රංජන්ට සිර දඬුවම් විඳින්න සිදුවුනේ ඔහු සීමාවන් ඉක්මවා ගිය නිසයි! – චමල්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ වගකීම්, යුතුකම් හා සීමාවන් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, රංජන් රාමනායක මන්ත්‍රීවරයාට සිර දඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ තම සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කරන්නට යෑමෙන් බවත් වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

වසර 35 ක පාර්ලිමේන්තු දිවිය තුළ තමන් කිසි විටෙකත් අධිකරණය සම්බන්ධ කටයුතු වලට අනවශ්‍යය මැදිහත් වීම් සිදුකර නොමැති බවත් එවැනි වැරදි කරන්නේ නම් ඔවුන්ට දඬුවම් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ මහතා කීය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (12) පැවැති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පමණින් අධිකරණයට අපහාස කිරීමේ හැකියාවක් නොමැති බවද ඒ මහතා කීය.

මෙයට පෙර එස්.බී දිසානායක මහතාටද අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුවම් විඳීමට සිදුවූයේ යැයි හෙතෙම අවධාරණය කළේය.

දිවයිනේ පිහිටි සියලුම වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

මහා වාරිමාර්ග, සුළු වාරිමාර්ග හෝ පළාත් සභා ආදී භේදයෙන් තොරව සෑම ග්‍රාමයක්ම ආවරණය වන පරිදි මෙම වැව් ප්‍රතිසංස්කරණය කරන බවත් එහි සම්බන්ධීකරණය වෙනුවෙන් මේ වන විට කමිටු පත් කර ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැව් ප්‍රතිසංස්කරණයේදී දේශීය අරමුදල් සහ දේශීය දැනුම භාවිතා කිරීම ප්‍රමුඛ කර ගන්නා අතර  එහි සමාරම්භය මෙම වර්ෂයේ පෙබරවාරි මස 04 වන දින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සිදු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

වැව් ප්‍රතිසංස්කරණය කිරීම භාර ගන්නා පුද්ගලික කොන්ත්‍රාත්කරුවන්  වැලි ගොඩ දැමීම, ගස් කැපීම, මැණික් ගැරීම වැනි අනවසර ක්‍රියා සිදුකිරීම හේතුවෙන් අපේක්ෂිත සංවර්ධන කාර්යය සිදු නොවන අතර ඊට විකල්පයක් ලෙස රාජ්‍ය යන්ත්‍රෝපකරණ ආයතනය, යුද හමුදාව ඇතුලු රජය සතු  අංශවල දායකත්වය ද මේ සදහා යොදා ගන්න බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රිකයේ ග්‍රාමීය ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නිමිත්තෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා  මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලී සහ ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්,නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු මහජන නියෝජිතයන් හා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Social Sharing
නවතම