“අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසා ඉන්න එක ඇයට හොඳයි” මිෂෙල් බැෂලේට රතු එළියක්?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්විත  වු 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇත. එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් එම වාර්තාව  ප්‍රතික්ෂේප කරන බව මීට පෙර විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා මෙන්ම, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පවසා තිබුණි.

එම වාර්තාවේ 21 වෙනි කරුණට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට නාවික හමුදාවේ සේවය කළ සරත් වීරසේකර මහතා  පත් කිරීම ගැන  සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන්  මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ මානව හිමිකම් කොමසාරිස්වරිය තර්ජන කළද ඇයට එවැනි බලයක් නොමැති බවය.

එවැනි බලයක් ඇත්තේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආරක්ෂක මණ්ඩලයට සහ එක්සත් ජාතීන්ගේ මහ සභාවට පමණක් බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටින්නේ මානව හිමිකම් කොමිසම යනු එහි එක් ශාඛාවක් පමණක් බවය.

ඇය කරමින් සිටින්නේ යුධ අපරාධ චෝදනා නගමින් ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් යැයිද   මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ජනරාල්වරු, අද්මිරාල්වරු රජයේ නිල තලවලට පත්කිරීම ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රශ්න කළද  එය ඇමරිකාවේ ජනාධිපතිවරයාගෙන් නොවිමසන බවත් එලෙස කටයුතු කරන්නේ දෙමළ ඩයස්පෝරාව සහ බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් නිසා බවද ඔහු කියා සිටියි.

ඒ නිසා අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසා ඉන්න තාක් ඇයට හොඳයි යනුවෙන්ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

කොටි සංවිධානය බුරුතු පිටින් මිනිසුන් ඝාතනය කරන විට ඔය කියන මානව හිමිකම් කොමසාරිස්වරිය සිටේ කොහේදැයි ප්‍රශ්න කර සිටින ඔහු පවසන්නේ දැන් මේ මානව හිමිකම් ගැන ප්‍රශ්න කරන්නේ මෙරටට එරෙහිව ක්‍රියාත්මක වෙන දේශිය හා විදේශිය ක්‍රමන්ත්‍රණයක් නිසා බවය.

Social Sharing
නවතම