පිල්ලෙයාන්ලාට ඇප ලැබෙන විට ශානිට කොවිඩ් ආසාදයන වීම!

ශානි අබේසේකර කියන නම මගේ හිතේ පැලපදියන් වී තිබෙන්නේ පසුගිය කාලයේ ඔහු කරපු සහ අධික්ෂණය කරපු අපරාධ පරීක්ෂණ නිසා.

නාවික හමුදා ඝාතක කණ්ඩායමක් විසින් පැහැර ගත්ත පුද්ගලයින් 11 දෙනාට මොකද වුණේ? මේ නාවික කල්ලියේ හිටියේ කවුද? ඔවුන්ට අණ දුන්නේ කවුද මේවා අනාවරණය කරගත්තේ ශානි අබේසේකරගේ මෙහෙයවීම මත ඒ ගැන පරීක්ෂණ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම.

ඊළඟට රිය අනතුරක් කියලා සඟවලා තිබුණ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ මරණය ඝාතනයක් කියලා හොයා ගත්තේ ශානි අබේසේකර ප්‍රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක කණ්ඩායම.

LTTE සංවිධානයේ ගිනුමකට බැර කරලා අත පිහදාගන්න හදපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැනත් ඇත්ත සොයා ගත්තේ ඔහු. ප්‍රංශයේ ඉන්නවායි කියපු ප්‍රගීත් එක්නැළිගොඩට මොකද වුණේ? ඔහු පැහැරගෙන ගියේ කවුද? නායකත්වය දුන්නේ කවුද? කොහේටද මුලින්ම ගෙනිච්චේ, ප්‍රශ්න කළේ මොනවාද? ශානී අබේසේකර තමයි ඒ සුළමුල සියල්ල සොයා ගත්තේ. අධිකරණයට කරුණු වාර්තා කළේ.

මේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෑත වැඩ ඉතිහාසය. පාස්කු ප්‍රහාරයට පස්සේ පැය 48ක් යනකොට සියලු සැකකරුවන් අත් අඩංගුවට ගන්නත් ශානි අබේසේකරගේ කාර්‍ය විශාලයි.

ඒ වගේම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය ගැනත් පරීක්ෂණ සාර්ථකව මෙහෙයවලා සැකකරුවන් උසාවියට ඉදිරිපත් කළේත් මේ ශානි අබේසේකරම තමයි.  මීට කළින් රෝයල් පාර්ක් මිනිමැරුම, ෂියාම් ඝාතනය, අඟුලාන ද්විත්ව ඝාතනය, උඩතලවින්න ඝාතනය, වගේ සාර්ථක පරීක්ෂණ ගණනාවක ඉතිහාසයක් මේ දක්ෂ පොලිස්කාරයාගේ නම ඉස්සරැහින් ලියවිලා තියෙනවා.

රංජන් සිද්ධිය

මේ දක්ෂ පොලිස්කාරයාගේ වැඩ පොලීසිය ඇතුලෙම ගොඩක් දෙනෙකුට ඇල්ලුවේ නැහැ. ඒ වගේම පොහොට්ටු කඳවුරේ බොහෝ දේශපාලන නායකයින්ටත් ඔහු හිසරදයක් වුණා. මේ හිසරදය නිමාකරගන්න හොඳ තෙල් බෙහෙතක් සොය සොයා ඉන්නකොට තමයි රංජන් රාමනායකගේ හඬපටය එළියට එන්නේ.

මේ කතාවත් අතිශ්‍ය පුද්ගලික කතාබහක්. පරීක්ෂණ ගැන අහලා නිතරම කරදර කරන කරදර කාරයෙක්ට දක්වන ප්‍රථිචාරයක් තමයි මෙහි තිබෙන්නේ. නමුත් එය ඔහුගේ ප්‍රතිවාදීන්ට පාවිච්චි කරන්න හොඳ ආයුධයක් වෙනවා. ඒ සමගම මේ හඬ පටය භාවිතා කරලා ශානි අබේසේකරට විරුද්ධ මතයක් සමාජය අස්සේ හදනවා.

