දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට සාධාරණයක් කරනවා! – ආරක්ෂක ලේකම්

වත්මන් රජය කිසිවිටෙකත් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් දැනට අත්අඩංගුවේ පසුවන ශානි අබේසේකර වැනි අය පසුගිය කාලයේ කළ කී දෑ පිළිබඳව රටම දන්නා බවත් ආරක්ෂක ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

නව රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන පිළිගැනීම් සිදුකළේ නම් අද බොහෝ පිරිසකට ඉන්නට සිදුවන්නේ හිරිගෙවල් වල බවත්, වැරදි කළ බව පරීක්ෂණ මගින් තහවුරු අය හැර වෙනත් අය කිසිදු හේතුවක් නිසා අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ මහතා කීය.

ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (29) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනපති, අගමැති, ආණ්ඩුව හෝ රාජ්‍ය නිලධාරින් කිසිවෙකුත් දේශපාලන පළිගැනීම් වලට යොමු නොවන බවද ඒ මහතා කීය.පසුගිය කාලයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අසාධාරණයක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවද හෙතෙම අවධාරණය කළේය.

කොවිඩ් මළ සිරුරු අදාහනයද භූමදානයද යන්න ප්‍රශ්නයක් කරගෙන උද්ඝෝෂණ ක්‍රියාත්මක වීම ගැටලුවක් බවත් මෙම අවස්ථාවේ තීන්දු තීරණ ගත යුත්තේ සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව බවත් කී ඒ මහතා ජනපතිතුමන් මේවන විට මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් ලෙස සොයා බලා තීරණයක් ලබාදෙන ලෙස වෛරස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකට උපදෙස් ලබාදී තිබෙන බවද ප්‍රකාශ කළේය.

සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවසර ලබාදී තිබෙන්නේ සෞඛ්‍ය නිර්නායක වලට අනකූලව ක්‍රියාත්මක තදබල පාලනය කිරීම් රැසක් හමුවේ බවත් ඔවුන්ට වෙනදා මෙන් නිදැල්ලේ සංචාරක ස්ථාන වලට යාමට හැකියාවක් නොමැති බවත් ගුණරත්න මහතා කීය.

ඔවුන්ට එම ස්ථාන වලට යාහැකි වන්නේ නිරෝධායනය ක්‍රියාවලියෙන් පසු PCR පරීක්ෂණ දෙකක් සිදු කිරීමෙන් අනතුරුව බවද ඒ මහතා පැවසුවේය.

බන්ධනාගාර වල සිටින රැඳවූවන්ගේ සංඛ්‍යාව වැඩිවූවා යැයි කියා අපරාධ කරුවන්ට නිදහස ලබාදීමට රජය කිසිවිටෙකත් පියවර නොගන්නා බවත් පසුගිය කාලයේ නිදහස් කරන ලද 8500 ක් පමණ වූ රැඳවූවන් ගෙන් 7500 ක් පමණම මත්ද්‍රව්‍යය සම්බන්ධ වැරදි ඇති අය බවත් හෙතෙම කීය.

මත්ද්‍රව්‍යය ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණ ළමුන් බොහෝ පිරිසක් එම මත්ද්‍රව්‍ය වලට අදාළ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් මුදා හැරීමට නොහැකි බවත්, ඒ නිසා බන්ධනාගාරවල රැඳවූවන්ගේ සංඛ්‍යාව 32000 ක් පමණ දක්වා ඉහළ ගිය බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේය.

මත්ද්‍රව්‍යය වෙළෙඳාම් කරන හා පාවිච්චි කරන තරුණ ළමුන් අත්අඩංගුවට පත්වූ පසු ඔවුන් සිරගත කර තබා ගැනීමට වඩා වැදගත් වන්නේ පුනරුත්ථාපනය කර යළි සමාජ ගත කිරීම බවත් අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය මගින් නව දිගන්තය නමින් එකවර දහසක් පුනරුත්ථාපනය කළ හැකි ස්ථානයක් ගොඩනගමින් තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කන්දකාඩු වල දැනට දහසක් පුනරුත්ථානපනය කිරීමේ හැකියාව තිබෙන බවත් එම සංඛ්‍යාව තවත් 500 කින් වැඩි කිරීමට කටයුතු කරන බවත් කී ඒ මහතා බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සමඟ එකතුවී වීරවිල බන්ධනාගාරය තුළ අලුතින් ගොඩනැගිලි 20 ක් හදන්න ගුවන් හමුදවාවට උපදෙස් ලබාදී තිබෙන බවද අවධාරණය කළේය.

එම ස්ථානයේ 2000-2500 ත් අතර පිරිසක් පුනරුත්ථාපනය කිරීමේ හැකියාව තිබෙන බවද ඒ මහතා කීය.

නීතියට අනුව වැඩ කිරීමට යාමේදී මේ ආකාර සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන බවද ඒ මහතා කීවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම