රටේ සම්පත් විකුණද්දී තමුන් කැබිනට් ප්‍රධානියා වෙලා උන්නා කියලා සිරිසේනට අමතක වෙලා! ‐ අමාත්‍ය මහින්දානන්ද

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අලෙවි කිරීමක් හෝ බදුදීමක් කිසිසේත්ම නොවන බවත්, ඒ පිළිබද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කොටස් වෙළඳපොල තුල ආයෝජනය කිරීම, බදු දීම සහ අලෙවි කිරීම යනු කාරණා තුනක් යැයි කී අමාත්‍යවරයා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නේ කුමන තීරණයක් ද යන්න පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නැතැයි ඊයේ (27) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම හා ව්‍යාපාරික වශයෙන් එය ගොඩනැගීම සිදුවිය යුතු යැයි කී අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ අදහස වන්නේ රාජ්‍ය සම්පත් අලෙවි නොකළ යුතුය යන මතය යැයි ද කීවේය.

යුද්ධයෙන් රට බේරාගත් අගමැතිවරයෙකු සහ ජනාධිපතිවරයෙකු සිටින මෙරට සම්පත් ආරක්ෂා කිරීම ඔවුන්ගේ එකම අභිලාෂය යැයි කී ඇමතිවරයා, හම්බන්තොට වරාය වසර දෙසීයක කාලයකට විකුණා දැමූ එක්සත් ජාතික පක්ෂය අද දේශීය සම්පත් විකුණා දැමීමට එරෙහිව හඬ නඟන බව ද කිවේය.

සම්පත් අලෙවිවන අවස්ථාවේ ඊට අනුමැතිය ලබා දීම සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  එදා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාව සිටි බවත් ඔහුට අද එය අමතකවී ඇතැයි ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම