පුවත්පත් මණ්ඩලය කියන්නේ මොකද්ද? කුමක් සඳහා ද? – නීතීඥ විරංජන හේරත්

මේ වනවිට ආණ්ඩුව ප්‍රකාශ පත් කරලා තියෙනවා ඔවුන් විසින් කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා කියලා 1973 ස්ථාපිත කරන ලද පුවත්පත් මණ්ඩල පනත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යයටත් බලපාන පරිදි සංශෝධනය කරන්න. මෙතනදී පැහැදිලි නැහැ කුමක්ද මෙහි අදහස කියලා. නමුත් අපි දන්නවා පුවත්පත් මණ්ඩල පනත ක්‍රියාත්මක වෙන්නේ, පුවත්පත් නියාමනය කිරීම සහ ඊට අදාල ආචාරධර්ම පවත්වාගෙන යෑම, මාධ්‍ය නිදහස පවත්වාගෙන යෑම ආදී වශයෙන් වූ වචනවලට මුවා වෙලා. මෙමගින් පුවත්පත් නියාමනය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. පුවත්පත් මණ්ඩලයක් ඒ සඳහා හඳුන්වා දී තිබෙනවා. ඉතින් මේ සංශෝධනය කුමන ආකාරයට ක්‍රියාත්මක වෙනවාද කියන එක පැහැදිලි නැති වුණත් මේ පැවසෙන ආකාරයට අපට පෙනී යන්නේ මේ පුවත්පත් මණ්ඩලය යම් සංශෝධනයක් කරල සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආවරණය කිරීමේ අවස්ථාවක් ලබාදෙන්න තමයි මේ හදන්නේ. ඒ අර්ථයෙන් මෙහි තිබෙන බලතලවල පුලුල් කිරීමක් තමයි මේ කරන්න හදන්නේ.

මෙතන තියෙන ගැටලුව තමයි මේ පුවත්පත් මණ්ඩල පනත කියන එක මොකක්ද කියලා අපි හරියට අඳුරගෙන තිබෙනවද කියන කාරණය. මේක හරි සරලව ගත්තොත් 1973 ගෙනාපු පනතක්. 1973 වෙනකොට කිසිම මාධ්‍යයක් තිබුණෙ නැහැ පුවත්පත් හැර. ගුවන් විදුලිය රාජ්‍ය මට්ටමින් තිබුණා රූපවාහිනිය තිබුණෙ නැහැ, සමාජ මාධ්‍ය තිබුණෙ නැහැ. ඉතින් පුවත්පත් සඳහා ගෙනාපු පනතක් ඒ විදිහටම පොඩි සංශෝධනයකින් සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය වලට අදාල කරගන්න පුලුවන්ද කියන කාරණය මූලිකවම බලපානවා මෙතනදි. ඇත්තටම එහෙම බැරි කාරණා ගොඩක් තියෙනවා මේ පනත ඇතුලේ. අදහස මෙයනම් එය නොගැලපෙන බව තමයි කියන්න තියෙන්නේ. සුළු සංශෝධනයකට මෙය යටත් කරගන්න බැහැ. ඒ වගේම මේ පනත ගත්තම මෙහි ගොඩක් ගැටළුකාරී තැන් තියෙනවා.

