චෝරනාගව පුටුවෙන් ඇඳලා දාලා අනුලා බිසව රාජත්වයේ පිහිටෙව්වේ ඇයි?

 

ලේඛක සුජිත් අක්කරවත්ත

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට කඩා වැටිලා තියනවා කෙටියෙන්ම කිව්වොත් මේ පක්ෂ දෙකම අවසන් වෙලා තියනවා. මේක වුණේ සජිත් ගේ රනිල් ගේ හෝ මෛත්‍රීගේ මහින්ද ගේ පෞද්ගලික දේශපාලන අරමුණු නිසා ද?

අපි හැවෝම එජාපය දකින්නේ ඒක අධිරාජ්‍යවාදීන්ගේ කොම්පදේරු උවමනාවක් විදිහට. අපි ශ්‍රීලනීපය දකින්නේ ඒක ලංකාවේ ජාතිවාදීන්ගේ පොළාපැනීම විදිහට. හැබැයි එහෙම්මම විග්‍රහ කරගෙන මේගොල්ලන්ගෙ මරණය ගැන විග්‍රහයකට එන්න බැහැ. ඉතිහාසය දිහා බැලුවාම ලංකාවේ දේශපාලන ධුරාවලි දෙකක් අඳුරගන්න පුලුවන්. මහාවංශය සහ චූලවංශය නමින් අපිට තිබෙන ද්විත්ව ඉතිහාස ග්‍රන්ථ දෙකෙන් දහරා ගත කරලා තියෙන්නේ මේක. මේ විඤ්ඤානයට හරියන්න ඒ මග මෙහි නායකයින් අරගෙන යන්න මුල් න්‍යාචාර්‍යවරු සමත් වුණා. විශේෂයෙන්ම ඩීබී ජයතිලක මහාවංශික චින්තාව නියෝජනය කළා. ඔහු තමයි එජාපය ආරම්භ කරන්නේ, අයිතිකාරයා ඩී එස් සේනානායක වුණාට. ඔහුට මේක අහිමිවීම අස්සේ තමයි මේ ප්‍රශ්නය එන්නේ. එජාපයේ මේ අවසානය දක්වා දුවන්නේ මෙන්න මේ දාර්ශනික අවුල කියලා තමයි මට හිතෙන්නේ. මේකෙම ප්‍රථිපල තමයි සී ඩබ්ලිව් ඩබ්ලිව් කංනන්ගර පක්ෂය තුළ රඳවා ගන්න බැරිවෙන්නේ. මේවා ජනතාවට පෙනුනේ නැහැ. මහාවංශ ජානයෙන් උපත ලබන සමාජ දේශපාලන නායකයෙක්ට එජාපය අස්සේ ඉස්සරහට එන්න බැරිවුණා.

එතකොට ශ්‍රීලනීපයට උනෙත් මේකෙම අනික් පැත්ත. ශ්‍රිලනීපය නිර්මානය කිරිමේ මතුපිට නායකයා එස් ඩ්බ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක උනාට ඒක මුණිදාස කුමාරතුංගයන්ගේ දේශපාලන සැලැස්ම. ඔහුගේ හෙලහවුලේ වැඩේ වුණේ, මහාවංශයට එරෙහිව චූලවංශය විසින් ලංකාවේ දේශපාලන දහරාවට ඇතුල්කරපු ඒ මතවාදය භාෂාවේ ඉදලා සමාජගත කිරීම. එහෙත් මේ ව්‍යාපාරය බණ්ඩාරනායක මහත්තයා ඉක්මනින් ඩැහැ ගත්තා. අන්තිමට මේක බණ්ඩාරනායක පවුලෙන් එළියට ගියේ පිටමං වුණ රාජපක්ෂ සහ සහමුලින්ම පිටමං වුණ සමාජ බලවේගයක් නියෝජනය කළ සිරිසේනට. එජාපයෙත් අපි දැක්කේ මේ දෙකටම නැති සම්භාව්‍ය ප්‍රභූ පන්තියටත්  නැති ඓතිහාසික ප්‍රවාහයටත් අයිති නැති ප්‍රේමදාස විසින් පක්ෂය දෙවතාවක් අත්පත් කරගැනීම. ඇත්තටම මේ පක්ෂ දෙකම අහෝසි වෙන තත්ත්වයට එන්නේ මේ උප්පත්තියේම තියෙන දාර්ශනික විසංවාදය නිසා කියලා තමයි මට හිතෙනේ. ඒකට යන්න පුලුවන් උනා අවුරුදු 60 ක් නැත්තන් 70ක් මේ දාර්ශනික විසංවාදය තියාගෙන.

මෙරටේ පවතින මේ පවුල්වාදය අපි කොහොමද තේරුන්ගන්නේ..

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වුණාට ඓතිහාසික ධාතූන් විසින් පවරපු විඥානයක් අපි ඔළුව ඇතුලෙ තියෙනවා, මොකද වෙන රටවල්වල විදිහට මේක විග්‍රහ කරන්න හැදුවොත් ටිකක් වරදිනවා. උතුරේ දකුණේ හැමතැනම අපි දකින දෙයක් තමයි ඉතා නූතනයි කියන වාමාංශික දේශපාලනයත් ගෝත්‍රයක් හෝ පිය පුතුන් විසින් තමයි මෙහෙයවන්නේ. මෙය රුසියාව, චීනය, කියුබාව ආදි සියලුම රටවල් වන දකින්නට ලැබෙනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහි වුණාම අපේ ඓතිහාසික විඥානය කියනවා මේක පියාගෙන් පුතාට අයියාගෙන් මල්ලි ට උරුම වෙන්න ඕනි කියලා. මෙන්න මේ වගේ දේවල් නිසා තමයි පාලකයෝ අසාර්ථක වෙන්නේ. ලංකාවේ අසහාය නායකයෙක් වෙන්න තිබ්බ ඩී එස් සේනානායක මහත්මයා තමන්ගේ පුතාට බලය පවරන්න ගිහිල්ලා තමයි අසාර්ථක වෙන්නේ. ඔහු තමන්ගේ පවුල පැලැන්තිය බලන්නේ නැතුව කටයුතු කරානම් මේ වෙද්දී රට හිටපු අසහාය නායකයෙක්. මෙන්න මේ දේවල් නිසා එක්සත් ජාතික පක්ෂ‍ය පවුලක් වටා වට ගැහෙන්න ගත්තා. එක්සත් ජාතික පක්ෂ අස්සේ ටීබී ජයතිලක විසින් ඇති කරපු චින්තනයක් තියෙනවා, පොඩි බහුවිධ සැකැස්මක් ඉතා ගතික ගුණයක් තියෙනවා එහි. මේ බහුවිධ සැකැස්ම ඇතුලේ ආර් ප්‍රේමදාස ජයග්‍රහණය කරනවා. කන්නන්ගර මහත්මයා පරාජය වෙනවා. සමහර විට ටීබී ජයතිලක අකාලයේ මිය ගියේ නැත්නම් මේක ජයග්‍රහණය කරන්න තිබ්බා. ඒ වගේම නූතනයේ තියෙන ප්‍රශ්නයක් තමයි චම්පිකවගේ නායකයෙක්ට එක්සත් ජාතික පක්ෂයේ තැනක් නැති උනාද කියන එක, නැතිනම් පළවා හැරියාද කියන එක, මේක ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක වගේ ඉඳලා මැද පාන්තික අධ්‍යාපනය ලැබූ නායකයන්ට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේකට හේතුවක් ලෙස ඔවුන් මේ ඓතිහාසික චින්තාව තේරුම් ගත්තේ නැහැ.

දැන් මේ රට පාලනය කරන්නේ රාජපක්ෂවරු එතකොට මොකක්ද ඔවුන්ගේ සම්ප්‍රදාය ?

ඔවුන්ගේ සම්ප්‍රදාය චූලවංශය, මොකද චූලවංශයට විශාල රජ පවුලක් අවශ්‍යයි. බණ්ඩාරනායකගේ ඉඳලා රත්වත්ත දක්වා එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිපක්ෂව වාමාංශික හවුල හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුන්න එක ඒක තමයි. ඒ කියන්නේ රාජකීයත්වය අනුක්‍රමයෙන් ආපු තාත්තගෙන් පුතාගේ එකක්. ඒක නිතරම දේශමාමකත්වය හා  වර්ගවාදී ව්‍යුහයකට ලක් කරන එක තමයි ඔවුන්ගේ දේශපාලන ව්‍යුහය. මේක දුටුගැමුණු ලංකා ව්‍යුහයට එකතු කරපු දෙයක්, නමුත් ඒකට ඔහුට ඇඟිල්ල දික් කරන්න බැහැ. ඒක මාගම් රාජ වංශයට අයත් දෙයක්. ඒ මොහොතේ ඒක ඔහුට අනුව සාධාරණයි . මෙන්න මේ නිසා තමයි චූල වංශය හා මහා වංශය වගේ එකිනෙකට ගැලපීමක් නැති කෘති දෙකක් නිර්මාණය කරන්න වුනේ. මෙන්න මේ ඓතිහාසික ධාතුවට රාජපක්ෂවරු තමන්ගේ පවුල බැස්සුවා.

මිනිසු සම තත්ත්වයෙන්, බජාර් එකට බැහැලා ඉන්න නායකයෝ ඉල්ලන්නේ ඇයි? මහින්ද රාජපක්ෂ වගේ නායකයන්ට ඇයි මිනිස්සු කැමතියි ?

ඒකට හේතුව මෙතෙක් කල් ඒ වගේ නායකයෝ බිහි නොවිච්ච එක. ඒ කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ තත්වයට පොදු රුචියක් තියෙන මනුස්සයෙක් ඕන වෙනවා. ඒකනේ චෝරනාගව පුටුවෙන් ඇඳලා දාලා අනුලා බිසව රාජත්වයේ පිහිටවනු ඉතින් මේවා ඒ කාලේ ඉඳන් අද වෙනකම්ම එනවා මිනිස්සු ඒකාකාරීත්වය බිදෙන්න මේ දේවල් කරනවා. ඒ වගේ මිනිස්සු කැමති තමන්ගේ චින්තාවට සමීප චින්තාවක් තියෙන මනුස්සයෙක්. ඒ වගේම ඓතිහාසික විජේවීර, විජය කුමාරතුංග හා වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන අය දුන්නු සමාජ විඥානික අවදි කිරීම් එකට අරගෙන රඟදැක්වූයේ මහින්ද රාජපක්ෂ.

ඊට පස්සේ දැන් මොකක්ද මේ චින්තාවට වෙන්නේ ?

ජනාධිපති ධූරය ස්ථාපිත කරාට පස්සේ ඒක බොහෝ අය දැක්කෙ භයානක දෙයක් විදියට, නමුත් එයින් එක දෙයක් වුණා, ලංකාවේ මේ සාම්ප්‍රදායික ධාරා බිඳ වැටුනේ ජනාධිපති ධූරය නිසා. මොකද පක්ෂයකින් නැවත නායකයෙක් ජනාධිපති කරන්න බෑ කියලා ඔප්පු වුණා, 2010 වසරේ සරත් සරත් ෆොන්සේකා මහත්මයා අපේක්ෂකයා විදිහට පිළිගැනීම නිසා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර සහෝදරයා ඒ කාලේ ඉඳන්ම කියපු දෙයක්. 2010 ලංකාවේ මිනිස්සු පොදු අපේක්ෂකයෝ දිහා බැලුවා. 2019 ජනාධිපති වුණෙත් පොදු අපේක්ෂකයෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය මහත්මයා පක්ෂයකට අයිති වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ උනාට ජයග්‍රහණය කළා. මේ ජනාධිපති ධූරය කියන එක යහපාලනයට වත් අයින් කරන්න බැරි වුණා. ඒකේ අනෙක් පැත්ත තමයි යහපාලනය විසින්ම ජනාධිපති ධූරය බලසම්පන්න තැනකට තල්ලු කළා. ඒකෙන් පැහැදිලි වුනේ ලංකාවේ සමාජය බලවත් පුද්ගලයෙක් යටතේ හැසිරවිය යුතුයි කියන එක.

ලංකාවේ කුල 362ක් තියනවා, ඒ වගේම ජාතීන් 8 ක් ඉන්නවා, භාෂා විවහාරයන් 43ක් තියනවා, මේවා ඔක්කොම මගේ ගණනය කිරීම් වලට අනුව, ඒවා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්, එක එක්කෙනාගේ ගණනය කිරීම අනුව, ඉතින් මේ විවිධත්වය තුළ ඒකීයත්වය තියාගෙන යන්න පුළුවන් ඔටුන්න තමයි මේක. ලංකාවේ ඒකියත්වය රඳා පවතින්නේ සිංහල භාෂාව හා ජන සම්මතය ඒකාධිපතිත්වය තුළින්. මේක නිර්මාණය කළේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා. ඉතින් මේ ආකාරයට ඊළඟ ජනාධිපතිවරණයට පවා තේරී පත්වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් නෙවෙයි කියලා මට ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. ප්‍රධාන පක්ෂ දෙකට මොකක් හරි ආල වට්ටමක් දාලා ආණ්ඩු පක්ෂයේ වෙන්න පුළුවන් වෙයි නමුත් ජනාධිපතිවරණය තුළින් හිස ඔසවන්න නම් හම්බ වෙන්නේ නැහැ .

කුලයකට ජාතියකට භාෂාවකට පවුලකට අනුව අපේක්ෂකයන් තෝරා පත් වෙච්ච කාලේ 2024න් ඉවර වෙනවා. මේකට සමාජයේ මුහුණ දෙන ආකාරය එක වෙනම දෙයක්.  මේ තුළින් ප්‍රධාන පක්ෂ දෙකට එනම් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත ගොඩ එන ලැබෙයිද කියන එක මේවා ගැන සොයා බලා දී ලංකාවේ මිනිස්සුන්ගෙන් චින්තනය අනුව සමහර විට එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ එන්න පුළුවන්. මේ වෙලාවේ ලංකාවේ පාර්ලිමේන්තුව පලවෙනි වතාවට එක මතයකට නැගිලා ඉන්නවා, ජයවර්ධනලා විජේවර්ධනලා වික්‍රමසිංහලා නැති ජනසම්මත පාර්ලිමේන්තුවක් වර්තමානයෙහි බිහිවෙලා තියෙනවා. මම මේ පවුල්වාදයන් ගැන කතා කරනවා නෙවෙයි මම කියන්නේ ලංකාවේ ධනවාදය නැතුව ජන චින්තනය තුලින් බිහි වෙච්ච පාර්ලිමේන්තුවක් අද ඉන්නවා. සම්භාව්‍ය වාමාංශිකයෙක් නැති පාර්ලිමේන්තුවක් අද බිහිවෙලා තියෙනවා. එක ජනමතයක් නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් තමයි අද තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අවසාන ඉරණමට ලක් වෙලා තියෙනවා කියන එක විසින් පලවෙනි වතාවට ඉඩක් හදලා තියෙනවා [සීගිරි කාශ්‍යපට ඉඩ හම්බුනා වගේ තමයි] කෙනෙකුට ජනාධිපතිවෙන්න. ඒ අවස්ථාව ගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් 2024 කියන්නේ ඒ ඉඩ විවරවුණ අවස්ථාව.

වාමාංශික චින්තන ධාරාව ගැන කතා කරද්දී ඒගොල්ලො සෑමවිටම ජීවත් වෙන්නේ ප්‍රබන්ධය කරගත් බටහිරත් එක්ක ඔවුන් දේශීයත්වය දැක්කේ ව්‍යාඝ්‍රයෝ විදිහට, එම නිසාම ඔවුන්ගේ චින්තන ධාරාව හාස්‍යයට ලක්වුනා. මේ චින්තන ධාරාවට  ගෝඨාභය රාජපක්ෂ  70%ක සිංහල ඡන්ද වලින් ජනාධිපති වීම හිතා ගන්න බැරි වුනා…

