ඇමැති චමල්ගේ “සිංහරාජ වැව්” කතාව වෙනස් වේ.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය මධ්‍යයේ වැව් දෙකක් කණින බව ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය දෙදිනක් ගත වීමටත් මත්තෙන් වෙනස් කිරීමට ජනපති, අගමැති වැඩිමහල් සොයුරු  වාරිමාර්ග අමාත්‍යවරයාට සිදුවී තිබේ.

ලෝක ජල දිනයට පෙර දිනයේ වීරකැටියේ පැවති උත්සවයකදී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසා තිබුනේ හම්බන්තොටට පානීය ජලය රැගෙන ඒම සදහා සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් බඳින්නට සිදු වන බවයි.

“දැන් අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. තව පොඩි අමාරුවක් තියෙනවා, මොක ද අපි කුඩා වැව් දෙකක් උඩහ බඳින්න වෙනවා. වතුර එක්කහු කරලා ගේන්න එපැයි. ඒක බඳින්න තියෙන්නේ, සිංහරාජ වනාන්තරය ඇතුළේ. සිංහරාජ වනාන්තරය ඇතුළේ තමයි, එක වැවක් අක්කර පහක් විතර.”

මෙවැනි වැව් දෙකක් ඉදිකිරීමේදී  වන සංහාරයක් සිදුවීමේ අනතුර පිළිබඳ අවබෝධයෙන් යුතුව අදහස් දැක්වු හිටපු කතානායකවරයා හෙළි කර තිබුනේ එය සිදු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බවයි.

“මේ වගේ වැව් දෙකක් බඳිනකොට කැලේ යට වෙනවා. එතකොට සිංහරාජ කලාපය අධිආරක්‍ෂිත කලාපයක්. ඇතුළු වෙන්න තියා ගහක කොළක ඇටයක් ඇහිඳගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් අපි ඒ අයත් එක්ක කතා කරනවා අපිට මේ වැව හදා ගන්න ඉඩ දෙන්න. එතන අක්කර පහ වෙනුවට අපි තව අක්කර පනහක්, හැටක්, සීයක් වනාන්තරය වගා කරලා දෙන්නම් කියන පොරොන්දුව පිට.”

එලි කරනු ලබන වැසි වනාන්තරය වෙනුවට ආර්ථික  වාසි සලසාගත හැකි  රබර් සිටවීමද ඔහුගේ යෝජනාවක් විය.

නමුත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මාර්තු 23 අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී  සදහන් කළේ සිංහරාජ වනාන්තරය මධ්‍යයේ නොව  ගිං ගඟේ පහළ දැනට ජනතාව පදිංචි වී සිටින කොටසේ අක්කර 5ක පමණ ජලාශයක් ඉදි කිරීමට සැලැස්මක් ඇති බවයි.

එම  සැලැස්ම පිළිබඳව අධ්‍යයනයක් කර විශාල හානියක් සිදුවනවා ද යන්න සොයා බලා එයට  යුනෙස්කෝ සංවිධානයේ අවසරය දෙන ලෙස ඉල්ලා ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුනි.

“නිල්වලා ගඟේ ගංවතුර ගැලීමත්, ගිං ගඟේ ගංවතුර ගැලීමත් නිසා විශාල හානියක් සිදුවෙනවා. ඒ වගේ ම දැනට අවුරුදු 90කට ඉස්සෙල්ලා විතර ඉඳන් කළු ගඟේ වතුරත් ගිං ගඟේ වතුරත් නිල්වලා ගඟේ වතුරත් ඊසාන දෙසට ගෙන යන සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තියෙනවා. නමුත් කිසි ම ආණ්ඩුවක් මේවා කරලා නැහැ.ඒ නිසා අද ජල පිපාසයෙන් පීඩාවට පත් වෙච්ච විශාල ජන කොටසක් ඉන්නවා. ඉතින් මේක කවදා හරි කෙරෙන්න ඕනේ. ගිං ගඟ ව්‍යාපෘතිය මං හිතන්නේ අවුරුදු ගාණකට ඉස්සෙල්ලා ඉඳලා තමයි සැලසුම් කරලා තියෙන්නේ. සිංහරාජ, මම දන්නවා සිංහරාජෙට ඒක ඉතාමත් ප්‍රශ්නයක්. නමුත් අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච යෝජනාවක්.”

එහිදී අමාත්‍යවරයා තව දුරටත්  සදහන් කර  තිබුනේ  ගිං ගඟේ පහළ කොටසේ වැවක් ඉදි කිරීමේ සැලසුමක් පවතින බවයි.

“ඒ යෝජනාවල තියෙනවා ගිං ගඟේ පහළ කොටසේ දැනට ජනතාව පදිංචි වෙලා ඉන්න කොටසක්. මං හිතන්නේ පවුල් 100කට අඩු ගාණක් පදිංචි වෙලා ඉන්න කොට්ඨාසයේ ඒ පදිංචි වෙච්ච ස්ථානයේ අක්කර පහක විතර සැලැස්මක් තියෙනවා පොඩි ජලාශයක්, නමුත් ඒක සැලැස්මක් ඒක යුනෙස්කෝ එකේ අවසරයත් ඉල්ලලා එයාලට අධ්‍යයනය කරලා මේකෙන් විශාල හානියක් සිදුවෙනවා ද කියලා බලන්න කියලා තියෙනවා.”

