මගේ අවනඩුව කියන්න කෙනෙක් නැහැ – රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

තමන්ට සිදුවූ අසාධාරණය අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නොමැති බවත් තමන්ට වගේම ත්‍රස්තවාදය නිසා තමන්ගෙ ස්වාමිපුරුෂයො, දරුවො, ඥාතීන් අහිමිවුනු පිරිස් ගණනාවක් සිටින නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්න මානව හිමිකම් කතාකරන පිරිස් ඉදිරිපත් නොවීම පිළිබදව කණගාටුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ  වැලිවේරිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකය අභියස පැවැති හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 13 වන ගුණානුස්මරණ අවස්ථාවට එක්වෙමිනි.

2008 අප්‍රේල් මස 07 දා වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනයේ පැවති ගම්පහ අවුරුදු වසන්ත උදානයේ මැරතන් තරඟය ආරම්භ කිරීමට පැමිණි එවකට අමාත්‍යවරයෙකුව සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය වුයේ ඔහුව ඉලක්ක කර ත්‍රස්තවාදීන් විසින් පුපුරවා හැරු බෝම්බ ප්‍රහාරයකට ලක් වීමෙනි.  තවත් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත් වු අතර විශාල පිරිසක් තුවාල ලැබුහ.

සිය සැමියාගේ ගුණානුස්මරණ කටයුතු සිදු කළ අමාත්‍යවරිය තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මානව හිමිකම් පිළිබදව කතාකරන පිරිස් දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් නමුත් තමන්ට සිදුවූ අසාධාරණය අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නොමැති බවත් උසාවියේ නඩුව විභාගවන නමුත් එහි තීරණය කුමක්වුවත් තමන්ට අහිමි වුණු තමන්ගෙන් උදුරාගනු ලැබූ ජීවිත නැවත නොලැබෙන බවය.

රටේ සියලුම දේශපාලන නායකයින්ට කියන්නේ එකට එකතුවෙලා මේ රට දරුවන්ට දරුවන්ගෙ දරුවන්ට ආරක්ෂා කරදිය යුතුබැවින් මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් එකතුවෙලා සකස්කළ යුතු බවද ඇය පවසයි.

-ශානි-

 

Social Sharing
නවතම