“පිළිකා කාරක ආහාර” සම්බන්ධයෙන් අපි සමාජයක් විදිහට තවමත් සංවේදී නැහැ. – නිමල් ද සිල්වා

Small farmers in Sri Lanka

විසිවෙනි සංශෝධනය තුළින් ඇති කරපු වෙනස්කම් වගේම අලුත් ඉඩම් ප්‍රතිසංස්කරණ වැසටහනකුත් දියත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය කෘෂිකර්මාන්තය කෙරෙහි ඇති කරල තියන බලපෑම කොයි වගේද?

අපේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආහාර නිෂ්පාදනය ගත්තහම සියයට හැත්තෑවක් විතර නිෂ්පාදනය කරන්නේ සුළු ගොවීන්. ලංකාවේ තත්ත්වයත් එයමයි.  මහා පරිමාණ ගොවීන් නෙවෙයි සමස්ත ආහාර නිෂ්පාදනය කරට අරන් තියෙන්නේ.

නමුත් මේ සුළු ගොවීන් කියන ප්‍රජාව සම්පූර්ණයෙන් මෙම ක්‍රියාවලිය තුළ අතහරැලා තිබෙනවා. සුළු ගොවීන් අතාරිනවා කියන්නේ, මහා පරිමාණ ජාවාරම්කාරයන්ට මේකේ ඉඩම් විශාල වශයෙන් දෙනවා කියන්නේ, ඒකෙන් අපේ ආහාර ප්‍රශ්නයට ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා.

මොකද ඒ වගාව නිර්මාණය කරන්නේම බහු භෝග වගාවක් නෙමෙයි ඒක භෝග වගාවක්. එතකොට මේ ඒක බෝග වගාවට රසායනික වගේම ජාන වෙනස් කරපු බෝග තමයි වගාකරන්නේ. එතකොට ඒව තමයි ඉදිරියේදී කන්න වෙන්නෙ.

උදාහරණයක් විදියට මේ වෙද්දි ලංකාවේ කැවෙන්ඩිෂ් (Cavendish) කියන කෙසෙල් වර්ගය වගා කරනවා Dole කියන සමාගම මගින්. මං හිතන්නේ අක්කර හැටදාහක් විතර මේ වෙනකොට පොළොන්නරුව සහ මොණරාගලින් දීලා තියෙනවා.

එතකොට මේ එක කෙසෙල් පඳුරක්වත් ස්වභාවික විදියට හැදෙන ඒවා නෙමෙයි. හිටවපු දවසේ ඉඳන් මොටෙයියගෙ ඉඳලා ලොකුවෙනකම්ම තනිකරම ලෝකයේ නරකම කෘමිනාශක වර්ග ටික තමා පාවිච්චි කරන්නේ. නරකම බැර ලෝහ තියෙන පොහොර වර්ග ටික තමා පාවිච්චි කරන්නේ.

මේ කෙසෙල් ගෙඩියේ එක කළු ඩොට් එකක්වත් නොඑන්න ඉතා බහුලව රසානික පාවිච්චි කරනවා. එච්චරටම හානිදායක තත්ත්වයක් එක්ක තමයි වවන්නෙ. මේ වගේ ඒක-බෝග වගාවට යන්න තමයි මේ සැලසුම් කරගෙන යන්නෙ. මං හිතන්නේ ඒක තමයි විසිවන සංශෝධනය හරහා ඒගොල්ලො උත්සාහ කරන්නේ.

තමන්ට තනි බලය තියෙන සුළු ගොවීන් අතහැරලා ලංකාවෙ නොවන මහා පරිමාණ බහුජාතික සමාගම්වලට මේ භූමිය ලබාදීලා ලෝක ජනතාවට තනිකර රසායනික මිශ්‍ර බැර ලෝහ මිශ්‍ර ආහාර රටාවක් හුරු කරන්න තමයි මේ උත්සාහ කරන්නේ.

