වතු කම්කරුවන්ගේ සටන ජයගනියි!

වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද  සම්මත වී ඇත.

දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම  පසුගිය වසර පහක කාලය තුළදී  ඉටු නොවී තිබූ වකවානුවක මෙය ඉටු කිරීමට ලැබීම සතුටක් බව කම්කරු අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක් වූ, වතු කම්කරු ජනතාවගේ ජීවිත වඩා උසස් තත්වයකට ගෙන ඒම සඳහා  රජය වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ  වැඩ පිළිවෙල ක්‍රියාත්මක විය.

මෙම වතු කම්කරු වැටුප වැඩි කිරීම සදහා වතු හාම්පුතුන් සහ වෘත්තිය සමිති සමඟ  සාකච්ඡා වට දාහතරකට ආසන්න සංඛ්‍යාවක් පැවැත් විය. එහි දී බොහෝ   වතු සමාගම් නියෝජිතයෝ හා වතු හාම්පුතුන් එම ඉල්ලීමට  විරුද්ධත්වය පළ කළ අතර, විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම වැළැක්වීමට උත්සාහ කළහ.

නමුත් අවසානයේ තේ හා රබර් කර්මාන්ත සඳහා වන නව පඩිපාලක සභා දෙකක් පත්කර, පසුගිය පෙබරවාරි 8 වැනිදා වතු කම්කරු ජනතාවට දෛනික වැටුප රුපියල් 1000ක් ලබාදීමේ තීරණය එම පඩිපාලක සභා දෙක විසින් ගනු ලැබූහ. ඉන්පසු ඒ සඳහා  විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඒ  පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ දී තිබුණි. එහිදි මෙයට විරුද්ධව පෙත්සම් 187 ක් ලැබී තිබුණි. පසුගිය සතියේ එම පඩිපාලක සභා දෙක කැඳවුවද ඊට හාම්පුතුන්ගේ පැත්තෙන් ප්‍රමාණවත් සහභාගීත්ව නොතිබූ බැවින්, නැවත එම පඩිපාලක සභා දෙක කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අද ( 01)දින රැස් කරනු ලැබීය.

අද එම පඩිපාලක සභා දෙක රැස් වී හාම්පුතුන්ගේ විරෝධතා මැද බහුතර එකඟතාවයෙන්  අවසාන තීරණය ගනු ලැබූ බවත්, ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඉතා කඩිනමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින්  ප්‍රකාශයට පත් කරන බව ද  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙම තීරණයත් සමඟම මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න සිය ශ්‍රමය වගුරන ලක්ෂ දෙකකට ආසන්න වතු කම්කරු ජනතාවකට විශාල ප්‍රතිලාභයක්, සහනයක් සැලසෙන බව අමාතයවරයා වැඩිදුරටත් පවසයි.

-ශානි-

Social Sharing
නවතම