වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි! – ශානි අබේසේකර

”මම කිසිම වරදක් කරලා නෑ. මට වෙන්න ඕන හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි. මගේ ජීවිතේ නැති උනත් මම සතුටින් බාර ගන්නවා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ට එන චෝදනා තමයි සල්ලි ගත්තා, කාන්තාවන්ට හිරිහැර කළා, පහර දුන්නා වගේ චෝදනා. මම සතුටු වෙනවා මට මේ වෙනකම් එහෙම චෝදනාවක් ඇවිත් නැහැ. මේකෙන් පස්සේ අද හවසට එහෙම චෝදනාවකුත් කරයිද දන්නේ නෑ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මෙම අදහස් පැවසුවේ පසුගියදා පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

මගේ වැඩ තහනම් කළාට පසු පොලිස් කොමිෂන් සභාව 2020 අප්‍රේල් මාසයෙදී නිර්දේශ  කළා මට අඩ වැටුපක් ලබා දෙන්න, නමුත් එය තවමත් ක්‍රියාත්මක කරලා නෑ. මම රස්සාවට පිටින් සත පහක්වත් අරගෙන නෑ. මගේ රස්සාව යොදා ගත්තේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. ඒත් අද මගේ බිරිඳට සහ දරුවො දෙන්නට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ. මාධ්‍ය ආයතන දෙකක් තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ, මං  කිසිම වරදක් කර නැතත් දැන් විය යුතු සියල්ලම පාහේ සිදුවී හමාරයි. මගේ  ජීවිතය නැති වුවත් එයද සතුටින් බාර ගන්නවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයකුගේ මෙහෙයවීම යටතේ ශානි අබේසේකර මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ ජාතික රෝහලේ සිට පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ එසේ සාක්කි ලබා දුන්නේය.

මෙහි දී ජනාධිපතිවරුන් හතර දෙනකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විමර්ශන පවත්වා ඇතැයි පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේදී ප්‍රකාශ විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ටවුන්හෝල් හීදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටියදී පිත්තල හංදියේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරවකුව සිටිය දී බෝම්බ ගැසීමට කුමන්ත්‍රණය කිරීම සහ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන විමර්ශන හතර සිදු කරනු ලැබ ඇත්තේ ශානි අබේසේකර මහතා විසිනි.

ශානි අබේසේකර මහතා විසින් සිදු කළ විමර්ශන ගැන රජයේ නීතීඥවරයා විමසා සිටි අතර ඔහු ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ, දෙල්කඳ සය පුද්ගල ඝාතනය, සරත් ෆොන්සේකා ඝාතන තැත, අඟුලාන ද්විත්ව මිනීමැරුම, රෝයල් පාර්ක් ඝාතනය, කෝටි දෙකේ කප්පම, ලක්ෂ 200 කප්පම් සිද්ධිය, උඩතලවින්න 10 දෙනකු ඝාතනය කිරීම, තණමල්විල වයස 80 ක කාන්තාවක දූෂණය කර මරා දැමීමේ සිද්ධිය, ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් ඔහු විසින් විමර්ශණ සිදු කර ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරු යද්දී විමර්ශන 8000ක් පමණ තමන් අධීක්ෂණය කරමින් සිටි බවයි.

මීට අමතරව භාරත ලක්ෂ්මන් ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, රවිරාජ් ඝාතනය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් තමා විසින් විමර්ශන මා සිදුකල බවත්, 2007-2009 තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය, වැලිකඩ බන්ධනාගාර ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා රතුපස්වල වෙඩි තැබීම පිළිබදව විමර්ශනයන් ද තමා විසින් සිදු කරනු ලැබූ බව ප්‍රකාශ විය.

වැඩිදුර විභාගයේ දී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ මෙම විමර්ශණ කොමිෂන් සභාවට සහභාගීවීමට පෙර සුදානම් කාලයක් නොතිබූ බවත්, මතකයෙන් උත්තර ලබා දී යමක් වැරදුනොත් ඉන් අගතියට පත්වන්නේ තම සේවා දායකයා බවත් ප්‍රකාශ කරමින් තම විරෝධතා ගොනු කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශණ ගොනු අබේසේකර මහතාට ලබා දී තිබෙන්නේ මෙහි සාක්ෂි විමසීමට පැය දෙකකට පමණ පෙර බව උපුල් කුමාරප්පෙරුම මහතා විසින් පෙන්වා දී තිබේ.

Social Sharing
නවතම