ගුවන් විදුලි සංස්ථා සීතල අර්බුදය!

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා  ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (11 ) පස්වරුවේ දැනුම් දුන් පුවත අද (12) මාධ්‍ය රැසක වාර්තා කර තිබුණි.

ඊට ආසන්නතම හේතු ලෙස සඳහන් වී තිබුණේ නුවරඑළිය, උඩරදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගැනීමය.

පෞඩ ඉතිහාසයක්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිල වෙබ් අඩවියට අනුව ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි විකාශනාගාරය වූ “කොළඹ ගුවන් විදුලිය” 1925 දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කර ඇත.  ඉන් පසු එය දිවයින පුරා විකාශනයක් ලෙසින් පුළුල් විණි.  1949 දී එයට ‘ලංකා ගුවන් විදුලිය’ නැතිනම් ‘රේඩියෝ සිලෝන්’ යන විකාශන නම ලැබුණු අතර, වෙනම රජයේ දෙපාර්තමේන්තුවක් ලෙසින් සංවිධානය කෙරිණි.

පසුව 1967 දී මෙම විකාශන දෙපාර්තමේන්තුව, 1966 අංක 37 දරණ ලංකා ගුවන් විදුලි සංස්ථා පනත මගින් රාජ්‍ය සංස්ථාවක් බවට පත් කරන ලදී. 1972 දී ‘ලංකා’ යන්න ‘ශ්‍රී ලංකා ජනරජය’ බවට පත් වුණු අතර, ඒ මගින් ලංකා ගුවන් විදුලි සංස්ථාවටද සිය නම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත් කරන්නට සිදුවිණි. එතැන් සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) රජයේ සංස්ථාවක් ලෙසින් තමන්ගේ තිබූ නෛතික පරාසය තුලම වැඩකටයුතු සිදුකරගෙන ගිය අතර, එය වර්තමානයේදී ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ලැයිස්තුගත කොට ඇත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ජාතික ගුවන් විදුලි විකාශනයන් 7 ක්, ප්‍රාදේශීය ගුවන් විදුලි විකාශනයන් 6 ක් හා ප්‍රජා ගුවන් විදුලි විකාශනයන් 4 ක් පවත්වා ගෙන යයි.

වර්තමාන ගැටලුව

නමුත් ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් පවසන පරිදි මෙතැන ගැටලුව ඇත්තේ සභාපතිවරයාගේම පමණක් නෙවේය. වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේත් ගැටලු රැසක් මෙහි ඇත. මොවුන් දෙදෙනාගේ පුද්ගලික මත ගැටුම් නිසා මේ වන විට ගුවන් විදුලි සංස්ථාවේද සේවකයින් බෙදී ගොස් සිටියි.

මේ දෙපාර්ශවයම විසින්ම එකිනෙකාට මඩ ගසා ගසමින් එකිනෙකාගේ දුෂණ / වංචා / අක්‍රමිකතා  හෙළි කරන අතර ඊට සමාජ මාධ්‍යද රැසක් යොදා ගනිමින් සිටින බව අනාවරණය වේ.

අධ්‍යක්ෂ ජනරාල්

ගුවන් විදුලි සංස්ථාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා වන්නේ චන්ද්‍රපාල ලියනගේ මහතාය. මොහු 2012 වසරේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අයෙකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඇමැති මණ්ඩලයේ මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද අනුමැතියෙන් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් මේ පත්වීම කර තිබුණි.

1994 වර්ෂයේ රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුවට එක් වී ඇති මොහු ප්‍රවෘත්ති නිලධරයකු හා මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් වෙළෙද හා වාණිජ, තැපැල් හා විදුලි සංදේශ ජනමාධ්‍ය හා වෘත්තීය පුහුණු යන අමාත්‍යංශවල ද ජනාධිපති කාර්යාලයේ ද සේවය කළ අයෙකි. ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උපදේශක වරයෙක් ලෙසද කටයුතු කර ඇත. මොහු රාජපක්ෂ පාලන සමයේ රූපවාහීනි සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර ඇති අතර එහිදී සිදු වු මුල්‍ය අක්‍රමිකතා රැසක් නිසා ඉන් ඉවත් කර ඇත.

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා සිය පත්වීම ලබා ගන්නේ 2019 දෙසැම්බර් මාසයේදීය. ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ බලන සභාපති රමණී ගුණවර්ධන මහත්මිය අතිනි.

2020 වසරේදී මොහුට එරෙහිව ගුවන් විදුලි සේවිකාවකගෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි. ඒ ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලු බවටය. නමුත් චන්ද්‍රපාල මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

මොහුට පෙර රෝහණ දේව පෙරේරා මහතා අධ්‍යක්ෂකධුරයේ සිටි අතර ඔහුව ඉවත් කෙරුණි

සභාපති

අද වනතුරු ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වූයේ විශාරද ජගත් වික්‍රමසිංහ මහතාය. විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාර ගත්තේ 2020 පෙබරවාරි මාසයේදීය.   ඔහු ගැනද ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් තුල ඇත්තේ යහපත් ප්‍රතිරූපයක් නොවේය.

මන්ද මොහු සභාපති වු පසු ගුවන් විදුලි සංස්ථාවේ තිබු පෞරාණික වටිනාකමින් යුත් පියානෝ තුනක් අලුත්වැඩියා කිරීමට යැයි පවසා ගෙන යාමත් පසුව බාල පියානෝවක් ගෙනවිත් තැබීමත් පිලිබඳ සේවකයින් දැඩි අප්‍රසාදය පළ කර සිටියි.

එමෙන්ම රියදුරෙකු සමඟ වාහනයක් ලබා දී තිබියදී එය ප්‍රතික්ෂේප කර තමන්ගේ වාහනයෙන් සේවයට පැමිණ මාසිකව ඉන්ධන දීමනාවක් ලබා ගැනීම පිලිබඳව ඇත්තේද කථාන්දර රැසකි.

සීතල යුද්ධය

කෙසේ නමුදු සභාපතිවරයාත්, අධ්‍යක්ෂ ජනරාල්වරයාත් එක් වී ගුවන් විදුලි සංස්ථාව ගොඩනංවනවා වෙනුවට මේ වන විට ඇත්තේ එළාර දුටු ගැමුණු යුද්ධයකි. මොවුන් විවිධ සමාජ මාධ්‍ය වෙත ලිපි යවමින් ඒකිනෙකාගේ දුෂණ හෙළි කරන අතර ඉන් අවසානයේ පීඩාවට පත් වන්නේ සංස්ථාවේ සේවය කරන අහිංසක සේවකයින්ය.

මොවුන්ගේ සීතල යුද්ධයට මැදිව මේ වන විටත් සේවකයින් දඩයමට ලක් වෙමින් ඇත.  වත්මන් අධ්‍යක්ෂක ජනරාල්වරයා සභාපතිවරයාට මඩ ගසන්නේ නෙලුම් මාවතේ පිහිටි ප්‍රබල පක්ෂ කාර්යාලයක ලිපිනයකිනි. ඒ බව මේ වන විට තහවුරු වී ඇත.

මෙලෙස දිනෙන් දිනම ගුවන් විදුලි සංස්ථාව අගාධයට ඇද දමන මෙම පුද්ගලයින් දෙදෙනොගෙන් එක් අයෙකුට පමණක් දඩුවම් ලබා දීම සුදුසු නැති බවත් මේ සමස්ත හානියට දෙදෙනාම වගකිව යුතුව ඇතැයිද ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් අවධාරණය කර සිටියි.

තවදුරටත් මෙහි ගැටුම් ඇති නොකර වහාම ජනාධිපතිවරයා මෙම ගුවන් විදුලි සංස්ථාව සුරක්ෂිත කිරීමට අවැසි පියවර ගත යුතුව ඇත්තේය.

-ශානි-

Social Sharing
නවතම