උදාහරණයක් විදියට අපි ඉන්නෙ ගාල්ලෙ දිස්ත්‍රික්කයේ, මේ අවට ප්‍රධාන රෝහල තමයි කරාපිටිය. කරාපිටි‌යෙ හැදෙනවා තට්ටු නමයක වකුගඩු රෝහලක්. දකුණු පළාතට අදාළ ගාල්ල දිස්ත්‍රික්කයේ මෙච්චර විශාල ප්‍රමාණයේ වකුගඩු රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද? මොකද මේක වියළි කලාපයේ වගාවන් කරන ප්‍රදේශයක් නෙමෙයි. අඩුවෙන්ම රසායනික පොහොර, කෘමිනාශක පාවිච්චි කරන ප්‍රදේශයක්.

එවැනි ප්‍රදේශයක මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් මෙච්චර තට්ටු නමයක රෝහලකට වකුගඩු රෝගීන් ගෙන්න ගන්න, ඒක වෙන්නේ මේ බහුජාතික සමාගම්වලින් අපේ ආහාරවලට එකතු කරන රසායනික නිසා. මේ බැර ලෝහ අපේ ජනතාව භුක්ති වින්ඳම ආහාර විදිහට ගත්තාම අනිවාර්යයෙන් ඒ ගොල්ලෝ දන්නවා (බහුජාතික සමාගම්) මේකට මේ වගේ රෝහලක් ඕනේ කියලා.

ඒ වගේම පිළිකා රෝහලේ තට්ටු 5ක ගොඩනැගිල්ලක් පහුගිය දවස්වල විවෘත කළා. ඒ වගේම දැන් තව තට්ටු පහක ගොඩනැගිල්ලක් හදනවා. අද පිළිකා රෝගීන් වැඩිවෙලා තියෙන්නෙ මේ අපි කන ආහාර නිසා. මේ ආහාරවලින් අපි කොච්චර පිළිකාකාරක දවසකට අපේ ශරීරයට ඇතුළු කර ගන්නව ද කියන කාරණය ඉතා බරපතළ දෙයක්. අපි සමාජයක් විදිහට තවමත් මේ ගැන සංවේදී නැහැ.

විසිවෙනි සංශෝධනය මඟින් සුළු ගොවීන් විනාශ කරල, ලංකාවේ බහුජාතික සමාගම් වලට ඈඳගන්න පුළුවන් ගොවීන් පිරිසක් අනාගතයේ බිහි කරන්න පාර කපන්න තමයි විසිවෙනි සංශෝධනය හරහා මේගොල්ලෝ ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරමින් දැන් උත්සාහ කරන්නෙ.

වෙනදා වන සංරක්ෂණයට, මහවැලියට, අයිති වාරිමාර්ග ඉඩම් පවා මේ වෙනකොට දිසාපතිට බලය පවරලා තියෙනවා. ඒ අනුව තමන්ගේ කොට්ඨාශයේ ඉඩම් ටික ඕන කෙනෙකුට විකිණීමට, බදු දීමට ඕනෑ දෙයක් කරන්න දිසාපතිට බාර දීල තියෙනවා. ඒකෙන් වෙන්නෙ අපේ තියෙන ගොවි පනත සහ කුඹුරු ඉඩම් පනත සම්පූර්ණයෙන් වෙනස් කරනවා.

දැන් කුඹුරු ඉඩම් පනතට අනුව දකුණු පළාතේ විශේෂයෙන් කියන එකක් තමයි කුඹුරු ගොඩ කිරීමට බැහැ. හැබැයි මේ වෙනකොට ගාල්ල දිස්ත්‍රික්කය පවා කාණු කපල කාණු වල මාළු ඇති කරනවා. කන්ද ගහලා ඒකේ බහුජාතික සමාගම් වවන ඔය කැවෙන්ඩිස් වගේ කෙසෙල් වවන්න පටන් අරගෙන තියෙනවා.

ප්‍රධාන මැති ඇමතිවරු මැදිහත් වෙලා මේකට උදව් කරන්නේ. එතකොට අර පනත සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතිං ඒ සඳහා ගොවීන් සංවිධානය විය යුතු අවස්ථාවක් තමයි මේක.

අපි දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. විවිධ අයිතීන් ගැන කතා කරනවා. වස විසෙන් තොර ආහාරයක් ගැනීමත් මිනිසෙක්ගේ අයිතියක්. ජීවත්වීම සඳහා මිනිහෙකුට තියෙන අයිතිය හා සමානවම තියෙන අයිතියක් තමයි වැඩි කල් ජීවත්වෙන්න පුළුවන් ආහාර වේලක් ගන්න එක. ලෝකය පුරාම දැන් ඒ අයිතිය උල්ලංඝනය වෙමින් තියෙනවා. ලෝකේ අනිත් රටවල් මේ අයිතිය ගැන කතා කරනවා. නමුත් ලංකාවෙ එහෙම සාකච්ඡාවක්වත් නැහැ නේද?

ඔව් ඉතින් ගැටළුව වෙන්නේ ලංකාවේ අපි කන ආහාර පිළිබඳ, එම ආහාර ආනයනය සම්බන්ධයෙන් අණපනත් ගොඩක් තියෙනවා. උදාහරණයක් හැටියට ලංකාවට සහල් ගෙන්නනවා නම් ඒ පිළිබඳ ප්‍රමිතියක් තියෙන්න ඕනේ. ලංකාවේ වැඩිපුරම මේ වෙනකොට ජනගහනය සියයට හැත්තෑවක් විතර පාවිච්චි කරන්නේ පාන් පිටි. පාන් පිටි සඳහා වෙනමම නිකුත් කරපු ගැසට් නිවේදනයක් තියෙනවා.

ඒ ගැසට් නිවේදනයේ පැහැදිලිව තියනවා ලංකාවට ගෙන්වන පාන් පිටි වල තිරිඟු පිටි තිබෙන්න ඕනෑ. හැබැයි මේ වෙනකොට ලංකාවට ගෙන්වන පාන් පිටි වල තිරිඟු තියෙනවද කියලා ගැටලුවක් තියෙනවා. මොකද මේ දවස්වල ITI ආයතනය මැදිහත් වෙලා පාන් පිටි වල ප්‍රමිතිය පිළිබඳ සහතිකයක් ගන්න උත්සාහ කරනවා, මේකෙ තියෙන්නෙ මොනවද කියලා පරීක්ෂා කරලා.

මට දැනගන්න ලැබුණු හැටියට දැනට කාර්මික තාක්ෂණ ආයතනයට හොයාගන්න බැරි වෙලා තියෙනවා මේකෙ තිරිගු අංශු කොච්චර තියෙනවද කියලා. එච්චරට හානිදායක පිටි වර්ගයක් තමයි අපිට තිරිඟු පිටි කියලා එවන්නේ. හැබැයි ගැසට් එකේ තියෙනවා පැහැදිලිව තිරිගු පිටි ගෙන්වනවා නම්, ඒකෙ ග්ලූටන් කියන රසායනිකය 2%කට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙන පාන් පිටි ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම සපුරා තහනම් කියලා.

හැබැයි මේ වෙනකොට අපිට තියෙන තොරතුරු අනුව දැන ගන්න තියෙන දේ තමයි ලංකාවට ගෙන්වන පාන් පිටිවල සියයට 8ක් 12ක් පමණ ග්ලූටන් තියනවා. එතකොට මේ ග්ලූටන් කියන එක ඉතාම හානිදායක විදිහට දියවැඩියාව වගේ ලෙඩ හැදෙන්න බලපානවා. ඒක කෑවොත් අනිවාර්යෙන්ම කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා දියවැඩියාව වර්ධනය වෙනවා.

මේ වෙනකොට කුඩා ළමයිනුත් 14% -15% මට්ටමට දියවැඩියා රෝගයට ගොදුරු වෙලා තියෙන්නේ. උදේ ආහාරයට කිරි පිටි දීලා ඊලඟට පටන් ගන්නේ පාන් පිටි මිශ්‍ර ආහාරයක් තමයි කෙටිකෑම විදිහට.  උදේට ඉස්කෝලෙ ළමයින්ගේ ආහාර රටාව මේක. එතකොට රජයේ නියාමන ආයතන කිසිම නියාමන ක්‍රමවේදයක නැහැ. එතකොට ඒක ගෙන්වන ආයතනවල මුදල් වලට යටවෙලා ග්ලූටන් 2% කියන එක සියයට 8ත් 12ත් අතර තියෙන පාන් පිටි තමයි ගෙන්වන්නේ. නියාමනය කරන ආයතන වල තියෙන දුර්වලතා ඇතුලේ මේකට හැඩගැහෙන්න අපි පාරිභෝගිකයා හැටියට විශාල වැඩපිළිවෙළක් හදන්න වෙලා තියෙනවා.

