දශක තුනකට පසු සාලිය නැවතත්!

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය මෙවර යෙදී ඇත්තේ පෙබරවාරි 24 වෙනි දිනටය.

ඒ සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා ඊයේ  (11) සිය නාම යෝජනා බාර දුන්හ.

මෙම නිලවරණයේ තේරීම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතාය.

මෙවර බොහෝ නීතිඥවරුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කෙරෙහිය.

පෙර සභාපති

2019/2020  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වුයේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාය.

2019 – 2020 වසර සඳහා, නීතිඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වුණු එම නිලවරණයේදී සභාපතිධුරයට තරඟ වැදුනේ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතීඥ මහින්ද ලොකුගේ යන මහත්වරුන් ය.

එහිදී වැඩිම මනාපයෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය. මධ්‍යස්ථාන 84 කදී සිදු කළ  ඡන්ද විමසීමෙන් අනතුරුව  මෙම තේරී පත් වීම සිදු විය.

එම අවස්ථාවේ නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ නීතිඥ සමන් වැලිඅංග යන මහත්වරු ලේකම්ධූරය සඳහා තරග කළහ. ලේකම් ධූරයට පත් වූයේ, නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාය.

එවර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර නිලවරණයේ ප‍්‍රධාන තේරීම් භාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරනු ලැබුණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 25 වන නිලවරණය එය විය. ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති නීතිඥයින් පිරිස 15806 ක් විය.

නීතිඥ සංගමය

නීතිඥ සංගමය සාමාජික සාමාජිකාවන් විසි පන්දහසකට ආසන්න පිරිසක් සිටින සංවිධානයක් වන අතර ප්‍රබලතම වෘත්තීය සංවිධානයකි.  එහි සභාපතිවරයා වීම යනු නමට පමණක් සීමා වූ දෙයක් නොවන්නේය.

අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර යමක් සිදුවෙනව නම්, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට හානිකර යමක් සිදුවෙනව නම්, රටෙහි ජනතාවට හානිකර, යම් දෙයක් සිදුවෙනව නම් නීතිඥ සංගමයට එම කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමේ අවස්ථාව හිමිය.

සාලිය පීරිස් කවුද ?

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යනු අප සැවොම දන්නා පරිදි අතුරුදහන් වුවන් පිලිබඳ තැනැත්තන්ගේ කාර්යාලයේ හිටපු සභාපතිවරයාය. එමෙන්ම නීතිඥයන්ගේ අයිතිවාසිකම්, නීතිඥයන්ට වූ වෘත්තීය ප්‍රශ්න වැනි කාරණයන්හීදි විශාල ලෙස නීතිඥයන් වෙනුවෙන් මැදිහත්වීම් කර ඇති අයෙකි.  ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් වූ සෑම අවස්ථාවකම ඔහු ඒ වෙනුවෙන් පෙනී සිට ඇත. ඊට නිදසුනක් වන්නේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පැවති දෝශාභියෝගය වේ.

නීතිඥ සංගමයෙහි අරමුණු සාක්ෂාත් කරන්නට කිසිදු බලපෑමකට යටත් නොවී කටයුතු කරන්නට ඔහුට හැකියාවක් ඇති බව බොහෝ දෙනාගේ මතය වේ.

මේ සම්බන්ධයෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාද මතය අවදි කර සටහනක් තබා තිබුණේ මෙසේය.

සාලිය ගේ කණ්ඩායම

1989 වර්ෂයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළු වූ සාලිය පීරිස් පළමු වසර ශිෂ්‍යයකු ලෙස නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයේ නිලවරණයට ඉදිරිපත් විය. ඔහු තරග කළේ ප්‍රගති පිල නියෝජනය කරමිනි. සාලිය තම ප්‍රතිවාදියා පරදවා සංස්කාරක තනතුරට පත්වූ නමුත් වැඩි තනතුරු සංඛ්‍යාවක් දිනා ගත් ස්වාධීන පිල නීති ශිෂ්‍ය සංගමයේ බලය හිමිකර ගත්තේය. ජනප්‍රිත් ප්‍රනාන්දු සභාපති ධුරයටද, නිශ්ශංක නානායක්කාර ප්‍රධාන ලේකම් ධුරයට ද පත් වුහ.

1990 වසරේ පැවැත්වුණු නීති ශිෂ්‍ය සංගම් නිලවරණයේදී විපක්ෂයේ සිටි ‘ප්‍රගති පිලේ’ සභාපති අපේක්ෂකයා ලෙස නායකත්වය හෙබවීමේ අභියෝගය සාලිය ට පැවරිණි. ප්‍රධාන ලේකම් ධුරය සඳහා නාම යෝජනා ලැබුණේ 1989 වසරේ නිලවරණයේදී ව්‍යාපාර කළමනාකරු තනතුරට පත් වූ ගාමිණී වනසේකර ය. උප සභාපති අපේක්ෂකයා වූයේ පැට්‍රික් රන්දෙණියය. විපක්ෂයේ සිටිමින් නිලවරණය මෙහෙයවීම ඇරැඹූ සාලිය 1990 නිලවරණය සඳහා තරග කිරීමට තම කණ්ඩායම තෝරා ගැනීම ඇරඹීය.