අපි තියෙන අයහපත් ලක්ෂණ ගැන කතා කරනවා නම් පුවත් පත් මණ්ඩලයක් පවත්වා ගෙනයෑම ප්‍රධානයි. මේ පුවත්පත් මණ්ඩලයට පුද්ගලයන් [සාමාජිකයන්] 7 දෙනෙක් පත් කරනවා. එක්කෙනෙක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා. සෙසු හයදෙනා පත් කරන්නේ ජනාධිපතිවරයා. එයින් එක් පුද්ගලයෙක් මාධ්‍යවේදීන් නියෝජනය වෙන්නත්, අනිත් කෙනා මාධ්‍ය සංවිධාන නියෝජනය වෙන්නත් පත් කරනවා. නමුත් මේ හය දෙනාම පත් කරන පත්වීම් බලධාරියා වෙන්නේ ජනාධිපතිවරයා. ඊළඟට අපි දන්නවා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිළ බලයෙන් පත්වෙන බව, ඔහු එම තනතුරට පත්කරන්නේ කවුද? ඔහු පත්කරන්නේ ජනාධිපති. ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන හයදෙනෙකු, රජයේ නිලධාරියෙකුගෙනුත් සමන්විත රජයේ මණ්ඩලයක් තමයි මේ මණ්ඩලය අවසන් විග්‍රහයේදී. ජනාධිපතිවරයා විසින් පත් කරන මණ්ඩලයක් කියලා කියන්නත් පුලුවන්.

එතකොට පැමිණිලි විභාග කිරීම, අදාළ තීන්දු තීරණ ගැනීම, සියල්ල කරන්නේ රජය විසින් නැත්තන් ජනාධිපති විසින් පත් කරන ලද මණ්ඩලයක්. ඉතින් ඒ වගේ මණ්ඩලයකට විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පාලනය කරන්නට නියාමනයට ඉඩදීම කොච්චර දුරට මාධ්‍ය නිදහස පැත්තෙන්නො ගැලපෙන කාරණාවක් ද කියන එක අපි අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැ. ඒ වගේම අපි පනතට අදාලව තියෙන වගන්ති දිහා බැලුවොත් මෙහි එක වගන්තියක සඳහන් වෙනවා මෙහි නියෝග, ඒ කියන්නේ පුවත්පත් මණ්ඩලය මගින් සිදුකරන නියෝග/නියෝගයක් අවසනාත්මක නියෝගයක් කියලා. එහි අදහස තමයි මේ නියෝගය වෙනත් කිසිදු අධිකරණයක ප්‍රශ්න කරන්න බැහැ කියලා කියන එක. එහෙම අභියාචනා ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙන ක්‍රමයක් මේක තුළ නැහැ. ඒ වගේම අවසානාත්මක නියෝග දෙන්න පුළුවන් මණ්ඩලයකට මේ වගේ මාධ්‍ය නියාමනය බාර කරන එක කොච්චර දුරට සාධාරණ ද?

ඊළඟ කාරණාව, මේකට පුළුවන් එක්තරා ආකාරයකට තියෙන වැරදි සම්බන්ධයෙන් තම තමන්ට ඉදිරිපත් වෙලා හරි, නැත්නම් ලැබෙන පැමිණිලි මත හරි නඩු ආරම්භ කරන්න සහ විභාග කරන්න. පැමිණිලි විභාග කිරීමේ බලයේ දී ඔවුන්ට අවස්ථාව තියෙනවා යම් යම් නියෝග දෙන්න, වැරදිකරුවන් බවට පත් කරන්න පුද්ගලයින්ව, තීන්දු තීරණ ක්‍රියාත්මක කරගන්න නියෝග දීමේ බලයක් තියෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් සදාචාරයට විරුද්ධ දෙයක් සම්බන්ධයෙන් පුවත්පතක යම් තොරතුරක් ලිපියක් විශේෂාංගයක් පළ වුණොත් ඒ සම්බන්ධයෙන් වැරදි දෙයක් වෙලා නම් එය සම්බන්ධයෙන් නිවැරදි කිරීමේ නියෝගයක් නිකුත් කරන්න පුළුවන්. ඒවගේම ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දෙන්නත් පුලුවන්. එතනදී කියනවා මේ මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යන්නේ දිසා අධිකරණයක බලතල සහිතව කියලා.

