කොවිඩ් මර්දනය දැන් යන්නේ ඇමරිකන් ක්‍රමයට, අපිට ගැලවීමක් නෑ!

හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න.

රජය මේ වෙනකොට 5‍/2001 චක්‍රලේඛය අහෝසි කරලා තිබෙනවා. ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය දේවල්නෙ මේ සූදානම් කරගෙන යන්නේ. රටේ විශාල ණය කන්දක් තියෙනවා. ණය වාරික ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න තියෙන එක විසඳුමක් විදියට ආණ්ඩුව දකින්නේ මේ ඉඩම් විකිණීම, කොළඹ නගරයේ සහ පිටත. මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබේ අදහස?

1948 නිදහස ලැබිලා අද වෙනකොට අවුරුදු හැත්තෑ දෙකක් ගෙවිලා තියෙන්නේ. මේ අවුරුදු 72 ක කාලය තුළ පාලනය කරපු රටේ පාලකයෝ ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ ආර්ථිකය හදලා ජනතාවට ජීවත් වීමට අදාළ පසුබිම සකස් කරන එක නේ. ඒකට පාලකයෝ සියලු දෙනාම අසමත් වුණා. ඒකෙන් සිද්ධ වුණේ ණයට කාල ජීවත් වෙන එක. ණය උනත් දෙන රටවල් හරි සංවිධාන හරි ණය දෙන්නෙ ගෙවීමේ හැකියාව බලලානේ. ලංකාව දැන් ඒ සීමාව පැනලා ඉන්නෙ. අන්තරාදායක තත්වයක තමයි රටේ ආර්ථිකය දැන් තියෙන්නේ.

ඒ අනුව ණය දෙන රටවල් දෙන කෙනාට ගෙවන්න බැරි නම් දෙන්නෙ නෑනෙ. එහෙනම් දෙන්න වෙන්නේ අර ගම්වල ණය  දෙන ක්‍රමයට තමයි. ගෙවන්න බැරි මිනිස්සුන්ට ගෙදර ඔප්පුව නැත්නම් මොනවා හරි වටින කියන දෙයක් ගෙනත් දෙන්න කියලා ණය දෙන්නේ. ඒ වගේ රටේ ඉතුරු වෙලා තියෙන මොනාහරි සම්පත් උගසට තියලා තමයි ණය ගන්න වෙලා තියෙන්නේ. රටේ ඉඩම් විකුණන්න වෙනවා, රටේ අධ්‍යාපනයට අත තියන්න වෙනවා. ඒ අනුව දැන් එහි අවසාන අදියරට ඇවිල්ල කියල අපිට පේන්නේ.

වර්තමාන ආණ්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ ඉඩම් විකුණගෙන තමන්ගේ බලය පවත්වාගෙන ගිහිල්ලා රටත් ඉවර කරලා එයාලත් ඉවරවෙලා යන ගමන තමයි යන්න තියෙන්නේ. මේ රටේ මාතෘභූමිය, දේශප්‍රේමය ඔක්කොම විකුණන මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ. ඉතින් ඒකට අදාල නීතිමය ඉඩකඩ ඇති කරගන්න නම් 5/2001 චක්‍රලේඛය බාධාවක් වෙනවා.

මොකද ඒකට අනුව ඉඩමක් ආණ්ඩුවට ලේසියෙන් විකුණන්න බැහැ. වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ කලාප පහසුවට දෙන්න පුළුවන් කමක් නැහැ. 5/2001 චක්‍රලේඛ‌යෙන් වුණේ රටේ වටිනා රජයේ ඉඩම් වනාන්තර ආශ්‍රිත ආරක්ෂිත කලාප වන සංරක්ෂණ අධිකාරියේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාම. එතකොට ඒ චක්‍රලේඛය අහෝසි කරලා දැන් හෙක්ටයාර ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම්ලට, දිස්ත්‍රික් ලේකම්ලට බලය පැවරෙනවා. එතකොට එයාලට පුළුවන් මේ බදු දීම ආදිය කරගන්න. අපි රටේ ප්‍රාදේශීය ලේකම්ලව දිස්ත්‍රික් ලේකම්ලව හෑල්ලුවට ලක් කරන්නෙ  නැහැ. නමුත් අපේ රටේ දේශපාලනඥයන්ට බලපෑම් කරලා එක් එක් කෙනාගේ දුර්වල කම් මත සහ දිනා ගැනීම් මත මේ විශාල ඉඩම් ප්‍රමාණය අත්පත් කරගැනීමේ හැකියාව තියනවා.

දැනටත් අපිට පේනවා රාජපක්ෂවරු බලයට ආවට පස්සේ මේ නීති පනවා ගන්නත් ඉස්සෙල්ලා වනාන්තර ඉඩම් වලට, සංවේදී කලාපවලට ඇතුළු වෙලා විශාල හානියක් කරමින් තිබෙනවා.

මම ජීවත් වෙන දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කයත් මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. අපි පහුගිය කාලේ සෑහෙන්න අරගල කළා. දැන් අපේ ප්‍රදේශවල අක්කර ලක්ෂ ගානක් බහු ජාතික සමාගම් වලට දීලා තියෙන්නේ. දැන් ඩෝල් සමාගම ගත්තම උල්හිටියාව ඉඩම් ටික දීලා තියෙන්නෙ. මැණික් ගඟ රක්ෂිතය ඩෝල් කම්පැනියට දීම නීත්‍යානුකූල නැහැ. මේවත් හිටපු රාජපක්ෂවරු කළේ. ඕවා ප්‍රශ්න කරනකොට හඬ නගන කොට අන්තිමට වනරක්ෂණ එකට නඩු දාන්න සිදුවුනා. කිරිඳිඔය සහ මැණික් ගඟ අසබඩ ඉඩම් ඩෝල් එකට දීපු එක නීත්‍යානුකූල නෑ කියල.

ඊට පස්සේ ඒ වගේම පැල්වත්තේ ඉඩම් අක්කර දහස් ගාණක් නෙල්නා කම්පැනියට දුන්නා. එහිදී දාපු නඩුවෙන් අන්තිමට වන සංරක්ෂණයට අයිති ඉඩම් මේ විදිහට පැවරීම නීත්‍යානුකූල නැහැ කියල ඔප්පු වුණා. නියෝගය තමයි නැවත මේ ඉඩම් වන සංරක්ෂණයට අත්පත් කරගන්න කියලා. අද වෙනකන් නැවත මේ ඉඩම් වන සංරක්ෂණයට අත්පත් කරගෙන නැහැ. ඩෝල් කම්පැනියට දාපු නඩුව දැන් අයින් කරගන්න කියලා බලපෑම් කරනවා. සත පහක් ආණ්ඩුවට  මේ සමාගම් දෙකම බදු ගෙවලා නැහැ. බදු ගෙවන්නෙ නැතිව ඔය අයුරින්ම පවත්වාගෙන ගියා.

ඉතිං දැන් අපි මේ දවස් වල ලොකු සටනක නිරත වෙනවා. මේ සටන පටන් ගත්තෙත් රාජපක්ෂවරු ඉන්න කාලේ. ඒ කියන්නේ මහින්ද මහත්තයා ජනාධිපති වෙලා 2006 දෙසැම්බර් මස 6 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දාල ඌව වෙල්ලස්ස, බින්තැන්න කියන පළාත් ඒ කියන්නේ අම්පාර, මොනරාගල, බදුල්ල කියන දිස්ත්‍රික්ක තුනේ අක්කර හැට පන්දාහක් බ්‍රිතාන්‍ය සමාගමකට උක් වගාවකට බදු දෙන්න, ඒ අය ඒ සඳහා කැබිනට් අනුමැතිය ගත්තා. කොම්පැණිය ඇවිල්ලා බිබිලේ කාර්යාල දැම්මා. ගොවිපළවල් පටන් ගත්තා. දැවැන්ත අරගලයක් අපි අරගෙන ගියා එදා ඉදල අද වෙනකල්. අන්තිමට ඒ හමුවේ කොම්පැණිය පාඩු ලබලා දාලා ගියා.

මොකද මේක කර ගන්න බෑනෙ විරෝධතාවය හමුවේ. ඊට පස්සේ පොඩ්ඩක් අකුල ගත්තා. ඊට පස්සේ ආවා රනිල්-මෛත්‍රී ආණ්ඩුව. අර යට වෙලා තිබ්බ එක ඒ කට්ටිය ආපහු උඩට අරං ආපහු කැබිනට් පත්‍රිකා දාලා මෛත්‍රිපාල මහත්මයා මහත්මයලා ගෙනාවා සිංගප්පූරුවේ සමාගමක්. අක්කර හැටපන්දාහ දෙන්න. ඒවට විරුද්ධව අපි අරගල කරන කොට දැන් ඇවිල්ලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. නමුත් මේ ඉඩම් බේරගන්න බැහැ. ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ පාලකයන්ට බයේ දුවන්න. පාලකයෝ ඒ කාලේ ජනතාවගේ පසුපස ඇවිල්ලා ඡන්ද ටික ගත්තට පස්සේ දැන් පාලකයන්ට බයේ ජනතාවට කැලෑ වදින්න සිද්ධවෙලා තියෙන්නේ.

පහුගිය කාලේ උමා ඔය ව්‍යාපෘතියට රට තුළින් දැඩි විරෝධයක් ආවා. ඒ විරෝධයේ නියමුවෙක් විදියට වැඩ කළේ ඔබතුමා. නමුත් දැන් අපිට පේන්නෙ නෑ අරගලයට මොකද වුනේ කියලවත් නැහැ. ඒ තරමට ඒ අරගලය දියවෙලා ගිහිල්ලා. ප්‍රශ්නය තාමත් එතනමයි. මොකක්ද ඇත්තටම වුනේ මේ උමාඔය සටනට?

මෙහෙමයි සටන නිම වෙලත් නැහැ. අරගලය නැවැතිලත් නැහැ. නමුත් අරගලය සමාජගත වීම, සමාජයට පෙනීම දුර්වල වෙන්න බලපාපු හේතු කිහිපයක් තියෙනවා. මොකද උමා ඔය අරගලය අපි පටන් ගත්තේ ටිකක් ඈත කාලෙක. මොකද දෙදහස් අටේ තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. රාජපක්ෂ යුගයේ, එතකොට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා. පාර්ලිමේන්තුවේත් අපි මේක පෙන්වාදුන්නා.

එතකොට වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති හැටියට හිටියේ චමල් රාජපක්ෂ මැතිතුමා. අපි එතුමාට පෙන්වා දුන්නා. මේ ව්‍යාපෘතිය කරන්න එපා කරොත් මේ වගේ හානිවෙනවා කියලා. මේක අසාර්ථක ව්‍යාපෘතියක් වෙනවා, හානි වෙනවා කරන්න එපා කියලා අපි කිව්වා. නමුත් ඒ කියපු දේවල් ඇහුවේ නෑ. මේක කළා. ඒ දේවල් කිව්වේ විෂය ක්ෂේත්‍රය දන්න කට්ටියත් එක්ක සාකච්ඡා කරලා.  ඒ ව්‍යාපෘතිය ගැන ඔවුන්ගේ අදහස් තමයි කිව්වේ. ඒ අවබෝධය මත අපි කිව්වා මේක කරන්න එපා කියලා. ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ අපි සංවිධානයක් හදලා, එතකොට තිබුණේ අන්තිමට තිබුණු සංවිධානය නෙමෙයි, “උමා ඔය සුරැකීමේ ජනතා ව්‍යාපාරය”.

මොකද පළවෙනියට තිබ්බේ සුරැකීමනෙ. එයින් අපි ජනතාව දැනුවත් කරන්න මහන්සි ගත්තා. ඉතින් අපේ රටේ ස්වභාවය අනුව ජනතාව එකවරම එළියට එන්නේ නෑනේ. එන්නෙ සුළුතරයක්. ඉතිං පොඩි ප්‍රමාණයක් හිටියේ. ඒ සටන අපිට දිගටම ගෙනියන්න ඒ සංවිධානයට ලොකු දෙයක් කරන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. අන්න එතකොට තමයි ව්‍යාපෘතිය ආරම්භ කරලා විනාශය ආරම්භ වුණේ. ළිං හිඳෙනවා, ගෙවල් පුපුරනවා, වගා පාළු වෙනවා. එතකොට ඔන්න ආපහු ජනතාවට අපි ගිහින් අලුතෙන් කියන්න පටන් ගත්තා මේ වෙන්නේ අපි අර මුලින් කිව්ව ප්‍රශ්නෙ. දැන්වත් සංවිධානය වෙමු කියලා. එහෙම තමයි අපි දෙවෙනි සංවිධානය හැදුවේ, බහු විනාශකාරී උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කියලා.

පළවෙනි සංවිධානය එහෙම තියෙද්දි අලූත් සංවිධානයක් හැදුවා. ඒකෙන් තමයි අර කියපු සටන රටට පේන්න ගත්තෙ. මොකද විනාශය එනකොට ජනතාව එකතු වෙන්න පටන් ගත්තා.  ජනතාවට නායකත්වය දීලා ජනතාවත් එක්ක දැවැන්ත සටන් ප්‍රමාණයක් අපි මහපොළොවේ දියත් කලා. ඒ අනුව අධිකරණයට ගියා. බිමේ සටන් කලා. සාකච්ඡා කරා, පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ ප්‍රශ්න කළා. මේ ඔක්කොම කරගෙන ගියා.

එතකොට අපි දන්නවා ලෝකෙ ගත්තත් අපේ රට ගත්තත් එකම ස්වභාවයක් උසුලන්නේ. මේ සටන් පටන් ගත්තහම දිගට පවත්වා ගෙන යන්න පාලකයෝ බාධා කරනවා. පාලකයෝ මේවට කුමන්ත්‍රණය කරනවා. යටි උගුල් අටවනවා ජනතාව මෙතනින් භේද-භින්න කරන්න. ඒ කට්ටිය යම් යම් උත්සාහයන් ගත්තා. මේ සටනට එකතුවුණේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ විතරක් නෙමෙයි. මේ ප්‍රදේශවල සිංහල, දෙමළ, මුස්ලිම් අය එකතු වුණා.

යූ.එන්.පී, ශ්‍රී ලංකා, ජේ.වී.පී මේ ඔක්කොම එකතුවෙලා තමයි මේ සටන අරගෙන ගියේ. ඒකෙ නායකයෝ මණ්ඩලයක් විදිහට හිටියේ.  අපේ රටේ ස්වභාවයක් තියෙනවනේ ඡන්දයක් එනකොට මොකක් හරි තමන්ගේ පක්ෂය කියලා එකක් මූලික කරගන්නවනේ. ඒ අනුව ඡන්දෙදි ජනතාව බෙදුණා. බෙදුනට පස්සේ ජනතාව දැන් එකතු වෙන ප්‍රමාණය හරි අඩුයි.

නමුත් අපි සටන නවත්තලා නැහැ. ඔබ කිව්වා හරියටම, හරි විනාශය නැවතිලා නැහැ. විනාශය වේගයෙන් සිදුවෙලා තියෙනවා. පාලකයන්ට ඕන දේවල් සිදුවෙමින් තියෙනවා. නමුත් අපි මේක ආපස්සට හරවන්න ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා. මොකද අපි දකිනවා උමාඔය විනාශය වෙච්ච ප්‍රමාණය අඩුයි. ලොකුම විනාශයන් ටික තියෙන්නෙ ඉදිරියට.

අපි මධ්‍යම කඳුකරයේ නැගෙනහිර දකුණු බෑවුමේ ජීවත් වෙන්නේ. මේ භූ අභ්‍යන්තරයෙන් දැවැන්ත උමං මාර්ගයක් ඉදි කරල. ඔය ගෙවල් ඉරි තලලා තියෙන්නේ  නිකම්ම නෙවෙයිනේ. ඒව මේ අඩි 17, 18 යට උමං මාර්ගයේ ඉඳන් ආපු ඉරි. ඒ කියන්නේ මේ මධ්‍යම කඳුකරය ඒකාබද්ධ වෙලා නෑ. ඉරි තලලා, පුපුරලා තියෙන්නේ. මේ පාලකයන් විසින් මධ්‍යම කඳුකරය දෙදරවල තියෙන්නෙ. ඒව ඉතින් මහ වැහි එනකොට යම් හෝ පුංචි භූමිකම්පාවක් එනකොට, අපි ප්‍රාර්ථනා කරන්නෙ ඒවැනි අවාසනාවන්ත සිද්ධි සිදු වෙන්න එපා කියලා. නමුත් ප්‍රාර්ථනා වලින් විතරක් විනාසයක් නවත්වන්න බැහැනේ. ඒ නිසා යම් මොහොතක දැවැන්ත අනතුරු මේ බිමට සිද්ධ වෙන්න පුළුවන්. අපි මේව කියලා විතරක් නෙමේ නවත්තන්න මහන්සි අරන් තියෙන්නේ. ඉස්සරහටත් ඒ මහන්සිය ගන්නවා.

පහුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ජනතාවගෙන් බලය ඉල්ලුවේ රටේ  විපක්ෂයේ භූමිකාව ඉටු කරන්න. හැබැයි ඒ බලාපොරොත්තුව ඉටු වුණේ නැහැ. අපේක්ෂිත මැතිවරණ ප්‍රතිඵලය ඔබලාට ලැබුණෙත් නැහැ. මේ තත්ත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික ජනබලවේගයේ ඉදිරි කටයුතු කොහොමද?

රටක් හැටියට මෙහෙම දුර්වල තත්ත්වයට පත් වුණාට පස්සේ මේ රට කොල්ල කන්න බලන් ඉන්න කට්ටියට හරි පහසුයි. අපි දකිනවා ලංකාව මේ පිහිටන ස්ථානය අනුව එක පැත්තකින් අපි වාසනාවන්තයි. ඒ වගේම එක පැත්තකින් මේ වගේ පාලකයෝ ඉන්නකොට අවාසනාවන්තයි. මොකද  දැන් අපි පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරේ ඉන්දියාවට යටින් චීනයට ආසන්නව. එතකොට ආසියාවේ ප්‍රධාන මර්මස්ථානයක අපේ රටේ පිහිටීම. මේ නිසා මේකට ඇල්ම බැල්ම ඉතිහාසයේ ඉඳන්ම තිබ්බා.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ වගේ පුංචි රටකට නිකම් ඇතුළු වුණා නෙමෙයිනේ. මේ පුංචි කෑල්ලත් අල්ල ගත්තෙ මේකෙ වටිනාකමක් තිබුන නිසා. ඉන්දියාවෙන් නිදහස හම්බුනාට පස්සෙනෙ අපිට නිදහස හම්බෙන්නෙත්. ඒ නිසා මේක වැදගත් ස්ථානයක පිහිටා තියෙන්නෙ. මේ නිසා ලෝකයේ අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම මෙතනට එදා ඉඳන් අද වෙනකල් තියෙනවා. අද විශාල බලපෑම තියෙන්නේ දේශපාලනික වශයෙන්.   ඇමරිකාවේ  මයික් පොම්පියෝ නිකං ඇවිත් ගියා නෙමේ. එයාලගේ සැලසුම් තියෙනවා. එතකොට අපි දන්නවා පහුගිය මැතිවරණයේදී විශාල ලෙස ඔය එම්.සී.සී ගිවිසුම මේ රටේ ක්‍රියාත්මක වෙන්න දෙන්නෑ. අධිරාජ්‍යවාදීන්ට යට වෙන්න දෙන්නෑ කියලා දේශප්‍රේමය, ජාතිවාදය අවුස්සලා කට්ටිය ඔක්කොම බලය ගත්තා. නමුත් අපි දකිනවා අනතුර පහ වෙලා නෑ. ඒක ජනතාව භේද භින්න කරල මේ කට්ටිය බලය ගත්තට අනතුර ඉස්සරහට එනවා. ජනතාව අවදි කරන්න පුළුවන් කියන විශ්වාසයෙ අපි ඉන්නේ.

ඔබ කිව්වා වගේ මැතිවරණයෙන් අපි අපේක්ෂිත ප්‍රතිඵලය අපිට ලැබුණේ නැහැ. මොකද ඒකට හේතු වෙච්ච ලොකු කතාවක් තියෙනවා. මේ මැතිවරණයයි මෙහෙම වුණේ  ඇයි කියන එක අපි දකිනවා. ප්‍රධාන වශයෙන්ම මේ ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් වුණා ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීම. රාජපක්ෂලා ඒක හොඳින් කළමනාකරණය කර ගත්තා. ඒක රටකට නොකළ යුත්තක්. ඇත්තටම කරන්න ඕනේ ජාතිවාදය ආගම්වාදය රටෙන් ඉවත් කිරීම. එතකොට තමයි සංවර්ධනයට දොර ඇරෙන්නේ. ජාතිවාදය ආගම්වාදය තුළින් සංවර්ධනයට නෙවෙයි විනාශයට පාර කැපෙනවා. ඒ පාර දැන් කපලා තියෙන්නෙ.

දැන් අපි දන්නවා මේ රටේ ඉතිහාසයෙත් පාලකයෝ තමන්ගේ පාලනය පවත්වාගෙන යන්න බැරි වෙනකොට, දුර්වල වෙනකොට, පාවිච්චි කරන්න ගන්නෙ ඔය ජාතිවාදය ආගම්වාදය. තමන්ගේ දුර්වලකම් වසාගන්න පුළුවන් සළුවක් ඒක. රටේ රස්සා ටික දෙන්න බැරිනම්, ආර්ථිකය හදන්න බැරි නම්, සෞඛ්‍ය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න බැරිනම්, ඒවට තියෙන හොඳම උත්තරේ තමයි ජාතිය, ආගම අවුස්සන එක. අපේ රටේ සමහර අයට කන්න නැතත් කමක් නෑ, උමං හාරගෙන ගෙවල් ටික පුපුරලා දැම්මත් ප්‍රශ්නයක් නෑ, ඉඩම් ටික විකුණුවත් ප්‍රශ්නයක් නෑ, ජාතිය රකින කෙනෙක් ඉන්නවනම්. ආගම රකින කෙනෙක් ඉන්නවනම්. මේ වෙනකොට ජාතිය කියලා මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දෙය රකින්නෙත් නෑ. ආගම රකින්නෙත් නෑ. ඒකට පටහැනි දේවල් කරනකොට ඒ මිනිස්සු විසින්ම මේක පෙරළා දැමීමට කටයුතු කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවලට එච්චර ආයුෂ නෑ.

ඔබේ ප්‍රශ්නය, විපක්ෂයක් දැන් පාර්ලිමේන්තුවේ තුළ නැහැ? සැබෑ ලෙසම ගත්තොත් පහුගිය ඉතිහාසය පුරාම  විපක්ෂය කණ්ඩායම් කියලා හිටපු අය විපක්ෂයේ කාර්යභාරය කළේ නැහැ. ආණ්ඩුව හසුරුවන පක්ෂ, විපක්ෂය වෙන්න බෑනේ. ඒක නිසා ඇත්තටම ගත්තොත් ආණ්ඩුවේ ඉන්න මතවාදයට එරෙහි මතවාදයක කොටසක් ඉන්නව නේ, ඒක තමයි සැබෑ විපක්ෂය.  ජාතිවාදය ප්‍රතික්ෂේප කරන කණ්ඩායමක් ඉන්නවද රටේ, ඒක තමයි සැබෑ විපක්ෂය.

පක්ෂවල නම් වලින් නෙමේ ඒ මතවාදවලින් ඒ කට්ටියගේ ප්‍රතිපත්තිවලින් විපක්ෂය තීරණය වෙන්නෙ. රාජපක්ෂවරුන්ගේ ප්‍රතිපත්තිය, ප්‍රේමදාස මහත්තයාලගේ ප්‍රතිපත්තිය දෙකක්ද? දෙකක් නෙමෙයි එකක්. ඉතිහාසයෙම ඒ කට්ටිය පාලන බලය හොබවන කොට එය පෙන්නුම් කරලා තියෙනවා.  ඉඩම් විකිණීම රාජපක්ෂවරුන්ගේ විතරක් ප්‍රතිපත්තියක් ද? නෑ, මේ කට්ටියගෙත් ප්‍රතිපත්තිය. එහෙනම් ඒක විපක්ෂය නෙමෙයි. ඒ හින්දා විපක්ෂයක් තියෙනවා රටේ. ඒ විපක්ෂයෙන් නියෝජනය වෙන්නේ ජනතාව.  ජාතිවාදයට එරෙහි ජනතාවක් ඉන්නවා මේ රටේ. දේපළ විකුණනවා ට එරෙහිව ජනතාවක් ඉන්නවා. අධිරාජ්‍යවාදයට එරෙහි ජනතාවක් ඉන්නවා. ඒ අයට නයකත්වය දෙන දේශපාලන ව්‍යාපාරයක් තමයි අවශ්‍යය. ඒකට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පුළුල් පෙරමුණක් හැටියට හදාගෙන තියෙනවා ජාතික ජන බලවේගය.

අපේ රටේ ඉතිහාසය, ලෝක ඉතිහාසය ගන්නකෝ. ආණ්ඩු පෙරලුවෙ පාර්ලිමේන්තුවේ කට්ටියද? සමාජය තුළ  ස්වේච්ඡා සංවිධාන, ස්වාධීන ව්‍යාපාර විසින් ආණ්ඩු පෙරළලා නැද්ද? පෙරළලා තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ  බලය ගන්න බැරිවෙන්න පුළුවන්. ඒක මේ ධනේශ්වර ක්‍රමය විසින් හදපු ආයතනයක්. ඒකත් අපි නියෝජනය කරනවා.

නමුත් මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ඉඩම් වලට අත තියෙනකොට, මේ රටේ ජාතිවාදය ආගම්වාදය පතුරවන්න හදනකොට, දැන් මේ කොරෝනා ප්‍රශ්නය ආපු වෙලාවෙත් ජනතාවාදී ලෙස බලන් නැතුව ඒ කට්ටියගේ බලය සහ ධනය දෙස බලාගෙනම ඒක කළමනාකරණය කරන කොට, ජනතාවගෙ පැත්තෙ ඉඳන් ජනතාවට නැගී සිටිනවා. නැගී සිටින ජනතාවට අපි නායකත්වය දෙනවා. ඒ වගේම අපි ජනතාව අවදි කරනවා.  මේකට අදාල විපක්ෂයේ කාර්යභාරය දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කරන්න සූදානම්. ඒක අපි දැන් සූදානම් කරමින් සැලසුම් කරමින් ජනතාව ආමන්ත්‍රණය කරමින් ඉන්න මොහොතක් තමයි මේ.

මේ රජය බලයට පත් වුණේ ජනතාවගේ හිතේ විශාල බලාපොරොත්තු ඇති කරලා. ආර්ථිකය කළමනාකරණය කරනවා, පාලනය කාර්යක්ශම කරනවා කිව්වා. හැබැයි එහෙම ආපු රජයට දැන් හාල් මිල පාලනය කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. අනිත් පැත්තෙන් කොවිඩ් තත්ත්වයත් එක්ක ජනාධිපතිවරයා ෆ්‍ලේ කියන අදහසක් ඇවිල්ල තියෙනවා. මේ කොවිඩ් මර්දනය, ඒ වගේම ජීවන වියදම ඉහළ යාම පාලනය කරගන්න බැරි වීම මේ වගේ තත්ත්වයන් ගැන මොකක්ද අදහස?

මෙහෙමයි දැන් මේවා ජනතාව අත් විඳින්නේ මේ සිදුවීම් සිදුවෙන කොට. ගෝඨාභය අසාර්ථකයි කියලා ජනතාව අත් විඳින්නේ මේ දැන් පේනකොට. දැනෙන කොට තමයි ඔවුන් අත්විඳින්නේ. නමුත් මේ දෙය ගෝඨාභය එන්න පෙර අපි දැනගෙන හිටියා. ඒක අපි රටේ ජනතාවට කිව්වා. රාජපක්ෂ පවුල ගත්තම දුර්වලම සාමාජිකයා ගෝඨාභය කියලා අපි කිව්වා. කොහොමද ජනාධිපතිවරණය වෙලාවේ ගෝඨාභය රටේ ජනතාව ආමන්ත්‍රණය කළේ? තිස් අවුරුදු යුද්ධයක් හමාර කරපු මට මේ රටේ ප්‍රශ්න විසඳනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි කියලයි කිව්වේ.

පසුව ඒ කටින්ම යුද්ධයක් නම් විසඳන්න පුළුවන්, කොරෝනා කියන්නේ සෞඛ්‍ය ගැටලුවක් ඒක විසඳීමට හැකියාවක් තියෙන්නේ සෞඛ්‍ය අංශ වලට, කියලා කිව්වා. රටේ නායකයෙක් එහෙම කියනවාද? නැවක කපිතාන් කෙනෙක් එහෙම කියනවද? ගුවන් යානයේ නියමුවා කිව්වොත්  මට කරන්න දෙයක් නෑ කියලා. එහෙම හරි යනවද? නෑ ඔවුන් නායකත්වය දෙනවා. දැන් මේ නායකයා සුක්කානම අතට අරං කියනවනේ මට යුද්ධයක් විතරයි විසඳන්න පුළුවන්. මට කොරොනා විසඳන්න බෑ කියලා. මාර ප්‍රශ්නයක් දැන්. මේකෙ වගකීම කාටද එතකොට? දැන් මේකට වැරදිකාරයෝ ජනතාව. ආරක්ෂා වුණේ නෑලු. මාධ්‍යය තමන්ගේ  කාර්යභාරය හරියට කරේ නෑලු. නෑ ඔය දෙකම නෙමෙයි. ගෝඨාභයලා වග කියන්න ඕනේ. රාජපක්ෂලා වගකියන්න ඕන. සුක්කානම අතට ගත්ත නම් වාහනය අරන් යන්න ඕනේ. හරි විදිහට අරන් යන්න බැරි උනාට පස්සේ රියදුරාගේ දුර්වලකම් යන මගීන්ගෙ කරේ තියලා හරියන් නෑනේ.

මේ පාලනයේ හොඳම දේවල් තාම අපි දැක්කෙ නෑ. තව ඉස්සරහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. අපි හිතනවා ලංකාවේ දුර්වලම පාලකයා බලාගන්න පුළුවන් වෙයි කියලා ඉස්සරහට. මෙතුවක් කල් දුර්වලම පාලකයා විදිහට අඳුනගත්තේ මෛත්‍රිපාල සිරිසේන. ඊට එහා ගිහිල්ලා තමයි මේක නවතින්නේ. ඔන්න අපේ දේශපාලන අවබෝධය දැක්ම අනුව අපි කියන්නේ. ඊට වඩා දුර්වල පාලකයෙක් බලාගන්න පුළුවන්. රටේ ජනතාව පීඩාවට පත් කරන, රට වනසන ගමනකට දැන් හැරවිලා තියෙන්නෙ.  ගෝඨාභයට, අපි දකිනවා දේශපාලන අත්දැකීම් ප්‍රමාණයක් නෑ. දැන් වියතුන් එකතු කරගෙනනෙ මේ ගමන පටන් ගත්තේ. වියතුන් එක්ක පටන් ගත්තට දැන් අවියතුන් එක්ක තමයි ගමන අවසන් වෙමින් තියෙන්නේ.

දැන් මේ කට්ටියට රාජාභිෂේක මංගල්‍යය සිදු කරන්න ඔටුනු පළඳන්න මැදිහත් වෙච්ච බලවේග ටිකක් තියෙනවනේ. වියත්මග කියලා එකක් තිබ්බා. ඉතිං වියතක් කියන්නෙ පොඩි දුරක්. මේක වියතක්වත් දිග නෑ. ඒකට වැඩි කාලයක් යන්න බැරි වුණා.  ඊට පස්සේ අපේ මහා සංඝරත්නය ඇතුළු රටේ පූජ්‍ය පක්ෂය මහා බලාපොරොත්තු තියාගෙන මේ ගෝඨාභයලා රජ පුටුවේ තිබ්බා. දැන් අපිට පේන හොඳ ලක්ෂණයක් තියෙනවා. බලයට ගේන්න උර දුන්නු කණ්ඩායම්ම මේ පාලකයන්ට විරුද්ධ වෙමින් තියනවා. දැන් අපිට වඩා විරුද්ධයි ස්වාමීන් වහන්සේලා. අපිට වඩා විරුද්ධයි මේ වියතුන් සමහර කණ්ඩායම්. එහෙම විරුද්ධ වෙලා තියෙන්නෙ. ඒ හින්දා හදපු කට්ටියම නසන තැනට ඇවිල්ල තියෙන්නෙ මේක.

දැන් මේ කොරොනා තත්ත්වය ගෝලීයව බලපාපු වසංගතයක්. ඒක රාජපක්ෂලට විතරක් ලඝු කරන්න අපි කැමති නැහැ. හැබැයි බලයේ ඉන්නකොට එය කළමනාකරණය කිරීමට, රටේ ජනතාව බේරා ගැනීමට පාලකයාට වගකීමක් තියෙනවා. ඒක මගහරින්න බැහැ.  දැන් මේක ජාත්‍යන්තර වශයෙන් ම ඇතිවෙච්ච වෛරසයක්. බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙමින් මේක ලෝකෙ ව්‍යාප්ත වෙමින් යනවා. හැබැයි මේ කොරෝන පළවෙනි රැල්ල ආවා නේ. ඒ මහ මැතිවරණයට පෙරාතුව. ඒක කළමනාකරණය කරගන්න පාලකයන්ට සිද්ධ වුණා. මැතිවරණ තියෙන හින්දා 5000 දෙන්න වුණා. පන්දාහ දෙන්න උනේ ඇත්තටම ජනතාව වෙනුවෙන් නම් 5000 දැනුත් දෙන්ඩ ඕනේ. දැනුත් ජනතාවට අමාරුයි. රස්සා නැති වෙලා තියෙන්නෙ ආර්ථිකය වැටිල තියෙන්නේ. ජීවත් වෙන්න බැරුව තියෙන්නේ.

සමහරුන්ට මේක නොතේරෙන්න පුළුවන්. අපිට මේ ගම්බිම්වලට යනකොට තේරෙනවා එදාවේල කන්න නැති මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් දෙන්න එපැයි පන්දාහක්. දැන් පළවෙනි එකේදි සෑහෙන මෙහෙයුමක් කරලා මේකට මන්ත්‍රීවරු ඇමතිවරු බඩු මලු බෙදාගෙන ගියානෙ. දැන් මොකක්වත් නැහැ. පළවෙනි කොරොනා රැල්ල මර්දනය කිරීමටත් විශාල කාර්යභාරයක් ඇත්තටම කළේ මැතිවරණ කොමිෂන් සභාව.

ඇත්තටම ගත්තොත් කොරෝනා මර්දන වැඩපිළිවෙල ආණ්ඩු අතහැරලා ඉවරයි. අතහැරිය බවට සාක්ෂි ඕනද? ඒක තමයි ජනාධිපති කිව්වේ මේක ජනතාව ආරක්ෂා වුණේ නෑ. මාධ්‍ය කාර්යභාරය කළේ නෑ. මට යුද්දෙ නම් පුළුවන් මේක බෑ. තමන්ගේ ආරක්ෂාව තමන් සපය ගන්න කියලා ජේ.ආර් කියපු එකේ අනිත් එක තමයි මේ.  අර සෞඛ්‍ය අංශවලට වගකීමක් තියෙන නිසා ඔවුන් යම් ප්‍රමාණයකට මේක කරගෙන යනවා.

දේශපාලන නායකත්වය අතහැරලා තියෙන්නේ. ඇමෙරිකානු ක්‍රමයට දැන් යන්නේ. මැරෙන එකෙක් මැරියං ඉතුරු වෙන එකෙක් ඉතුරු වෙයන් කියලා යන මට්ටමටක් තියෙන්නේ. ඉතින් මේක හරි සාහසික ක්‍රියාවලියක්. අපි දකිනවා මේ වගේ ප්‍රශ්නයක් මීට වැඩිය තත්වෙකින් කළමනාකරණය කරන්න තිබ්බා. අපි මේ පාලකයන්ට යෝජනා කරා මේ තත්ත්වය කළමණාකරණය කරන්න, රට ආරක්ෂා කරන්න පක්ෂ විපක්ෂ කියලා බෙදිච්ච සාමාන්‍ය ස්වභාවය නැතිව ඔක්කොම ඒකාබද්ධ වෙලා මේකට මුහුණ දෙන ක්‍රමයක් හදාගමු කියලා.

කොරෝනාවට වඩා බරපතලයි අපි කතා කරපු අනෙක් ගැටළු ටික. මේ වගේ වෙලාවක තමයි අපේ රටට එරෙහිව කුමන්ත්‍රණ දියත් වෙන්න පුළුවන්. අපේ දේපළ කොල්ල කන්න පුළුවන්. මේ සියලු දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනතුර අපිට පේනවා. ඒ උගුල්වල ගෝඨාභය රාජපක්ෂ අහුවෙයි කියලා අපිට හිතෙනවා. ඒවට දැන් සාකච්ඡා තියෙනවා. පොම්පියෝ ඇවිල්ලා යන්නේ, චීනය ඇවිල්ල යන්නේ, ඉන්දියාවෙන් ඇවිල්ල යන්නෙ නිකම්ම නෙවෙයි කියලා අපි හිතනවා. නැති බැරි උනාට පස්සේ දේපල ලියා ගන්න ක්‍රමයක් අපේ රටේ සාමාන්‍ය ගම්වලත් තියෙනවනේ.

ඒ ක්‍රමයට මේවා ලියවගන්න තත්වෙට එනවා. එහෙම ප්‍රශ්නයක් අපිට පේනවා. මේ තත්ත්වය හමුවේ එක පැත්තකින් අපිට පේනවා ජනාධිපති තනිවෙලා වගේ. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති එතුමා ඉන්නවා ද නැද්ද කියලා ගානක් නෑ. ඒ සියල්ලත් එක්කම දැන් අපිට පේනවා විසිවෙන සංශෝධන සම්මත කරගෙන තියෙන්නේ. ඔව්වත් එක්ක පැනනැගී දේවල් ඉස්සරහට අපි බලාගන්න පුළුවන්. මොකද ඒ සම්මත කරපු දෙයින් අත්පත් කර ගත් ආයුධවලින් තාම වැඩ ගත්තෙ නෑ. ඒ වැඩ ගන්න තියෙන්නෙ ඉස්සරහට.

Social Sharing
නවතම සාකච්ඡා