එස් ඒ වික්‍රමසිංහ තමයි ලංකාවේ ජන මනස හඳුන ගත් පළවෙනි වාමාංශිකයා. ඒවගේම පිලිප් ගුණවර්ධන. පිලිප් ගුණවර්ධන ට ව්‍යාධියක් හැදුනනේ පවුලක් හදන්න, අදටත් එස්. ඒ වික්‍රමසිංහගේ පවුලෙ මිනිස්සු දේශපාලනයට සම්බන්ධ නෑනේ. එස්. ඒ වික්‍රමසිංහ මහත්මයා පරාජය කිරීමත් එක්ක වමට ඒ තිබ්බ දාර්ශනික විඥානයත් පරාජය වුණා. ඒක තමයි ඓතිහාසික පරාජය. ඒ ඇතුළෙ තමයි හිටියෙ ලංකාවේ ජාතික මූලයන් සියලු දෙනාම. එතනින් ඔවුන්ට තිබ්බ සම්පූර්ණ ඉඩ අහිමි වුනා.

ලංකාවේ නිකාය තුනයි නේ. අමරපුර රාමඤ්ඤ සියම්. ඒ වගේම ලංකාවෙ මහා චෛත්‍යයත් තුනයි නේ. ජේතවනාරාමය, රුවන්වැලිය, අභයගිරිය. අභයගිරියට මිනිස්සු වදින්නේ නෑනේ. අභයගිරියට රන්කොල  තියෙන්නත් බෑ ඇයි ඒ, අභයගිරිය තමයි දාර්ශනිකම කුලය, වමත් ඒ වගේ තමයි . ඒ කියන්නේ ලංකාවේ සටන්කාමී රැඩිකල්වාදී දහරාවක් එනවා, ඒකට තමයි  එන් එම්ලා, වික්‍රමසිංහලා, පිලිප්ලා, නායකත්වය දුන්නේ. මහා විහාරයට ප්‍රතිපක්ෂව අභයගිරිය වගේ රැඩිකල් නිකායක් බිහිවුණා, ඉතින් මේවා අපේ ලේ තුළ තියෙනවා. මේ ප්‍රවාහයට තමයි වම නායකත්වය දුන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී වමටත් අභයගිරියටත් නොතේරෙන දේ තමයි ලංකාවේ පොළොව. ඒ හින්දා අභයගිරි විකෘතියේ ප්‍රතිඵලය තමයි දැන් තියෙන බුදු දහම. වමේ විකෘතිය තමයි ජාතිවාදය.

ලංකාවේ වර්තමාන භික්ෂු දේශපාලනය ගැන ඔබගේ විග්‍රහය කොහොමද?

ඓතිහාසික වශයෙන් ලංකාවේ භික්ෂු සමාජයේ  දේශපාලන කාර්යභාරය දශකයකට අවසන්. උන්වහන්සේලාගේ භික්ෂු කාර්යභාරය දැන් ලංකාවේ අවසන්. ඒක උන් වහන්සේලා තේරුම් ගන්න ඕන දෙයක්. තේරුම් නොගන්න නොගන්න වෙන්නේ උන්වහන්සේලා අගතියට පත්වෙන එක පමණයි.  ලාංකික භික්ෂු ව්‍යාපාරය රාහුල තෙරිඳු ඉඳලා මාදුළුවාවේ සෝභිත හිමි දක්වාම එන්නෙ මහාසීල පරම්පරාවක් වැඩ සිටි සමයේ. ඒ සමයේ භික්ෂූන් දේශපාලනය කිරීම එච්චර ලොකු අවුලක් වෙන්නේ නැහැ, මොකද ඒ වෙලාවේ මහසීල තපෝ ආඥාවෙන් මේක තුළනය වුණා. දැන් අපි දකිනවා අපේ මහනායක පරම්පරාවේ ඉඳලා එහෙම මහා තෙරලා නැහැ. ඒක මේ යුගයේ පතිරාජලා ලෙස්ටර්ලා නෑ වගේ එකක්.

Social Sharing
නවතම සාකච්ඡා