1989 වසරේ නීති විද්‍යාලයට වෙනදා වසරකට බඳවා ගන්නා සංඛ්‍යාව මෙන් තුන් ගුණයක ශිෂ්‍ය පිරිසක් හෙවත් 700ක ශිෂ්‍ය පිරිසක් බඳවා ගෙන තිබිණි. ඒ සා විශාල පිරිසක් අතරින් අපේක්ෂකයන් තේරීම ලේසි පහසු කටයුත්තක් නොවීය.

සාලියගේ කණ්ඩායම පහත පරිදි විය.

ආනන්ද අබේවික්‍රම Ananda J. Abeywickrama භාණ්ඩාගාරික

ෆයිසර් මුස්තාෆා Faiszer Musthapha – උප ලේකම්

කුවේර ද සොයිසා Kuvera de Zoysa-ක්‍රීඩා ලේකම්

ගාමිණී පෙරේරා Gamini Perera- සංස්කාරක

අරුණ ප්‍රදීප් Aruna Pradeep – ව්‍යාපාර කළමනාකරු

හරීන් ගෝමස් -සමාජ සහ සුබසාධන ලේකම්

ශ්‍රීමාල් විජේසේකර Srimal Wijesekera-සහය සංස්කාරක

ඔනිල් රොඩ්නි පෙරේරා Onil Rodney Perera – සහකාර ක්‍රීඩා ලේකම්

අරුණ නිශාන්ත පෙරේරා Aruna Nishantha -නිල නොලත් කාරක සභික

නිරංජලා ප්‍රියදර්ශනී – නිල නොලත් කාරක සභික

නීති ශිෂ්‍ය සිංහල සංගමය සඳහා ප්‍රගති පිල වෙනුවෙන් ඉදිරිපත් කළ කණ්ඩායමේ සභාපති අපේක්ෂකයා වූයේ කීර්ති උඩවත්ත ය. ලේකම් ධුරයට තරග කළේ මනෝරි ද සිල්වා (පීරිස්) Manouri Pieris ය. උප සභාපති ධුරයට කේ. එච් පද්මසිරි තරග කළේය. එහි සෙසු තනතුරු සඳහා තරග කිරීමට පළමු වසරෙන් තෝරා ගන්නා ලද්දේ පහත සඳහන් පිරිස වේ.

රවීන්ද්‍ර පතිරණගේ- Raveendra Pathiranage භාණ්ඩාගාරික

මංජුල පතිරාජ Manjula Pathiraja උප ලේකම්

ජගත් කුලරත්න Jagath Kularatne -සංස්කාරක

පද්මප්‍රිය රණවක Ranawaka Padmapriya සහය සංස්කාරක

1990 නිලවරණයේදී තම කණ්ඩායමේ සියළු දෙනාම ඉහළ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරවමින් නීති ශිෂ්‍ය සංගමයේ මෙන්ම නීති ශිෂ්‍ය සිංහල සංගමයේද සියළුම තනතුරු ජයග්‍රහණය කිරීමට සාලියගේ නායකත්වය සමත් විය.

සාලිය ජයග්‍රහණය සඳහා ‘ප්‍රගති පිල’ රැගෙන යාමට තෝරාගත් කණ්ඩායම කෙතරම් ශක්තිමත් පිරිසක්ද යන්න පැහැදිලි වන්නේ වසර 30කට පසු ඔවුන් අද සිටින තත්ත්වය පිළිබඳ විමසීමේදීය.

ෆයිසර් මුස්තාෆා ජනාධිපති නීතිඥවරයෙකි. දිගු කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කොට ඇත.

කුවේර ද සොයිසා ජනාධිපති නීතිඥවරයෙකි. (ඔහු මෙවර නීතිඥ සංගම් නිලවරණයේදී සාලියගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස තරග කරයි.)

ආනන්ද අබේවික්‍රම- බද්දේගම අධිකරණයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකි. ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

ගාමිණී පෙරේරා ශ්‍රී ලංකාවේ මෙන්ම එක්සත් රාජධානියේද වෘත්තීය කටයුතු කරන යේෂ්ඨ නීතිඥවරයෙකි.

අරුණ ප්‍රදීප් බලපිටිය අධිකරණයේ කටයුතු කරන ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකි. අම්බලංගොඩ නගරාධිපතිවරයා ලෙස දිගු කලක සිට කටයුතු කරයි.

හරීන් ගෝමස්-ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකි.

ශ්‍රීමාල් විජේසේකර- ගාල්ල අධිකරණයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකි. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වර්තමාන සභාපතිවරයාය.

ඔනිල් රොඩ්නි පෙරේරා- කලුතර අධිකරණයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකි. කලුතර නගර සභාවේ නියෝජ්‍ය සභාපතිවරයාය.

අරුණ නිශාන්ත පෙරේරා- එක්සත් රාජධානියේ සොලිසිටර්වරයෙකි. කොළොන්නාව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

නිරංජලා ප්‍රියදර්ශනී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරියකි.

රවීන්ද්‍ර පතිරණගේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයෙකි.

මංජුල පතිරාජ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකි.

ජගත් කුලරත්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකි.

පද්මප්‍රිය රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකි.

මෙසේ ජයග්‍රහණය කරන ලද නීති ශිෂ්‍ය සංගමය සහ නීති ශිෂ්‍ය සිංහල සංගමය සාර්ථක අයුරින් තම කාර්ය කත්ව‍යයන් ඉටු කොට ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රසාදයක් දිනා ගත් අතර 1991 වසරේ නිලවරණයටද ඉහත කණ්ඩායමේ සෑහෙන පිරිසක් ඉදිරිපත් වුහ.

ඒ අනුව, කුවේර ද සොයිසා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයටද, ගාමිණී පෙරේරා ප්‍රධාන ලේකම් ධුරයටද, අරුණ ප්‍රදීප් උප සභාපති ධුරයටද, ඔනිල් රොඩ්නි පෙරේරා ක්‍රීඩා ලේකම් ධුරයටද, අරුණ නිශාන්ත පෙරේරා සමාජ සහ සුබසාධන ලේකම් ධුරයටද තරග කළහ. එමෙන්ම මංජුල පතිරාජ නීති ශිෂ්‍ය සිංහල සංගමයේ සභාපති ධුරයටද, රවීන්ද්‍ර පතිරණගේ ලේකම් ධූරයටද තරඟ කළහ.

නිලවරණයේදී මේ පිරිස ඇතුළුව ප්‍රගති පිලෙන් තරඟ කළ සියළුම තරගකරුවන් ජයග්‍රහණය කිරීම වාර්තාවක් වෙයි.

1990 දී සාලිය පීරිස් ගේ නායකත්වයෙන් ආරම්භ වූ මේ ජයග්‍රාහී රැල්ල එතැන් සිට ගත වූ දශක තුනක කාලය තුළ නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමය සහ නීති ශිෂ්‍ය සිංහල සංගමය තුළ පැවතුනි. ඔහු කළේ ජාති, කුල, ආගම්, පන්ති සහ ප්‍රදේශ බේදයකින් තොරව, සියළු දෙනාටම සමානව සලකමින්ද, කිසිවෙකුත් වෙනස්කමකට භාජනය නොකරමින්ද සැබෑ දක්ෂයන්ට නීති ශිෂ්‍ය සංගම්හී ක්‍රියාකාරී වීමට ඉඩ සලසනු පිණිස දේශපාලන වේදිකාවක් තැනීමය. නගරබද ජනප්‍රිය පාසල්වලින් පැමිණියවුන්ද, ගම්බද මධ්‍ය විද්‍යාල සහ මහා විද්‍යාල වලින් පැමිණියවුන්ද, ඉංග්‍රීසි බස කතා කරන්නන් මෙන්ම සිංහල හෝ දෙමළ බස කතා කරන්නන්ද, එම වේදිකාව මත උරෙනු’ර ගැටෙමින් එක්ව කටයුතු කිරීමේ අවකාශය සැකසීමය.

1992 නිලවරණයේදී එම් වයි එම් ඉර්ෂාඩීන් Mohamed Irshadeen උප සභාපති ධුරයට තේරී පත්වන්නේද, එම වසරේදීම රොෂාන් රාජදුරෛ Roshan Rajathurai තේරී පත්වන්නේද, එම් වයි එම් අලි සබ්රි Mohamed Ali Sabry ව්‍යාපාර කළමනාකාර ධුරයට සහ පසුව 1993 නිලවරණයේදී නීති ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වන්නේද එම පුළුල් අත්තිවාරම හේතුවෙන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

ඉර්ෂාඩීන් අද මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු වන අතර නුවර එළිය අධිකරණ්යේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වන රාජදුරෛ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජනාධිපති නීතිඥ අලි සබ්රි වර්තමානයේ ශ්‍රී ලංකා ජනරජයේ අධිකරණ අමාත්‍යවරයාය.

දශක තුනකට පසු සාලිය නැවත වරක් නිලවරණයකට තරඟ වැදීම සඳහා නාම යෝජනා භාර දී ඇත.  ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරය සඳහා වූ තරඟයටයි. (නිමාව)

ඒ අනුව ලබන මස පැවැත්වීමට නියමිත නීතිඥ සංගමයේ නිලවරණය අතිශය තීරණාත්මක එකක් වනු ඇත.

Social Sharing
නවතම විශේෂාංග