ඒක හදන්නේම දැනුවත්ව ඔහුව පසුකාලීනව දඩයම් කිරීම සඳහා. මේ හඬ පටය නිසා ඔහුගේ පරීක්ෂණ ඉතිහාසය වෙනස් කරන්න බැහැ.! ඔහු ඒ වෙනකොට කරමින් හිටපු පරීක්ෂණ වල ඇත්ත වෙනස් කරන්නත් බැහැ. නමුත් ඔහුගේ පරීක්ෂණ නිසා සිපිරි ගෙදර පෙනි පෙනී සිටි පුද්ගලයින් සහ ඔහුගේ පරීක්ෂණ නිසා සිපිරි ගේ උරුම උන වැරදිකරුවන් මේ මොහොත ඉතා තදින් අල්ලා ගත්තා.

එහි අවසන් ප්‍රථිපලය එම හඬපට හඬට, ඝෝෂාවට යටින් පළිගැනීමේ හස්ථය ඔහුගේ ගෙල වෙලා ගැනීම. පළිගැනීමේ හස්තය මුලින්ම වැඩ කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා පියන් කෙනෙක් බවට පත් කිරීම හරහා

ඊට පස්සේ පසුගිය ජූලි 31 වෙනි දා කොළඹ අපරාධ කොට්ඨාශය ශානි අබේසේකර අත්අඩංගුවට ගන්නවා. චෝදනාව තමයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිම. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි කියන විදිහට කොළඹ අපරාධ කොට්ඨාශය මේ අත්අඩංගුවට ගැනීමට ප්‍රථම මේක එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

එහෙත් එතනට අලුතින් පත්වෙලා ආපු ලොක්කා ඒකට එකඟ වෙන්නේ නැහැ. සීසීඩීය දැන් ගොනුකරලා තිබෙන මේ චෝදනාව පුස්සක් කියලා තමයි නීතිවේදීන් කියන්නේ.

මහරින් වැලිකඩට වැලිකඩින් වැලිකන්දට

අන්තිමට මේ කීර්තිමත් පොලිස්කාරයාට මහර රක්ෂිත බන්ධනාගාරය උරුම වෙනවා. එහිදී තමයි ඔහුට කොවීඩ් වෛරසය ආසාදනය වෙලා තිබෙනවා කියන එක අනාවරණය වෙන්නේ. ඒ සමගම ඔහුගේ බිරිඳ නීතීඥයන්, ඔහු කොළඹ IDH රෝහලට මාරු කරන්න කියලා ඉල්ලනවා.

මේ සමගම සමාජය අස්සෙත් විශාල මතයක් හැදෙනවා ශානි අබේසේකර කොළඹ උණ රෝහලට ගෙන එන්න ඕනෑ කියලා. නමුත් රජය ඔහු ගෙන එන්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලට. එම රෝහලේ ඒ වෙනකොට දුමින්ද සිල්වා වැනි වරදකරුවන් සිටිනවා. ඔවුන් මෙම නිළධාරියාගේ පරීක්ෂණ නිසා සිරගත වූවන්.

මේ තත්ත්වය අස්සේ මාධ්‍ය හමුවක් තබා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියන්නේ ශානිට කොවිඩ් ආසාදනය කළා ද කියලා සැකයි කියලා. ඒ සමගම මානව හිමිකම් කොමිසමේ රමණි මුත්තෙට්ටුවේ ගම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මේ බොහෝ දෙනෙක් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ නිළධාරියාගේ ජීවිතය අවධානමේ වහාම අයිඩීඑච් රෝහලට මාරු කරන්න කියලා.

මේ සියලු ඉල්ලීම් හමුවේ රජය, මේ පොලිස් නිළධාරියා වැලිකඩ සිට වැලිකන්දට අරගෙන යනවා. මෙහෙම අරගෙන යන මේ නිළධාරියා කොවිඩ් රෝගියෙක් ඒවගේම දියවැඩියාව සහ හර්දය රෝගී තත්ත්වයක සිටින පුද්ගලයෙක් බව අපි අමතක කරන්න හොඳ නැහැ. ආණ්ඩුවේ බළධාරීනුත් මේක නොදන්නවා වෙන්නට බැහැ.