මේ මණ්ඩලයට දෙන්න පුලුවන් දඬුවම් ගැන තවත් කතා කළොත්, සිරදඬුවම් නියම කිරීමේ බලය [වසර දෙකකට නොවැඩි] එහෙම නැත්නම් රුපියල් 5000 කට නොවැඩි දඩයක්, එහෙම නැත්නම් මේ දෙකම හෝ නියම කිරීමේ බලය මේ පනත මගින් මේ මණ්ඩලයට තියෙනවා. ජනාධිපතිවරයා පත් කරන මණ්ඩලයක් වීම, මේ වගේ බලතල තියෙන එක, තීන්දු තීරණ ගැන අභියාචනය කරන්න බැරි වීම, වැනි කාරණා එක්ක බලනකොට අපිට පෙනෙන්න ඕනෑ මේ පනත තිබෙන දරුණු ස්භාවය ගැන. මේ මණ්ඩලය දෙන නියෝගවලට අවනත නොවුනොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් සේ සලකා කටයුතු කිරීමට අවස්ථාව තියෙනවා. අපි දන්නවා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම වුවත් විධිමත් ලෙස නීති පද්ධතියකින් ස්ථාපිත කළ තත්ත්වයක් නෙමෙයි. එයට දෙන දඬුවම ගැන උනත් නිශ්චිත නීතියක් නැහැ. ඉතින් එහෙම පසුබිමක් ඇතුලේ මම පැහැදිලි කළේ සරලවම අපට හඳුනා ගන්න පුළුවන් අඩුපාඩු සහ තියෙන දුර්වලතා.  ඒ වගේම මාධ්‍ය නිදහසට අහිතකර බවට හඳුනා ගන්න පුලුවන් තැන් කිහිපයක්.

ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහසට, මාධ්‍ය නිදහසට, බලපාන ඒවා අහිමි කරවන තත්ත්වයන් මේ පනත ඇතුලෙ තියෙනවා. සමස්තයක් විදිහට ගත්තහම මේ පනත යල්පැනගිය ඉතා පැරණි අදට නොගැලපෙන පනතක්. ඉතින් පුවත්පත් සඳහා 1973 ගෙනාපු මේ වගේ පනතක් අද විද්‍යුත් මාධ්‍යයටත් අදාළ වෙන පරිදි, ඒ වගේම සමාජ මාධ්‍යයටත් අදාළ වෙන පරිදි, යම් සංශෝධන කිහිපයක් ගෙනල්ලා සංශෝධනය කිරීම තුළ තියෙන්නේ, හොඳකට වඩා අනතුරක්. ඒ නිසා මගේ ස්ථාවරය නම් මේ පනත සංශෝධනය කිරීම නෙමෙයි කළ යුත්තේ අහෝසි කිරීමයි කරන්න අවශ්‍ය. එතනදි මම අදහස් කරන්නේ නැහැ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතු නැහැ කියලා, එහෙම නැතිනම් යම් නියාමනයක් තිබිය යුතු නැහැ කියලා. මාධ්‍ය සඳහා යම් නියාමනයක් තිබිය යුතුයි. හැබැයි එය මාධ්‍ය සංවිධාන පැත්තෙන්, මාධ්‍යවේදීන්ගේ පැත්තෙන්, මාධ්‍ය නියෝජිතයන්ගේ පැත්තෙන් පුළුල් නියෝජනයක් සහිත, ස්වයං නියාමනයකට මුල් තැන දෙන, ඒ වගේම එම තීන්දු තීරණ ක්‍රියාත්මක වෙන මණ්ඩලයක් විය යුතුයි. අද ලෝකයේ බහුලව භාවිතා කරන්නේ ඒ වගේ මණ්ඩල, මාධ්‍ය නියාමන කටයුතු සඳහා. ඉතින් මේ වගේ සංකල්පයකට යොමු වෙන එක තමයි රජය විසින් සිදු කළ යුත්තේ. එහෙම නැතුව යල්පැන ගිය නීති යළි යථාවත් කිරීම මේ අවස්ථාවේ තියෙන මාධ්‍ය නිදහසත් අහෝසි කිරීමක් මිස මාධ්‍ය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලුවලට විසඳුමක් නෙවෙයි.

Social Sharing
නවතම විශේෂාංග