවක් වෙලා තියෙනවා කියලා. ඒ වගේ වංචාවක් සම්බන්ධ එකක්නේ පොල්තෙල් වංචාව. පිරිපහදු කළ පොල්තෙල් ලංතාවට ගෙන්නද්දී සාමාන්‍යයෙන් පොල් තෙල් ක්ලොවක් සඳහා රුපියල් 125ක් බද්දක් අය කරනවා. දෙසැම්බර් මාසේ 13 රෑ 12ට ගැසට් එකක් ගැහුවා බද්ද රුපියල් 100 කරා කියලා. රුපියල් විසිපහකින් අඩුකරලා. ඒ වෙනකොට වෙන පොල්තෙල් ගෙන්නන කිසිදු ව්‍යාපාරිකයෙකුගේ නැව් වරායේ තිබුනේ නැ. සජාඩ් මවුසූඩ්ගේ නැව තිබුනා. ඊට පස්සේ විශාල පොල්තෙල් ප්‍රමාණයක් අඩුවෙන් බදු ගෙවලා කොළඹට බෑවා. බාලා ඉවර වුනාට පස්සේ නැවත 14 වෙනිදා ගැසට් එකක් ගැහුවා නැවත බද්ද රුපියල් 125 කියලා.  දැන් පැහැදිලි පැය 24ක් ඇතුලේ ගැසට් ගහලා බද්ද අඩු කරේ සජාඩ් මවුසූඩ්ට සල්ලි හොයාගන්න.

ගජ මිතුරෙක්

සජාඩ් මවුසූඩ් කියන්නේ රාජපක්ෂ පවුලේ සමීපතමයෙක්. මෙතන ගජමිතුරු ධනවාදයකුත් යනවා. පොදුවේ රාජ්‍ය මුදල් කාබාසිනියා කරමින් ජනතාව පෙලන ගමන් සමාගම්වලට බදු සහන දෙනවා. එහෙම බදු සහන දෙද්දී ගජමිතුරන් ගැන විශේෂයෙන් සැලකිල්ලක් දක්වනවා. ඉතින් රාජපක්ෂ පවුලේ උත්සවවල අපි දැක්කා සජාඩ් මවුසූඩ් ඉන්නවා. ඔහු වියත්මගේ සාමාජිකයෙක්. ෂැංග්‍රිලා හෝටල් සමූහයේ ලංකාවේ සභාපතිවරයා විදිහට ඉන්නවා. ඒ හෝටල්වල තමා වියත්මගෙ රැස්වීම් ජනාධිපතිවරණය දී පැවැත්වූයේ.  එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් කවුරුහරි විශ්වාස කරනවානම් ගජමිතුරු ධනවාදය නැතුව සම්භාව්‍ය ධනවාදී ආකෘයකින් ලංකාවේ ධනවාදය යනවා කියලා ඒම යන්නෙ නැ. ලංකාවේ ධනවාදය දුවන්නෙම මේම තමයි. ඒකේ සංයුක්ත රූපය තමයි මේ. ඒක යන්නෙ ගජ මිතුරු ධනවාදයක් හරහා නමුත් මේක හරහා දැවැන්ත අලාභයක් සිදුවුනා රජයට, ජනතාවට. ඒ විතරක් නෙවෙයි මේ අලාභය ඇතුලේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලෝ ජාතික ආර්ථිකයක් හදනවා කියලා බලයට ඇවිල්ලා ලංකාවේ සීනි ආනානයනය බහු ජාතික සමාගමකට නතු වුනා, දේශීය වෙළෙන්දෝ පසුබැස්සා. මේ අහිමි වූ කෝටි 1600ක මුදල කියන්නෙ ලංකාවට කොවිඩ් වැක්සීන් එක ගෙන්න පවා ප්‍රමාණවත් මුදලක්. එතකොට කොවිඩ් වැක්සීන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගන්න සිද්ධ වුනේත් රටවල් ගානේ වැක්සීන් දෙන්න කියලා හිඟාකන්න සිද්ධ වුනෙත් මේ මුදල් අහිමි වුන නිසා. මේක සම්බන්ධයෙන් බරපතලවම වගකීම බාරගත යුතුයි ආණ්ඩුව.

අපි දැක්කා මහින්ද අමරවීර ආමාත්‍යවරයා කියලා තියෙනවා බැදුම්කර වංචාව කරේ නරක සිතින්, සීනි වංචාව කරේ හොඳ හිතින් කියලා. නමුත් දැන් මෙතන හොද හිතින් නරක සිතින් කියන සිතිවිල්ල අදාල නෑ. වෙලා තියෙන දේයි වැදගත්. මෙයින් බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා ජනතාවට, ආර්ථිකයට, රජයට. ඉතින් ඒක සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න අවශ්‍යයි. මේකට වගකිය යුත්තන් සියලු දෙනාටම දඩුවම් නියම කල යුතුයි. පවතින අධිකරය ඇතුලේ පුලුවන් විදියට මේකට ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ නිසා මහින්ද අමරවීර මහත්තයා කියනවා වගේ වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි වගේ දෙවල් කියලා මේ ප්‍රශ්නය යටපත් කරන්න බැ. මේක බරපතල ප්‍රශ්නයක්, මේක සම්බන්ධයෙන් ජනතාව පෙළගස්වන්න අපේ පැත්තෙන් හැකි උපරිමය කරමින් ඉන්නවා.

Social Sharing
නවතම විශේෂාංග