කොහොම වුණත් සමාජය මතින් ආපු බරපතළ විරෝධය ඉස්සරහා ආණ්ඩුවට සහ රජයේ බළධාරීන්ට ශානි අබේසේකර පහුගිය 27 වෙනිදා හවස් වෙනකොට කොළඹ අයිඩීඑච් රෝහලට රැගෙන එන්න සිද්ධ වෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ රංගන සහ බිරිඳගේ ලිපිය

පසුගිය 26 වෙනිදා ගම්පහ මහාධිකරණයේදී ශානි අබේසේකරගේ ඇප අයදුම සලකා බැලුවා. තීරණය තමයි දෙසැම්බර් 07 වෙනිදා වෙනකම් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියන එක. මේ නඩුවේදී විශේෂ දෙයක් වුණා, ඒ තමයි පිල්ලෙයාන් මන්ත්‍රීවරයාට ඇප දෙනවාට විරුද්ධ නොවුණ නීතිපති දෙපාර්තමේන්තුව, මේ නඩුවේදී ඇප දෙනවාට විරුද්ධ වීම.

මේක දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය හැසිරීම බවට පත් වෙලා. ලලිත්- අනූස නඩුව, ජනක බණ්ඩාර නඩුව වගේ නඩු දිහා බැලුවාමත් මේක පේනවා. කොහොම වුණත් මේ සිදුවීම් මේ විදිහට එක දිගට පෙළගැහෙනකොට ශානි අබේසේකරගේ බිරිඳ කමනි ශ්‍රියන්තා අබේසේකර අගවිනිසුරුවරයාට සහ නීතිපතිවරයාට ලිපියක් යොමුකරලා තිබෙනවා. ඒ ලිපියෙනුත් ඇය අවධාරණය කරන්නේ තම ස්වාමියාගේ ජීවිතයට විශාල තර්ජනයක් තිබෙනවා කියන දේ.

මේ ලිපියෙන් ඇය වැදගත් කරුණු රැසක් කියනවා. ශානි අබේසේකරට විරුද්ධව තිබෙන චෝදනා විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වුණ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සොයිසා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත තමන්ගේ ස්වාමියාට විරුද්ධව සාවද්‍ය සාක්ෂි ලබා දෙන ලෙස සාක්ෂිකරුවෙකුට බලපෑම් කරපු බවට ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් වුණා කියලා ඇය එම ලිපියේ ලියනවා.

ඒ වගේම එම ලිපියෙන් ඉහත පොලිස් නිළධාරීන් දෙන්නා ගැන කරුණු කියන ඇය කියන්නේ, මේ නිළධාරීන් දෙන්නාගේ අත්අඩංගුවේ ඉන්නකොට ඝාතනය වුණ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධුෂ්, එසේ ඝාතනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කරලා තිබෙනවා කියලා.

ඒ වගේම 2020/10/22 අන්තර්ජාල වෙබ් අඩවියක පළ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී තමන්ගේ සැමියා පිළිබඳව විමර්ශනය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ගේ සැමියා පාතාල කටයුතුවලට සම්බන්ධ බවට පදනම් විරහිතව අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන ලද බව, ඇය මෙම ලිපිය හරහා ප්‍රකාශ කරනවා. ඇය සිය ලියුම අවසන් කරන්නේ මෙහෙම.

“මාගේ ස්වාමිපුරුෂයාව බන්ධනාගාරය තුළ හෝ ඉන් පිටතදී ඝාතනය වීම වැළැක්වීම සඳහා ඔබතුමන්ලා විසින් ගතයුතු සහ ගතහැකි සියලු රාජකාරීමය පියවරගෙන, ඔහුගේ ජීවිත අරාක්ෂාව රැකදෙන ලෙස, මම ඉතා ගෞරව පූර්වකව හා නිහතමානී ලෙස අයැද සිටිමි.”

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග