විදෙස්ගත ශ්‍රමිකයින්ද මනුෂ්‍යයෝය..

අතීතයේ අපේ ප්‍රධාන විදේශ විනිම උල්පත් ලෙස සැලකනු ලැබුවේ කෘෂි බෝග අපනයනයයි. එය මුලින්ම තේ, රබර්, පොල්වලට සීමා වූ අතර, පසුව ඊට කුරුදු, ගම්මිරිස්, සාදික්කා ඇතුලු කුළු බඩු ද ඇතුලත් විය. නමුත්, මේ තත්ත්වය ජේ.ආර් ජයවර්ධන යුගයෙන් අසුව වෙනස් විය. ඔහු ඇති කළ ඇති කළ ආර්ථික ප්‍රථිසංස්කරණ හේතුවෙන් කෘෂි බෝග අපනයන අභිබවා සංචාරක කර්මාන්තය, ඇඟලුම් හා විදෙස්ගත ශ්‍රමිකයින් විසින් උපයන මුදල් අපගේ රටට ප්‍රධාන විදේශ විනියම උපයන මාර්ගයන් බවට පත් විය.

මින් විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ගෘහ සේවයේ යෙදෙන අපගේ වනිතාවන් විසින් උපයන ආදායම ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමයෙන් හරි අඩකඩත් වඩා වැඩි විය. 2019 අග භාගය වන විට ශ්‍රී ලාංකිකයන් මිලියන 1.8 ක් විදේශයන්හි සේවය කරන බවට වාර්තා වූ අතර, මෙම ශ්‍රමිකයින් විසින් 2019 වර්ෂයේදී පමණක් මෙරට ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක දායකත්වයක් ලබාදී ඇත.

මිලියන 1.8 ක් වූ විදේස්ගත ශ්‍රමිකයින්ගේ අඩකට ආසන්න ප්‍රමාණයක් මැද පෙරදිග රටවල සේවය කරනු ලබන අතර ඉන් වැඩි ප්‍රථිශතයක් එහි ගෘහ සේවිකාවන් ලෙස සේවය කරනු ලබයි. ඒ අතින් බලන කළ පසුගිය දශකය තුළ ලංකාවේ පිරිමින් නඩත්තු කර ඇත්තේ, ඇගලුම් කාර්මාන්තයේ හා විදෙස් ගත ගෘහ සේවයේ යෙදී සිටින ශ්‍රී ලංකික ග්‍රාමීය කාන්තාවන් (සිංහල, දෙමළ, මුස්ලිම්) විසිනි. විශේෂයෙන් මුස්ලිම් විරෝධී හා ආරාබිය අරහං, ඊනියා ජාතිකත්වයක් ගැන පම්පෝරිගහන පිරිමින් මේ සම්බන්ධව ලැජ්ජා විය යුතුය.

ඒ කෙසේ වෙතත්, අප එසේ නඩත්තු කළ ඒ ග්‍රමීය අහිංසක ගෑනු ටික අද ජීවිතයත් මරණයත් අතර සටනක පැටලි සිටී. මෙසේ මැද පෙරදිග සේවය කළ සේවිකාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් තමන්ගේ වීසා අවසන්වීම හෝ සේවා ගිවිසුම් අහෝසිවීම හේතුවෙන් නීත්‍යනුකූල නොවන අන්දමින් කාලයක් තිස්සේ විවිධ ස්ථානයන් හි සේව කර තිබුනි. එය ශ්‍රී ලංකාවත්, එම රටවලුත් දන්නා රහසකි. මෙසේ නීත්‍යානුකූල නොවන සිටින අයගෙන් කිසිදු කොන්දේසියකට යටත් නොවී, අඩු වැටුපට සේවය ලබා ගත හැකි නිසා ඔවුන්ට එසේ ඉන්නට නිල නොවන අයුරින් අවස්ථාව සලසා තිබුනි.

අද කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ බරපතලම අවධානමට ලක්වී සිටින්නේ මෙම සේවක පිරිසයි. වසංගතය උත්සන්න වීමත් සමග එරට එතෙක් ක්‍රියාත්මක නොවූ  නීතිය වහා ක්‍රියාත්මක වූ අතර, කිසිදු සොයා බැලීමකින් තොරව මේ සේවක පිරිස් මහ මහගට විසිකර දමා තිබේ. මෙම වසංගතයෙන් ගැලවී සිටීමට අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොව ජීවත්වීමට සදහා සුදුසු තැනක් හෝ ආහාර පාන සොයා ගැනීම පවා ඔවුන්ට අද විශාල ගැටලුවක්ව තිබේ.

වත්මන් රජය පත්කිරීම සදහා විශාල දායකත්වයක් සැප යූ මෙම ශ්‍රමිකයින් හා ලක්ෂ 25කට වැඩි ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් සම්බන්ධව රජයේ අවධානය තවමත් එතරම් යොමු වී ඇති බවක් නොපෙනේ. 2020 අප්‍රේල් මාසයේ පමණ සිට මෙම ශ්‍රමිකයින් නැවත සිය රටට පැමිණීම සදහා විශාල වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වේ. තමන් වහාම සිය රටට ගෙන්වා ගන්නා ලෙසට රජයට ඇවිටිලි කරමින් විවිධ ක්‍රියාමාර්ග ගත් මෙම ශ්‍රමිකයින් පසුව සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලබන ඉතා සංවේදී විඩියෝ ඔස්සේ ද තමන්ගේ දුක් ගැනිවිලි ඉදිරිපත් කරමින් සිටී.

පොදුවේ කොවිඩ් වසංගතය තත්ත්වය හමුවේ විදේස් ගත බොහෝ ශ්‍රමිකයින් ගේ රැකියාවන් මේ වන විට අහිමි වී ඇති නමුත්, මින් වීසා බලපත්‍ර රහිතව සේවය කළ සේවක, සේවිකාවන් විශාල ගැටලුවකට මුහුණ දී සිටී. ඉන්න හිටින් තැනක් හෝ මූලික පහසුකම් හෝ නොමැතිව ඔවුන්, තානාපති කාර්යාලයන් ඉදිරිපිට හා විවිධ පොදු ස්ථානයන් හි ඉතාමත් අනාරක්ෂිතව රැඳී සිටීන බව වාර්තා වේ.

පසුගිය කාල සීමාව තුළ රජය විසින් මෙසේ අසරණව සිටි පිරිසෙන් තිස්දහසක පමන කොටසක් ගෙන්වාගෙන ඇති බවට වාර්තා වුවත්, තවත් 90,000ක ට ආසන්න පිරිසක් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

මේ වනවිට කොවිඩ් ආසාදනයෙන් ශ්‍රී ලංකාව තුළ මිය ගිය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක්, එනම්, 300කට අධික පිරිසක් කොවිඩ් වසංගතයට හේතුවෙන් විදේශගතව සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් පිරිසක් ඇතිවන පීඩනයන් දරාගැනීමට නොහැකිව හටගන්නා මානසික ආතතිය හේතුවෙන් සියදිවි නසාගන්නා තත්වයට පත්ව ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයට විසින් රටන් පිටවන විට සෑම සේවකයෙකු සදහා රක්ෂණය ආවරණයක් ලබා ගැනීමත් අනිවාර්ය කර තිබුනි.  එම රක්ෂණයත් මෙම කාර්‍යාංශයේ ඇති අනෙකුත් අරමුදල් ද භාවිතකර ඔවුන් වහාම ගෙන්වා ගැනීමට හැකියාව තිබිය දී  රට විරුවන් යැයි ඔවුන් රවටමින් තව දුරටත් ඔවුන්ගේ හිස මත අං තට්ටු පැලදීම පිළිබදව නම් අපි සියලුම දෙනා ලැජ්ජා විය යුතුය.

මෙම බොහෝ ශ්‍රමිකයින් මාස අටක් දහයක් පමණ තිස්සේ තම රටට පැමිණීම සදහා ඉල්ලුම්කර තානාපති කාර්යාල පොරොත්තු ලේඛන වල සිටිනු බව වාර්තා වේ. මේ අයට අඩුම තරමේ තමන්ට ලංකාවට පැමිණිය හැක්කේ කුමන් දිනයකද යන්න හෝ දැන ගත හැකි ක්‍රමවේදයක් අදාල බලධාරීන් නොදන්වන නිසාත්, නිරන්තරයෙන් පැමිණ ඒ පිළිබදව සොයා බැලීමට සිදුවන නිසා, හැකියාවක් ඇති කෙනාට පවා එදිනෙදා වේල සොයා ගැනීම අපහසුවී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වැඩිම අවධානමට ලක්වී සිටින ශ්‍රී ලාංකික පිරිස ලෙස සැලකිය හැකි මෙම පිරිස් දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ, අන්ත අසරණව සිටින තත්ත්වයක් තුළ දශකයකට වැඩි කාලයක් ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් අපව නඩත්තු වූ බව හෝ සිහිපත් කරමින් ඔවුන් වහා ගෙන්වා ගැනීමට රජයේ පමණක් නොව මුලු රටේම, විශේෂයෙන් ශ්‍රී ලංකික පිරිමින්ගේ අවධානය මීට වඩා යොමු විය යුතුව ඇති බව සිතමි.

පිලිප් දිසානායක

Social Sharing
නවතම