එය ක්‍රියාවට නංවා ලීමට නොහැකි වුවහොත්  ගංවතුර වළක්වා ගැනීමත්  ජල පිපාසයෙන් සිටින  ජනතාවට ජලය ලබා දීමට නොහැකි වන බවත් පැවසු අමාත්‍යවරයා මාධ්‍යටද චෝදනා කර තිබුනේ  කරුණු සොයා බැලීමකින් තොරව වාර්තාකරණයේ යෙදෙන බවටයි.

“මේක දැන් මාධ්‍යයේ එහෙම ප්‍රකාශ වුණේ හරියට සිංහරාජ කැලේ මුදුනේ වැව් හදනවා කියලා වගේ. ඉතින් මේවා ගැන පොඩ්ඩක් මාධ්‍ය වුණත් රටේ ජනතාව අවුස්සන්නේ නැතුව කිව්වේ මොකක් ද කෙරෙන්නේ මොකක් ද? කියන එකත් සොයන්න වෙනවා.”

කෙසේවෙතත්, ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවල දැක්වුණේ “සිංහරාජ වනාන්තරය ඇතුළේ” වැව් දෙකක් බඳින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයයි.

එමෙන්ම අද දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චමල් රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍යවරයා සදහන් කර තිබුනේ සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් වන අතර රජයක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ්‍ර ආශ්‍රිත වැසි වනාන්නතර සුරැකීමත් පිළිබඳව ක්‍රියාකරන බව යි.

ඔහු එම නිවේදනය නිකුත් කර තිබුනේ  ගිං – නිල්වලා යෝජනා ක්‍රමයට අදාළව හම්බන්තොටට ජලය රැගෙන යාම සඳහා සිංහරාජ වනාන්තරයේ වැව් 2ක් ඉදි කිරීම පිළිබඳ සිදු  කළ ප්‍රකාශය පිළිබඳව පරිසරවේදීන්,  සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශව විසින් දැඩි විරෝධය එල්ල කර තිබියදීය.

දේශීය පාරිසරික ආයතන සංවිධාන හා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයේ නිර්දේශ හා නියමයන්ට පරිබාහිරව ක්‍රියා නොකරන අතර  ලෝකයේ දුර්ලභ වැසි වනාන්තරයක් හා ජෛවගෝල රක්ෂිතයක් වන හෙක්ටයාර 11,187කින් යුත් සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ අමාත්‍යාංශයට පැහැදිලි අවබෝධයක් ඇති බව ද අමාත්‍ය චමල් රාජපක්ෂ සිය නිවේදනය මගින් අවධාරණය කර තිබුනි.

සොබාදහමට එරෙහි අපරාධයක්

යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය වෙත ලිපියක් යොමු කරමින් මාර්තු 23 අගහරුවාදා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ඉල්ලා තිබුනේ ලෝක උරුම සිංහරාජ  අඩවිය විනාශ නොකරන ලෙස ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිටින ලෙසයි.

වැසි වනාන්තරයක් හා යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන සිංහරාජය තුළ වැව් දෙකක් තැනවීම පිලිගැනීමට නොහැක්කක් පමණක් නොව සොබා දහමට එරෙහි අපරාධයක්ද වන බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට  ආවේනික ශාක හා සත්ත්ව විශේෂයන්ගෙන් සියයට 60 කට වැඩි ප්‍රතිශතයක් වෙසෙන – සිංහරාජයේ පවතින පොහොසත් ජෛව විවිධත්වයට මෙමගින් දැඩි  තර්ජනමතු කරන බවද සිය ලිපිය මගින් ඔහු අවධාරණය කර තිබුනි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින්නේ සියයට දෙකයි දශම අටක  වැසි වනාන්තර පද්ධතියක් පමණක් බව අවධාරණය කරන පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ ලෝක උරුම සිංහරාජය යනු ශ්‍රී  ලංකාවට ආවේනික පමණක් නොව ස්ථානිය ආවේනික ජෛව විවිධත්වයක්ද පවතින ස්ථානයක් බවයි.

එවැනි නොයිඳුල් තෙත් කළාපීය  වන්නාතර පද්ධතියක් විනාශ කිරීම වන විනාශයකට පමණක් සීමා නොවන බවයි  ඔහු අවධාරණය කරන්නේ.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය මධ්‍යයේ වැව් ඉදිකිරීමේ සුදානම හරහා ජල කොල්ලයක් සිදු වන බවටත් පරිසරවේදියා චෝදනා කරයි.

සිංහරාජයේ ජෛව විවිධත්වය අනතුරේ හෙලමින් සිදුවන ඉදිකිරීම් ගැන රුපවාහිනී වැඩසටහනකින් හෙළිදරව්වක් රක්වානේ භාග්‍යා අබේරත්න සිසුවිය විසින් කරනු ලැබීමත් සමග පරිසරය රැකගැනීම ගැන රටතුල උනන්දුවක් හටගෙන තිබෙන අතර, ඇයද, ජනමාධ්‍යයද ජනාධිපති ඇතුළු බලධාරීන්ගේ හිරිහැරයට මුහුණ පා සිටී.

Social Sharing
නවතම