පොලීසියේ නම කැත කරන පොලිස් නිලධාරීන් සොයා වැටලීම්!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිත පොලිස් නිලධාරීන් සොයා මේ දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඊයේ (14) දිනයේ පමණක් දකුණු පළාතේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

සැබවින්ම දූෂිත පොලිස් නිලධාරීන් රැසක් වර්තමානය වන විට පොලිසිය අරක් ගෙන සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත් නීතිය ක්‍රියාත්මක කරන මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. මේ නිසා මහජනතාවට පොලීසිය කෙරෙහි ඇති විශ්වාසය බිඳි යමින් ඇත.

මාව අන්දන ලෑස්ති වෙන්න එපා

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වැනි පොලිස්පතිවරයා වන වර්තමාන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතා පහුගියදා අපුරු කථාවක් කර තිබුණි.

ඒ ෆේස්බුක් එකෙන් වැඩ පෙන්වන්නේ පොලීසියේ බොරුකාරයන් බවත් සැබෑලෙස වැඩකරන්නන්ට ෆේස්බුක් එකේ ඇලී ගැලී සිටීමට කාලයක් නොමැති බවත්ය.

තමාව රැවටීමට කිසිසේත්ම සූදානම් නොවන ලෙසත් තමාව රවටන්නන් හදුනා ගැනීම අපහසු නොවන බවත් ඒ අයට පොලිස් පොතෙන්ම පිළිතුරු දීමට තමා හොඳාකාරවම දන්නා බවත් පොලිස්පතිවරයා එහිදී වක්‍රාකාරයෙන් දැනුම් දී ඇත.

කොළඹ 07 ටොරින්ටන් හී පිහිටි අපරාධ ලේඛනාගාර දේශන ශාලාවේදී  කොට්ඨාශභාර පොලිස් ප්‍රධානීන්ගේ හමුවකදී පොලිස්පතිවරයා ඒ බව සදහන්කර ඇත.

නිල ඇඳුමේ ගෞරවය රැක ගන්න

එමෙන්ම ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද වරෙක පවසා තිබුණේ මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම්, ගස් කැපීම්, ගණිකා මඩම්, වැලි ගොඩ දැමීම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවනවා නම් එම පළාත් භාර උසස් පොලිස් නිලධාරීන් නිල ඇඳුමක් ඇඳ සිටීම පිලිබඳව ලැජ්ජාවිය යුතු බවය.

“තමා රාජකාරී කරන ප්‍රදේශ වල විවිධ බලවේග වලට යටත් නොවී, තමාගේ නිල ඇඳුමේ ගෞරවය රැකගැනීමට මේ නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවීමට ඉඩදෙන්න එපා. මේ සිදුවන වැරදි වලින් ඒ පළාත් වල සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා සියළුම පොලිස් නිලධාරීන්ට තමන්ගේ අත් සෝදා ගන්න බෑ. ඒ සියළු දෙනාම අදාල පළාත් වල අපරාධ වැඩිවීමට වගකිව යුතුයි. ” ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා පොලීසියේ සියළුම පළාත් නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා පැවති විශේෂ සාකච්ඡාවකදී වැඩිදුරටත් පවසා තිබුණි.

පොලිසියේ නම කැත කල ඇත්තෝ

පොලිස් දෙපාර්තමේන්තුවේ දුෂිත පොලිස් නිලධාරීන් ගැන කථා කිරීමේදී එයට කදිම ඉතිහාසයක් ඇති බව බොහෝ දෙනා දන්නේ නැත. මේ අතර හිටපු පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ගෙදර යාමට සිදුවිය.

1998 වසරේ සැත්තැම්බර් 01 වැනිදා විසිහය වැනියා ලෙස පොලිස්පති ධුරයට පත් වන ලකී කොඩිතුවක්කු මහතා  2002 වසරේ අගෝස්තු 27 වැනිදා රෝගී තත්වයක් හේතුවෙන් මිය යන්නේ තවත් වසරක කාලයක් සේවයේ නිරත වීමට අවකාශ තිබියදීය.

ඔහුගේ අභාවයෙන් පසු පොලිස්පතිධුරයට පත්වන්නේ ටී.ඊ. ආනන්ද රාජා ය.

නමුත් ඔහුට  2003 වසරේ ඔක්තෝම්බර් 14 වැනිදා  පොලිස්පතිධුරයෙන් විශ්‍රාම ගැනීමට සිදු විය. ඒ සේවා දිගුවකින් තවත් වසරක් පොලිස් සේවයේ රැදී සිටීමට තිබුණු අවස්ථාවද අහිමි කරගනිමිනි. ඊට හේතු වුයේ ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටියදී මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ දියණියකගේ උපන්දින සාදයකට සහභාගි වූ බවට එකල මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා වූ පුජිත් ජයසුන්දර හෙළි කිරීමත් සමඟිනි.

මේ අතර 2009 වසරේදී 32 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වූයේ මහින්ද බාලසුරිය මහතාය. 2011 වසරේ මැයි මාසයේදී පොලිස්පතිධුරයෙන් ඔහු ඉල්ලා අස්වන්නේ එකල පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඔහුට ඉල්ලා අස්වන ලෙස කළ නියෝගයකට අනුවය. ඒ තවත් වසරක කාලයක් පොලිස්පතිධුරය දැරීමට අවස්ථාවද අහිමි කර ගනිමිනි. ඔහු ඉල්ලා අස්වන්නේ ආණ්ඩුව බේරාගන්නටය. ඒ පෞද්ගලික අංශයේ සේවකයන්ට ඉදිරිපත් කළ විශ්‍රාම වැටුප් යෝජනාවලියට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් අතින් රොෂේන් චානක නැමැති තරුණයා වෙඩි වැදීමකට ලක්ව මිය යෑමත් සමඟ රට පුරා පැන නැඟුණු ජනතා විරෝධය නිසාය.

එන්.කේ. ඉලංගකෝන් පොලිස්පතිධුරයට පත් වන්නේ මහින්ද බාලසූරියගේ හිඩැසටය. ඒත් එක්කම මහින්ද බාලසූරියට ලැබෙන්නේ බ්‍රසීලයේ තානාපතිකමය.

1962 හමුදා කුමන්ත්‍රණයේ ප්‍රබල චරිතයක් වුයේ එකල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වු සී.සී. දිසානායකය. ඔහුගේ කුමන්ත්‍රණයට මුලින් එක් වී පසුව සියල්ල තොරතුරු හෙළි කළේ කොළඹ පොලිස් අධිකාරි ස්ටැන්ලි සේනානායක මහතාය. පසු කලෙක ඔහු පොලිස්පතිධුරයට පත් විය. නමුත් එදා සි.සි. දිසානායක සමඟ තවත් උසස් පොලිස් නිලධාරින් දස දෙනෙකු එම කුමන්ත්‍රණයට වැරදිකරුවන් විය.

පොලිසියේ නම කැත කළ ඉහළ නිලධාරින් ගැන එදා අසන්නට ලැබුණේ කලාතුරකිනි. එහෙත් වර්තමානය වන විට එය එසේ නොවේය. ඉකුත් වසර පහ තුල පමණක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලින්ම අත්අඩංගුවට පත් වන්නේ 2013- 06- 10 වෙනි දින එකල බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් තුණවර්ධනය. ඒ 2013 මැයි 22 දා මොහොමඩ් සියාම් නැමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරිමේ චෝදනාවටය.

ඊළඟට අත්අඩංගුවට පත් වුයේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකය. ඒ රගර් ක්‍රිඩක වසීම් තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරිමේ චෝදනාවටය. ඒ 2016 මැයි 23 දාය.

බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති පෙස රාජකාරි කළ ප්‍රසන්න නානායක්කාරද අත්අඩංගුවට පත් වන්නේ මාධ්‍යවේදි ලසන්ත වීරතුංග ඝාතනයේ තොතරතුරු වසන් කිරිමේ චෝදනාවටය. පසුව ඔහු ඇප මත නිදහස් විය.

මේ අතර උතුර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි ලලිත් ජයසිංහව අත්අඩංගුවට ගනු ලබන්නේ යාපනයේ විද්‍යා දැරිය සමුහ අතවරයට ලක් කර ඝාතනය කළ ප්‍රධාන සැකකරුට පලා යාමට සහාය දුන් බවට චෝදනා ලබමිනි. ඒ 2018 ජුනි 15 දාය.

වන්නි දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති යු.කේ. දිසානායක පොලිස් අත්අඩංගුවට පත් වන්නේ නිධණ් හෑරිමේ චෝදනාවකටය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා 2018-10-25 අත්අඩංගුවට ගනු ලැබුයේ මාකඳුරේ මධුෂ් සමඟ එක් වී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලෙක්ම් (වර්තමාන ජනාධිපති) ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමට සැලසුම් කළ බවට චෝදනා ලබමිනි.

එමෙන්ම අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා අහිසංක තරුණ්‍යින් දෙදෙනෙකු මරා විට ඔහුවද අත්අඩංගුවට පත් වු අතර මේ වන විට ඔහු සිටින්නේ කොළ නැති ගහේය.

2019- 2020  වසරේ මේ ගොඩට එක් වුයේ රහස් පොලිසියේ අධ්‍යක්ෂකව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හා සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සිල්වාය. ඒ ආණ්ඩු පෙරළියත් සමඟිනි.  ශානි අබේසේකර ට චෝදනා රැසක් එල්ල වී ඇති අතර මේ වන විට ඔහු සිටින්නේ බන්ධනාගාර ගතවය. නිශාන්ත සිල්වා මෙරටින් පලා ගොස් ඇත.

මේ පොලිසියේ දුෂිත යැයි නම් ප්‍රසිද්ධ වී ගෙදර ගිය හා අත්අඩංගුවට පත් වූ කිහිප දෙනෙකු පමණි.  තවත් බොහෝ අය මේ අතර සිටිති. මොවුන් මේ සියලු දුෂිත ක්‍රියාවන් කරනු ලබන්නේ, කර ඇත්තේ තම නිල ඇඳුමේ බලය අයූතු ලෙස භාවිතා කරමිනි.

Social Sharing
නවතම