වතු කම්කරු නායකයින් නිරෝධායනයේ… වැටුප් සටන තවත් සතියකට කල් යයි.

2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රු 1,000 දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට සතියක් කල් ලබා දීමට කම්කරු  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  තීරණය කළේ පහුගිය දෙසැම්බර් 22 දාය.

ඒ  මෙම වැටුප් වැඩි කිරීම පිළිබඳ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ ඇතුළු වතු කම්කරු නායකයන් සහ වතු සමාගම් පාලකයන් රැසක්, අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා,  කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන් කෞෂල්‍ය මහතා ද  එක් වූ සාකච්ඡාවකදීය .

විශේෂයෙන් මෙහිදී වතු කම්කරුවෝ කම්කරු නායකයන් පෙන්වා දුන්නේ වතු කම්කරුවන්ගේ අවම වැටුප රු 1,000 ක් විය යුතු බවයි. එහිදී හාම්පුතුන්ගේ සම්මේලනය අදහස වන්නේ වතුකම්කරුවන් දෛනිකව අතිරේකව දලු කිලෝ 2 ක ප්‍රමාණයක් ලබා දිය යුතු බවයි. එසේම මෙම සේවකයන්ට සේවය අවසානය පාරිතෝෂිත දීමනා ගෙවීමේදී ඔවුන් ප්‍රමාණවත් තරම් දෛනික රාජකාරි කර නැති බවයි. ඒ අනුව සෑම සේවකයෙක්ම වසරකට දින 180ක් අනිවාර්ය සේවයේ යෙදිය යුතු බවට හාම්පුතුන් විසින් මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙහි දී අමාත්‍යවරයා යොජනා කළේ දිනකට අතිරේක දළු කිලෝ එකක් දීම සහ දින 180 යෝජනාව පිළිගත හැකි බවය. එසේම කූඩ බරට හා කම්හල් අපතේ යෑම්වලට යැයි කියා වතු සේවකයන් නෙලන දළු අඩු කිරීම සාධාරණ නැති බව කම්කරු නියෝජිතයෝ පෙන්වා දුන්හ. මේ සියලු කරුණු සලකා බලා අමාත්‍යවරයා  ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුව ද වතු කම්කරුවන්ගේ අවම වැටුප රු 1,000 විය යුතු බවට වන රජයේ තීන්දුව මොනම ආකාරයකින් හෝ වෙනස් විය නොහැකි බවයි. එසේම රුපියල් දහසේ අවම වැටුප ලබාදීමට නොහැකි යම්කිසි සමාගමක් වේ නම් එම වතු නැවත රජයට ලබා දෙන ලෙස ද ඇමැතිවරයා මෙහිදී දැනුම් දුන්නේය .

ඒ අනුව පහුගිය 31 දා නැවත මෙම කමිටුව රැස් විය යුතුව තිබු නමුත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් මහතා  කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු  සමඟ කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුලු වතු කම්කරු නායකයින් සිව් දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබීම නිසා ඔවුන් තවත් සතියක කාලයක් ඉල්ලා ඇත. එමෙන්ම වතු හාම්පුතුන් විසින් තවත් දින කිහිපයක් ඉල්ලා සිටීම නිසා මෙම අවසන් තීරණය ගැනීම ලබන 07 දාට කල් දමා ඇත.

මේ අතර වතු කම්කරුවන්ගේ වැටුප රු 1,000 ක් බවට පත්කිරීමේ පොරොන්දුවට 2021 වසරට  සය වසරක් සපිරෙන බවත් නව වසරේ හෝ මෙම පොරොන්දුව ඉටුකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය කටයුතු කරන බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතා ප්‍රකාශකර ඇත.

මේ සම්බන්ධයෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  “මේ අය – වැයෙන් අගමැතිතුමා පොරොන්දු වුණා වතුකම්කරු වැටුප රුපියල් 1,000 ක් බවට පත් කරනවා කියලා. නමුත් දැන් කියන්නේ එම වැටුප වතු සමාගම්වලින් දිය යුතුයි කියලා. ඒක වැරැදියි. ආණ්ඩුව රුපියල් 1,000 ක් දෙන්න පොරොන්දු වුණා නම් ඒක දෙන්න ඕනේ ආණ්ඩුවයි යන්නය.

Social Sharing
නවතම