නමුත් පාරිභෝගික සංවිධාන තිබුනට දැන් පාරිභෝගික අධිකාරිය තිබුනට පී.එච්. අයි. මහත්වරු හිටියට මේවා නියාමනය කරන වැඩ පිළිවෙල ඇණහිටලා තියෙන්නෙ. මොකද පහළ මට්ටමේ නිලධාරීන්ට මේක කරන්න බැහැ. ඉහළම දේශපාලන බලවතුන් එකතුවෙලා තමයි මේ විදියට ගෙන්වන්නෙ.

ඒ සඳහා ලොකු කැම්පේන් එකක් කරන්න වෙනවා. අපට වෙනවා ජනතාව දැනුවත් කරන්න. ජනතාව මේ පිළිබඳව දන්නේ නැහැ. ජනතාවට පාන් පිටි ගෙනත් දුන්නම ඒක තමයි පාන් පිටි කියලා හිතාගෙන පාවිච්චි කරනවා. හැබැයි ලංකාවේ ජනතාව කන්නේ පිටි කියලා ගෙන්වන තිරිඟු පාන් පිටි නෙමෙයි. මේ වගේ හානිකර පිටි වර්ගයක්.

ඊළඟ උදාහරණය ගත්තොත් තවත් ගැසට් නිවේදනයක් ගැන කියන්න පුලුවන්. මං මේ ගැසට් නිවේදන වල තියෙන ආහාර ගැන ටිකක් කතා කරන්නේ. තව ගැසට් නිවේදනයක් තියෙනවා කහටගස්දිගිලිය උසාවියෙන් දීපු තීන්දුවක් අනුව ගහපු. කහටගස්දිගිලියේ විදුහල්පතිවරයෙක් නඩුවක් කිව්වා.

ඔහු නඩුව දැම්මේ ලෝකයේ හැම රටකම අවුරුදු 5 ට අඩු අයට භාවිතය තහනම් කියලා ලේබලයක් ගහලා මාගරින් විකුණනවා නම් ඇයි අපේ රටේ නැත්තෙ කියලා.. මේ නඩුව දිනුවා. උසාවිය තීන්දුව දුන්නා, දීලා මේක ගැසට් එකක් හැදුවා, අවුරුදු 3ට අඩු අයට භාවිතය තහනම් කියන ලේබලය නැත්නම් මේ මාගරින් එක විකුනන්න තහනම් කියලා. හැබැයි මාසයක් දෙකක් ඒ ලේබල් එක තිබුණා. දැන් කිසිම වෙළඳපලේ විකුණන මාගරින් එකක මේ අවුරුදු 3ට අඩු අයට භාවිතය තහනම් කියන ලේබලය නැහැ.

අපේ කුඩා ළමයි ඉතා බහුලව මේ මාගරින් පාවිච්චි කරනවා. ඉතින් අපි මාගරින් හැටියට ගත්තම මේක විවිධ කර්මාන්තවලට පාවිච්චි කරනවා. අපේ තියෙන නිෂ්පාදන වලදී. මේ සේරම අවුරුදු 3ට අඩු අය ඕනි තරම් පාවිච්චි කරනවා. එතකොට මේක සහගහන අපරාධයක් නෙවෙයිද?.

හැබැයි මේවට සෞඛ්‍ය අමාත්‍යාංශය, පාරිබෝගික සේවා අධිකාරියවත් මේවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගැසට් නිවේදන ඔහේ පල් වෙවී තියෙනවා. ගැසට් නිවේදනය ගැන කතා කළොත් ඒ ගැසට් නිවේදනය අද වෙනකම් එළිදරව් කරන්නවත් බැරි වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ. සම්මත කරන්න බැරි වෙලා තියෙනවා.

2001 අවුරුද්ද වෙනකොට ලෝකයේ ස්වභාවික සෝයා ඇට අහෝසි වුණා. ජාන තාක්ෂණයෙන් සමහර එළවළු වර්ග අපට ආවට දැන් මේ ජාන විකෘති කරලා තමයි ලෝකයේ සොයා හැදුවේ. ඒ හදන්නේ ආහාර සඳහා නෙමෙයි ඉන්ධන සඳහා.

ඒ නිසා ඒ සොයා හදන සමාගම් කියනවා මේක සතෙකුටවත් කන්න දෙන්න එපා කියලා. හැබැයි ඒ සෝයා ටික අපි ගෙනල්ල අපි ඒකෙන් ත්‍රිපෝෂ, සමපෝෂ, යහපෝෂ හදනවා. ත්‍රිපෝෂ කුඩා ළමයින්ට සහ ගැබිනි මව්වරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරලා නොමිලේ බෙදා දෙනවා. මේ සතෙකුටවත් කන්න එපා කියන සෝයා. එතකොට මේක ළදරුවාගේ කාලේ ඉඳන් මේ කට්ටියට සතෙකුටවත් කන්න එපා කියන්න සෝයා අඩංගු ත්‍රිපෝෂ ටික තමයි බෙදන්න.

එතකොට මේ පිළිබඳ ලොකු කතිකාවක් ඇති වෙන්න ඕනේ. මේ පිළිබඳ ගැසට් නිවේදනය 2001 පාර්ලිමේන්තුවට ගෙනාවේ. අද වෙනකම් මේක කිසිම කෙනෙක් සම්මත කරන්න උනන්දුවක් දැක්වුවේ නැහැ. ඕනෑ කමක් ඇත්තෙත් නැහැ. මෙච්චර හානිදායක විදිහට ළමයිට මේක දෙනවා. මේ තුළ තමයි විශාල විදිහට පිළිකාකාරක ළමයින්ට ඇතුළු වෙන්නේ.

එතකොට මේ කුඩා ළමයට නොමිලේ බෙදාදෙන ත්‍රිපෝෂ ඇතුලේ ඉතා විශාල පිළිකාකාරක තොගයක් තියෙනවා. මොකද සතෙකුටවත් කන්න එපා කියන එකෙන් අපි මේක හදන්නෙ. මේ ගැන කතිකාවතක් ඇති වෙලා නැහැනේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයවත් මේ ගැන කතා කරන්නේ නැහැ.

මේ ගැසට් පත්‍රය සක්‍රීය කරගන්න වැඩපිළිවෙලකට ජනතාව පෙළ ගස්වන්න ජනතාව දැනුවත් කළ යුතු වෙනවා. මේ ආහාර ගැන පවතින ගැසට් නිවේදන ඕනෑ තරම්. හැබැයි ඒ එකක්වත් ක්‍රියාත්මක කර ගන්න ජනතාව දැනුවත් වෙලා නැහැ. ඉදිරි කාලෙදි මං හිතන්නේ ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළක් අපි සෑදිය යුතු වෙනවා. ගොවියෝ සහ සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්න.

වස-විසෙන් තොර දේශීය ආහාර ප්‍රචලිත කරන්න සෑහෙන කාලයක් වෙහෙසිලා වැඩ කරන කෙනෙක් විදිහට කොහොමද මේ පවතින ලංකාවේ ආණ්ඩුව හරි රජයේ ආයතන හරි මේවට දක්වන සැලකිල්ල සහ දායකත්වය, ඒ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

රජයේ සහයෝගයක් නැතිව මේක ජනතාව අතරට අරන් යන්න පුලුවන්ද? අපි ස්වාධීනව ස්වේච්ඡාවෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. අපිට තේරුණා මේ යන වැඩපිළිවෙළ ඇතුලේ අපේ වෙළඳපොල තුළ දැනට තියෙන ඕනෑම සහල් වර්ගයක්, විශේෂයෙන් වියළි කලාපයේ වවන සහල් වර්ග ගත්තොත් සෑම සහල් වර්ගයකටම අපේ ගොවිජනතාව ඉතා තදබල විදිහට රසායනික පොහොර පාවිච්චි කරනවා.

කෘමිනාශක, වල් නාශක, දිලීර නාශක පාවිච්චි කරනවා. ඒ නිසා අපේ පසේ ඉතා බරපතළ විදිහට ආසනික්, කැඩ්මියම්, රසදිය බහුලව තැන්පත් වෙලා තියෙනවා. දැනට අවුරුදු 9 කට විතර කලින් ආසනික් කියලා ලොකු කතාබහක් ඇති වුණා. මේක ජනගත වුණා.

ඒක එදා පාර්ලිමේන්තුවට පවා ගියා. ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ ඉන්න කාලෙ තමයි මේ සාකච්ඡාව ගියේ. එතකොට මහින්ද යාපා අබේවර්ධන කියන අද ඉන්න කථානායකතුමා තමයි කෘෂිකර්ම ඇමතිවරයා. හැබැයි පාර්ලිමේන්තුවට ගියා වුනත් මේකට විසඳුමක් දුන්නෙ නැහැ.

එයා කිව්වෙත් මාගරින්වල තියෙනවා බටර් වල තියෙනවා කිරිපිටි වල තියෙනවා සුදු සීනි වල තියෙනවා හාල් වල ආසනික් ටිකක් තිබුණට කමක් නෑ කියලා. මේක එතනින් යට ගහලා, ඊට පස්සේ පරීක්ෂණ කරපු පරීක්ෂණ කණ්ඩායම්වල ප්‍රධාන කණ්ඩායම්, ඒක නිකන් කොහෙවත් ඉන්න නාථ දෙවියන්ගේ පරීක්ෂණයක් හැටියට මේක ගෙනල්ලා, මේක ජනතාව අතර දියාරු කරල, මේ ප්‍රශ්නය අමතක කරල දැම්ම.

හැබැයි මේක මෙහෙම අමතක කරාට අද ලංකාවෙ (ගොවි ජනතාව) බහුතරයක් ජනතාව හාල් කන්නේ මේ රසායනික බැරලෝහ තියෙන හාල් ටික. මේ කතාව එන්න අවුරුදු ගානකට කලින් තමයි අපි අපේ දේශීය වී වල තියෙන වටිනාකම හොයාගත්තේ. ලංකාවෙ තියෙන පරණ (දේශීය) වී වල තියෙන ගුණාත්මකභාවය ගැන කතා කළොත් අද තියෙන හාල් කිලෝ දහයකට වඩා පරණ හාල් කිලෝ එකක් කෑවම ඇති.

ඒ නිසා අපි මේක බොහොම අමාරුවෙන් වී ඇට දෙක තුන එකතු කරලා, ගන්නොරුවේ මධ්‍යස්ථානයත් එක්ක එකතු වෙලා ඒ ගොල්ලන්ට බොහොම අමාරුවෙන් පින්සෙන්ඩු වෙලා ගෙනල්ලා තමයි අද ඉන්න තැනට ආවේ. මේ සහල් අද වෙනකොට ප්‍රචලිත වෙලා තියෙනවා. හැබැයි අපි ඒක පටන් ගන්න කාලේ 1985 විතර කාලේ.

ඒ කාලේ බොහෝ දෙනෙක් කිව්වේ අපිට පිස්සු කියලා. හැබැයි අපි එකක් සතුටු වෙනවා. බොහොම අමාරුවෙන් පැල කරපු මේ දේශීය වී වගාව කියන එක අද ජනගත වෙලා තියෙනවා. ලංකාව පුරා, ලෝකෙ පුරා මේ වී වල තියෙන වටිනාකම ගැන අද කතා කරනවා. මේ නිසා විශාල ප්‍රබෝධයක් ඇතිවෙලා තිබෙනවා.

හැබැයි රජය පැත්තෙන් ලොකු සහයෝගයක් දුන්නේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය ගත්තත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි දහස් ගාණක් නිලධාරීන්ගෙන් මේ වැඩේට කැමති වෙන්නේ. හැබැයි එයාලටත් තමන්ගේ ආයතන ඇතුළේ ලොකු කැපිලි තියෙනවා. එහෙම දෙයක් ඇතුළෙ තමයි අපි මේක කළේ.

පහුගිය කාලේ හිටපු කෘෂිකර්ම ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වීරකෝන් කියන මහත්තයා, එතුමා මේක කතා කරගෙන එනකොට ලොකු කතිකාවතක් ආවා. කොස් කොළ කන්න කිව්වා, ක්‍රෝටන් කන්න කිව්වා කියලා. හැබැයි එතුමාගේ සංකල්පයකට තමයි ලංකාව පුරා හෙළ බොජුන්හල් පටන් ගත්තේ. දේශීය ආහාර වස විස නැති ආහාර කියන සංකල්පය පටන් ගත්තේ.

අද ඒ දේශීය ආහාර කියන බොජුන් හල් ටික ලංකාව පුරා ඉතා ජනප්‍රිය වෙලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒක තව ශක්තිමත් කරගන්න පුළුවන්. ඒකට දේශීය සහල් ටික එකතු කරගන්න තාම හැකිවෙලා නැහැ.

ඒ වගේම එතුමා ඉන්න කාලේ පටන් ගත්තා මාකඳුරේ පරීක්ෂණ ගොවිපලක්. ඒක කාබනික ගොවිතැන් කරන පරීක්ෂණ ගොවිපලක්. ලංකාව පුරා ගොවීන්ට සහභාගිත්ව සහතික කරණය දෙන්න. මොකද කාබනික ගොවියකුට සහතිකයක් ගන්න ලොකු මුදලක් වියදම් කරන්න බැහැ. ඒ පුද්ගලයාට සම්පූර්ණ කාබනික ගොවිපලක් කරන්න බැහැ.

මොකද උඩ කුඹුරේ රසායනික ගහනවා නම් උඩ ඇලෙන් වතුර ටිකට රසායනික යනවා නම් එයාට සම්පූර්ණ පූර්ණ කාබනික ගොවිපළක් කරන්න බැහැ. හැබැයි වීරකෝන් මහත්මයාගේ අනුදැනුම යටතේ අපි යෝජනා කළා සහභාගීත්ව සහතික කියලා සහතික ක්‍රමයක්.

ඒක ඇතුලේ පාරිභෝගිකයන් පස්දෙනෙක් විතර සහතික කරනවා නම් එතුමා වගා කරන කොට කිසිම රසායනික පොහොරක්, කෘමි නාශකයක්, වල්නාශකයක්, පාවිච්චි කරන්නෙ නැහැ කියලා ඒ පාරිභෝගිකයන් පස්දෙන සහතිකය ප්‍රයෝජනයට අරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් යම් නිලධාරියෙක් ඇවිල්ලා එතුමා කුඹුරු පටන් ගන්න කාලේ ගොඩ ඉඩම පටන් ගන්න කාලේ පසේ තිබ්බ රසායනික සංයුතිය පරික්ෂා කර ගෙන යනවා.

එතකොට ඒක ක්‍රමයෙන් අඩු වෙච්ච බව ඒ ගොල්ලො තහවුරු කරල දෙනවා නම් ඒ ගොවියට සහභාගිත්ව සහතිකයක් දෙනවා. හැබැයි ඉතින් එතුමා විශ්‍රාම ගියාට පස්සේ ඒ සහභාගිත්ව සහතික කියන එක එහෙමම යට යනවා. ඒ වගේම මාකඳුරේ පර්යේෂණ ගොවිපළත් අඩාල වෙනවා.

එතැන වැඩ පිළිවෙල සම්පූර්ණ අවුල් කරනවා. ඊට පස්සේ සී.අයි.සී වැනි විවිධ සමාගම් මැදිහත් වෙලා දැන් අලුතෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හඳුන්වා දීලා තියෙනවා ගැප් කියලා සහතිකයක්. ඒකෙ තියෙන්නෙ රසායනික පෝර භාගයයි, කොම්පෝස්ට් භාගයයි. හැබැයි ඒ භාගය දෙකෙන් එකක් කියලා වෙන් කරලා නැහැ. සියයට 90ක් රසායනික ගහලා කොම්පෝස්ට් දහයක් ගැහුවත් එයාට ගැප් සහතිකය දෙනවා.

පොහොර සමාගම් වලට යටවෙච්ච තැනක තමයි ගොවිජන සේවා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉන්නේ. මේකට විරුද්ධව ලොකු කතිකාවතක් ඇති වෙන්න ඕනෑ. අපි රසායනික කෑවහම එයින් අපට කොච්චර හානියක් වෙනවාද කියන කාරණය ගැන නැවත කතිකාවතකට යන්න වෙනවා.

දැන් පහුගිය මෛත්‍රිපාල මහත්මයා ඉන්න කාලේ යම් කතිකාවතකට ගිහිල්ලා, මේ වස විස නැති රටක් කියන ලොකු සංකල්පයක් ඇති වුණා රතන හාමුදුරුවෝ මැදිහත්වෙලා. හැබැයි ඒක කරගෙන යන්න දුන්නේ නැහැ. අතරමග අඩාල කළා. බහුජාතික සමාගම් ඒක විනාශ කලා. දැන් අලුත් ආන්ඩුවට එවැනි වැඩපිළිවෙළක් නැහැ.

නමුත් ඒ වැඩපිළිවෙළ නැති වීම ඇතුළේ බහුජාතික සමාගම් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව වගේ ආයතනවල නියමුවන් විදිහට ඉන්නෙ. ඒකෙදි අදහස් දෙන නිලධාරීන් නැතිවෙලා මේක ආපහු යට ගහන තත්ත්වයක තමයි තියෙන්නේ.

දැන් මේ ආණ්ඩුව කොච්චර කතා කලත් දේශීයත්වය ගොඩනගනවා කියලා, දේශීය වගාවට රසායනික පොහොර නැතුව කරන වගාවට එහෙම ලොකු කතිකාවතක් ඇති වෙලා නැහැ. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ මේ ආණ්ඩුව ඇතුළේ එහෙම ලොකු වැඩකට යයි කියල. අපි කියන්නේ දේශීයත්වය ගොඩනගන වැඩපිළිවෙලක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ අපි කන ආහාර භෝග වගා කරන ගොවියාට යම් සහනයක් සලසා දිය යුතුයි. රසායනික පොහොර වලින් තොරව කොහොමද වගා කරන්න කියලා.

මට මතක හැටියට ගිය කන්නේ රසායනික පොහොර ගෙන්නන කොට පහුගිය මැයි මාසේ තුන්වෙනිදා, ඉරිදා ලංකාදීපයට දැනට පොහොර එකේ ඉන්න සභාපති මහත්තයා කියනවා මේ කියන පොහොර ටික ඒ මොහොතේ ගොවියා විසින් කුඹුරට දැම්මොත් දැනට තියෙන බෝ නොවන රෝග තව හතර පස් ගුණයකින් වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා.

හැබැයි එහෙම කියපු පොහොර සංස්ථාවේ සභාපතිතුමා ගිය කන්නයෙ වගේ තුන් ගුණයක් මේ සැරේ පොහොර ගෙන්න ගන්න උත්සාහ කරනවා. අපි ගොඩක් කටයුතු කරන්නේ ගොඩ වැඩි කරගන්න මිසක් එකේ ගුණාත්මක භාවය බලන්නෙ නැහැ.

ඒ නිසාම ගොවියා ගේ ආකල්පය හදන්නේ නැහැ, ගුණාත්මකභාවය ගොඩනඟන්න ඒක ඇතුල තමන්ට ඉතා වාසිදායක දේවල් තියෙනවා කියලා. තමන්ගේ නිෂ්පාදනය ගොඩක් ලොකු නොවුනට ඒක හොඳ මට්ටමට දෙනවනම් ඒකෙ වටිනාකම කලින්ට වඩා වැඩියි කියන එක තහවුරු කරගන්න කතිකාවතක් ඇති වෙලා නැහැ. අපේ සාමාන්‍ය මට්ටමේ ගොවියන්ට මේක අවබෝධ කරල දෙන්න අපිට හරි අමාරු වෙලා තියෙනවා.

 

Related posts