ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් මිලියන 36 ක් පාඩු ලබයි?

ලිට්රෝ ගෑස් ලංකා සහ ලිට්රෝ ටර්මිනල් සමාගමේ විගණන කටයුතු විගණකාධිපතිවරයා හරහා සිදු කර නොමැති බව කෝප් කමිටුව පවසයි.

මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදි රැස් විය. එහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ය‍ටතේ ක්‍රියාත්මක වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ටර්මිනල් ලංකා යන ආයතනයන් විගණකාධිපතිවරයාගේ දැනුම් දීම නොසලක‍ා පුද්ගලික ආයතනයක් හරහා විගණන කටයුතු සිදු කිරීම පොදු ව්‍ය‍ාපාර පිළිබඳ කාරක සභාවේ (‍කෝප්) අවධානයට ලක්විය.

එම ආයතන දෙකට අදාළ විගණන කටයුතු සිදු කිරීමට විගණකාධිපතිවරයාට බාධාවක් නොමැති බව නීතිපතිවරයා විසින් උප‍දෙස් ලබා දී තිබු අතර, ඒ බව විගණකාධිපතිවරයා විසින් ලිඛිතව එම ආයතනවලට දන්වා තිබියදීත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මත පමණක් පදනම්ව KPMG නම් පුද්ගලික ආයතනයක් හරහා විගණන කටයුතු සිදු කර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විගණන කටයුතු විගණකාධිපතිවරයා විසින් සිදුකරනු ලැබූවද එම සංස්ථාවට 99.94% කොටස් හිමි ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ 100% කොටස් හිමි ලිට්රෝ ටර්මිනල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයන්හි පමණක් විගණන කටයුතු පෞද්ගලික ආයතනයක් මගින් සිදුකර ගැනීම විමතියට කාරණයක් බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදි  අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තීරණය කිරීම හේතුවෙන් පෞද්ගලික අංශයේ සමාගමක් මගින් සිදු කර ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවය.

විශේෂයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතින අනෙකුත් පරිපාලන සමාගම් සඳහා ද ඉදිරියේ දී මෙම තත්ත්වය අහිතකර ලෙස බලපෑම් කළ හැකි බැවින් රජයට අනුබද්ධ ආයතන සුරැකීම සියලු දෙනාගේම වගකීම වන බවත් ඒ අනුව නීතිපතිවරයාගෙන් මේ සම්බන්ධව කෝප් කමිටුව විසින් කරුණු විමසා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මගින් ඒ බව දැනුම් දීමට කටයුතු කරන බවත් මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපතේ තිබූ ශාඛා වසා දැමීම හේතුවෙන්  රුපියල් මිලියන 36 ක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු කෙරුණි.

මේ අතර ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ මාලදිවයින් සහ සීෂෙල්ස් දූපත් ශාඛා වසා දැමීමට හේතු පාදක වූ කරුණු, එම ශාඛාවන් විවෘත කිරිම සහ වසා දැමීම සඳහා සංස්ථාවට දැරීමට සිදු වූ මූල්‍යමය අලාභ හා වියදම පිළිබඳව කඩිනම්න් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වෙත දන්වන ලදී.

ශානි

(කෝප් කමිටු වාර්තාව ඇසුරෙනි)

Social Sharing
නවතම